ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර බලය බෙදන්න යෝජනා කරන්නේ ඇමෙරිකාවයි
Posted on September 17th, 2018

දෙනගම ධම්මික රණවීර  උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට ශ්‍රී ලංකාවේ බලය බෙදන්න යෝජනා කරන ඇමෙරිකා එක්සත් ජනපදය තම රටේ ව්‍යවස්ථාවට පිටින් ජාත්‍යන්තරයෙන් එන කිසිදු නියෝගයක් භාර නොගන්නා බව ප්‍රකාශ කරනවා යැයි ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කෙළේය.

හෙතෙම එම අදහස් පළ කළේ ජගත් ශ්‍රී ලාංකික එකමුතුව ඕමානයේ මස්කට් නුවරදී පසුගියදා සංවිධාන කොට තිබු සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්ය.
ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ වන විටත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 39 වැනි සැසිවාරය පැවැත්වෙනවා. එම සභා වාරයට සමාන්තරව ජර්මනිය, බි්‍රතාන්‍ය, මැසිඩෝනියාව සහ මොන්ටි්‍රයෝ යන රටවල් හතර විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව 2015 සිට ජාතික සංහිඳියාව හා සාමය වෙනුවෙන් ප්‍රමුඛතා සැලැස්මකට අදාළ තීරණ ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බවත් එහි සඳහන් වෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම ගැන ප්‍රශංසා කරන අතර හමුදාවන්ට අයත් තව තවත් ඉඩම් සිවිල් වැසියන්ට ලබා දීම වේගවත් කිරීමට නව ආණ්ඩුවේ ඇති කැපවීම අගය කරන බවත් කියැවෙනවා.

කෙසේ වෙතත් හවුල් ආණ්ඩුව විසින් යුද්ධය සමයේ හානි වූවන්ට වන්දි ගෙවීම් කාර්යාලයක් වහාම පිහිටුවිය යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා. එසේම 2015 සම්මත වූ 1/30 ජිනීවා යෝජනාවට අනුව සුළු ජාතීන් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා වගවීමේ ක්‍රියාවලිය තහවුරු කිරීමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමටත් නව ආණ්ඩුව පොරොන්දු වූ බව මතක් කරන මේ රටවල් ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථා වෙනසක් හරහා බලය විමධ්‍යගත කිරීම කඩිනම් කළ යුතු බවත් අවධාරණය කර තිබෙනවා. මේ රටවල් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසුවද වෙනත් රටවල ස්වෛරීත්වයට අභියෝග කරන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දුන් 1/30 ජිනීවා යෝජනාව ඇමෙරිකාව මූලිකව ඉදිරිපත් කරන ලද්දක්. ඒත් ඇමෙරිකාව ඔවුන්ගේ රණවිරුවන් සම්බන්ධයෙන් නම් අනුගමනය කරන්නේ මීට හාත්පසින්ම වෙනස් පිළිවෙතක්. උදාහරණයක් ලෙස දැනට දින කිහිපයකට පෙර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයකු වන ජෝන් බෝල්ටන් ප්‍රකාශයක් කරමින්, තමන්ගේ රටේ රණවිරුවන් ගැන ප්‍රශ්න කරන්නට ආවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර අධිකරණවලට හොඳ පාඩමක් උගන්වන බවට තර්ජන කළා. ඒ වගේම එම අධිකරණ පවත්වාගෙන යෑමට මුදල් ආධාර දීම නවතා දමන බවත් ඒවායේ විනිසුරුවරුන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරන බවත් ප්‍රකාශ කළා.

යම් විනිසුරුවරයකුගේ වත්කම් ඇමෙරිකාවේ ඇත්නම් ඒවා රාජසන්තක කරන බවටත් තර්ජනය කළා. එමෙන්ම ඇමෙරිකාව අන්තර්ජාතික අධිකරණය පිළිනොගන්නා බවද තමන් ක්‍රියා කරන්නේ ඇමෙරිකාවේ නීතිය අනුව බවද තම රටේ ව්‍යවස්ථාවට උඩින් එන කිසිදු උපදෙසක් භාර ගැනීමට ඇමෙරිකාව සූදානම් නැති බවද ඔහු ප්‍රකාශ කළා.
ඇමෙරිකාව ගැන ඒ විධියටම හිතන ඇමෙරිකාව 2015 සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ‘ලංකාවේ නීති පද්ධතිය වෙනස් කරන ලෙසත් රණවිරුවන් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් බල කරනවා.

එමෙන්ම යුද සමයට අදාළ නඩු ඇසීමට ජාත්‍යන්තර විනිසුරුවරුන් පත් කරන ලෙසත් ලංකාවේ බලය ව්‍යවස්ථාව හරහා බෙදන ලෙසත් කියනවා. අද උතුරේ සම්පන්දන්ලා, විග්නේශ්වරන්ලා බල කරන්නේ එම යෝජනා ක්‍රියාත්මක කිරීමටයි. ජාත්‍යන්තරය යැයි කියා ගන්නා බටහිර රටවල් කිහිපයක උපදෙස් මත රට පාලනය කරන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ නිවට නියාලු හැසිරීම වටහාගන්න එවැනි උදාහරණ ප්‍රමාණවත්.

 

One Response to “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර බලය බෙදන්න යෝජනා කරන්නේ ඇමෙරිකාවයි”

  1. Christie Says:

    හිතවත් නාලක

    අමෙරිකාවෙත් ඉන්දියන් පරපෝසිතයො ඉන්නව. උන් තමයි අපේ රටට එරෙහිව වැඩකරන්නෙ.

    ඔබාම තනිකරම ඉන්දියානු ගැතියෙක්. ඉන්දියන් පරපෝසිතයො ඩිමොක්‍රට්ස්ලට ගොඩක් සල්ලි දෙනව. උන් තමයි අපිට කෙලින්නෙ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress