නාලකට එරෙහි චෝදනා පිළිබඳ පොලිස් පරීක්ෂණ අපක්ෂපාතී වීමට නම් පූජිත ඉල්ලා අස්විය යුතුයි
Posted on September 17th, 2018

කෑගල්ල – බණ්ඩාර මද්දුමගේ  මාවනැල්ල – කේ.වී. බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව චෝදනා පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ අපක්ෂපාතී වීමට නම් පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පසුගියදා කෑගල්ලේදී පැවැසීය.

හිටපු අමාත්‍ය රක්ෂිත බන්ධනාගාරගත වී සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බැලීමට කෑගල්ල බන්ධනාගාරයට පැමිණ කෑගල්ල කුරුලු කැලේ හෝටලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට සාක්ෂි හෙළි වෙලා මේ වන විට පැය 48කට වැඩියි. නමුත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිම පියවරක් අරන් නැහැ

. ඔහු අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරලත් නැහැ. නමුත් පුංචි චෝදනාවක් භික්ෂුන් වහන්සේ නමකට එහෙමත් නැත්නම් රණවිරුවකුට, විපක්ෂයේ දේශපාලනඥයකුට එල්ල වුණොත්, ක්ෂණිකව පුද්ගලයා කුදලාගෙන ගිහින් කූඩුවේ දාන පොලිසිය මේ අවස්ථාවේ නිහඬව සිටින්නේ ඇයි කියන එක සමස්ත ජාතියටම ප්‍රශ්නයක්.


පොලිසියේ ඉහළ නිලධාරියෙක් අතින් වරදක් වුණාම ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කොන්දේසියක් තිබෙනවා. පොලිසියේ ඉහළ නිලධාරියකුට සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න පුළුවන්. සාක්ෂි විනාශ කරන්න පුළුවන්. මේ සියල්ලටම වඩා පරීක්ෂණය පවත්වන පරීක්ෂකයාටත් බලපෑම් කරන්න පුළුවන්.

ඒ නිසා මුලින්ම සිදුවිය යුත්තේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමයි. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලයා කවට පොලිස්පතිවරයාගේ සමීපයෙක්. ඒ නිසා මොහුට විරුද්ධව මීට පෙර පැමිණි සෑම චෝදනාවෙන්ම ඔහු බේරා ගන්න පොලිස්පතිවරයා කටයුතු කළා.

අපිට මතකයි මේ නාලක ද සිල්වා තමයි දිගන සිද්ධිය පිළිබඳව මහ සොහොන් බළකාය ගැන බොරු කතාවක් හදලා මේකට පටලවලා බොරු සාක්ෂි ගොනු කරලා මහ සොහොන් බළකාය ඇතුළු කිසි දේකට නැති අහිංසක සිංහල අය දෙසිය ගණනක් රක්ෂිත බන්ධනාගාරගත කෙළේ. ඒ වගේම මේ නාලක ද සිල්වා තමයි කිරිබත්කුඹුරේ සෝභිත හිමියන්ට උදරයට පා පාරක් එල්ල කෙළේ.

ඒ වගේම මහ සොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ බැලීමට අනුරාධපුර බන්ධනාගාරයට ගිය වේලාවේ ඔහු මට අපූරු කතාවක් කීවා. අමිත් වීරසිංහට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසනවා මේ දිගන සිදුවීම පිටුපස ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි කියලායි ප්‍රකාශයක් දුන්නොත් ඔබ නිදහස් වෙනවා පමණක් නෙවෙයි ඔබට පවුල පිටින් විදේශ රටක පදිංචි වීමේ පසුබිමත් මම සකස් කරලා දෙනවා කියලා.

මේ කාරණයෙන් ඉතා පැහැදිලියි නාලක ද සිල්වා කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විරෝධයෙක් බව එවැනි පුද්ගලයෙක් මෙවැනි කුමන්ත්‍රණයක යෙදුණු බවට සාක්ෂි මතු වුණොත් එය සාධාරණව විශ්වාස කිරීමේ පසුබිම අපිට ලැබෙනවා. මේ සෑම අවස්ථාවකම මේ නාලක ද සිල්වා මහතා බේරා ගැනීම කටයුතු කළේ ඔහුගේ පොලිස් ගුරුවරයා හා සමීපතමයා වන පොලිස්පති පූජිත් ජයසුන්දර. ඒ නිසා පූජිත් ජයසුන්දර මහත්මා පොලිස්පති සේවයේ සිටින තෙක් මේ පරීක්ෂණය අපක්ෂපාතීව ස්වාධීනව සිදු වේවි සාධාරණය ඉටු වේවි කියලා බලාපොරොත්තුවක් අපිටද තබන්න බැහැ.

ජනාධිපතිවරයා ඝාතනය වුණොත් එහි අනියම් වාසිය ලැබෙන්නේ අගමැතිවරයාට. ඒ නිසා මේ කුමන්ත්‍රණය නිසා අගමැතිවරයාටත් ඇඟිල්ල දිගු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අගමැතිවරයා කළ යුත්තේ පොලිස්පතිවරයාට ඉල්ලා අස් වෙන්න දැනුම් දීලා තමන්ගේ පක්ෂයේ අමාත්‍යවරයෙක් අතේ තියෙන පොලිසියෙන් මේ පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු වෙනවා දැයි සොයා බැලීම තහවුරු කරගෙන ඒ හරහා තමන්ගේ නමත් පිරිසුදු කර ගැනීමයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress