නවක වධ කර්මාන්තය
Posted on September 18th, 2018

වෛද් රුවන් එම් ජයතුංග

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල පවතින නවක වධය අහඹු සිදුවීම් නොවේ. මේ වන විට නවක වධය යනු ඉතා සැලුසුම් සහගතව කරනු ලබන පර පීඩක කර්තව්‍යකි.  හිටපු විශ්ව විද්‍යාල නවක වධකයෙකු විසින් හෙළි කරන ලද තොරතුරු අනුව මේ සඳහා දේශපාලන ඉලක්කයක් තිබේ. විශ්ව විද්‍යාල නවක වධය පවත්වාගෙන යාම සඳහා  එක්තරා  අන්තවාදී දේශපාලන පක්‍ෂයක් සහ ඇතැම් අන්තවාදී ශිෂ්‍ය සංවිධාන කටයුතු කරති. මේ සඳහා වාර්‍ෂිකව  නවක වධකයන් බඳවා ගැනීම සිදු කරනු ලබයි.  ජ්‍යෙෂ්ඨ නවක වධකයන් විසින් නවක වධ සැලසුම් කරන අතර ඔවුන්ට පක්‍ෂය හරහා ගෙවීම් කරනු ලැබේ. තවද ඔවුන්ට මෝටර් සයිකල් මෙන්ම ජංගම දුරකථනද ලබා දී තිබේ. 

නවක වධකයන් බඳවා ගැනීම සිදු කරන්නේ  ඉතා සියුම් ආකාරයටය. නව අධ්‍යන වසර ආරම්භයේ අළුත් සිසුන් නවක වධයට පත් කරන අතර ජ්‍යෙෂ්ඨ නවක වධකයන් මෙම අළුත් සිසුන් අතර නවක වධකයන් බවට පත් වීමට සුදුසු පුද්ගලයෝ නිරීක්‍ෂණය කරති. හිටපු විශ්ව විද්‍යාල නවක වධකයෙකු විසින් හෙළි කරන ලද පරිදි නවක වධකයට ලක් වන අළුත් සිසු සිසුවියන් අතර නවක වධය ආශ්වාදයකින් යුතුව භාර ගන්නා දරදඬු පුද්ගලයෝ අනාගත නවක වධකයන් වීමට සුදුස්සෝ වෙති. මේ සඳහා ඔහු උදාහරණයක් දෙයි. එක්තරා විශ්ව විද්‍යාලයකදී නවක වධය සඳහා පිරිමි සිසුන් නිරුවත් කොට ඔවුන්ට ව්‍යායාම කිරීම සඳහා බල කරන ලදි. බොහෝ සිසුන් මෙම නවක වධය හමුවේදී පසුබාන ස්වභාවයකින් සිටියහ. එහෙත් සිසුන් තිදෙනෙකු  සිනහ වෙමින්  ජේෂ්ඨයන් ගේ එකඟතාව ලබා ගනිමින් ව්‍යායාම කරන ලදි.  ඔවුන් තිදෙනා  ජේෂ්ඨයන් ගේ නොමඳ අවධානයට ලක්වූහ. ඉන් පසු එලැඹුනු වසරේදී නවක වධයන් ලෙස ක්‍රියා කරන ලද්දේ මේ සිසුන් තිදෙනා ය    

නවක වධකයන් බවට අනුවර්තනය වන සිසුන් බොහෝ දෙනෙකු ග්‍රාමීය පසුගාමීත්වයෙන් ඔද්දල් වූ ආර්ථික ගැටළු වලට ලක්වී සිටි , තම තමන් ගේ ගම් වල කුල පීඩනයට ලක්ව සිටි , මාතෘ දුරස්ථකරණය / පීතෘ දුරස්ථකරණය මෙන්ම ළමා කාලයේදී කායික වාචික සහ ලිංගික අපයෝජනයන්ට ලක්වූ පිරිස් වෙති. මොවුන් තුල සමාජය කෙරෙහි අගතියක් සහ වෛරයක් දැකිය හැකිය. මොවුන් බොහෝ දෙනෙකු පාසලේදී හුදකළාව සිටි සිසුන් වෙති. මොවුන් අතර දුස්සාධ්‍ය විශාදය (Chronic Depression) , පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) මෙන්ම සමායෝගී ආබාධ ද (Ajestment Disorder)   බහුලය. මොවුන් තුල පර පීඩක ආශයන් බහුලව පවතියි. මේ නිසා මොවුන් විශ්ව විද්‍යාල නවක වධකයන් වීම සඳහා හොඳ උපස්තර වෙති. 

තෝරාගත් නවක වධකයන්ට ජේෂ්ඨ නවක වධකයන් විසින් පුහුණුවක් ලබා දෙයි. මේ සඳහා බොහෝ විට පක්‍ෂයේ අරමුදල් වලින් කුලී පදනම මත ලබ ගත් නිවාස භාවිතා කෙරේ. විවිධ ආකාරයේ නවක වධ අළුතින් පුහුණු වන්නන්ට උගන්වනු ලබයි. මෙම නවක වධ වල අරමුණ නවකයාගේ ස්වීයත්වය ( Personality  ) සම්පූර්ණයෙන්ම බිඳ දමා ඔහු හෝ ඇය බියට පත් කොට අනුකූලත්වය ලබා ගැනීමයි. මෙම අනුකූලත්වය අදාල පක්‍ෂයේ දේශපාලන ක්‍රියා සඳහා යොදා ගැනේ. මේ සඳහා මුදල් මූලිකව ලැබෙන්නේ විදෙස්ගත පක්‍ෂ සාමාජිකයන් විසින් එවන පරිත්‍යාග මගිනි. නවක සිසුන් කණ්ඩායමක් වධයට ලක් කරන්නේ ඊට පෙර වසරේ සිටි නවක වධකයන් වූවද ඔවුන්ව ඉතා තියුණු ලෙස ජේෂ්ඨ නවක වධකයන් නිරීක්‍ෂණය කරති. එසේම අදාල අවස්ථා වලදී ගුරුහරුකම් දෙති. නවක වධ අවස්ථා වලදී ඔත්තු බැලීම සඳහාද කොටසක් ක්‍රියා කරති.

විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නිම වීමෙන් පසු සහ   පක්‍ෂ දේශපාලනයෙන් ඉවත්  වීමෙන් පසුව විශ්ව විද්‍යාල නවක වධකයෝ බොහෝ දෙනෙක් හුදකළා චරිත බවට පත් වෙති. බොහෝ දෙනෙකු තම අපකීර්තිමත් ඉතිහාසය සැඟවීමට උත්සහ දරති. තවත් සමහරක් විශ්ව විද්‍යාලයේ තමන් අයත්ව සිටි දේශපාලනයට හාත් පසින්ම වෙනස් දේශපාලන පක්‍ෂ වලට සම්බන්ධ වෙති. එහෙත් සමහරක් දිගින් දිගටම තම මතවාදයේ එල්බ ගෙන සිටිති.

විශ්ව විද්‍යාල නවක වධය මේ වන විට එක්තරා ආකාරයක  නවක වධ කර්මාන්තයක් බවට රූපාන්තරණයවී හමාරය. මේ සඳහා වාර්ශිකව රුපියල් දහස් ගනනක් පොම්ප කෙරේ. මෙය එක්තරා ආකාරයක ඉතා ශක්තිමත් මාෆියාවක මුහුණුවරක් ගනී. මෙම නවක වධය සාධාරණීකරනය කිරීම සඳහා අතීත නවක වධකයන්ව සිටි වර්තමානයේ ඉහල රැකියා කරන කොටස්ද සිටින අතර ඔවුන් මතවාදීව මෙන්ම අනෙකුත් ක්‍රමයන් හරහා මෙම ම්ලේච්ඡ ක්‍රියාවලියට සහාය දෙති. එම නිසා විශ්ව විද්‍යාල නවක වධයට තිත තැබීම අතිශයින් දුෂ්කර කාර්‍යකි.

One Response to “නවක වධ කර්මාන්තය”

  1. aloy Says:

    Very creative artwork Dr. Ruwan , and you gave a nice definition to the industry.

    GOSL spends a lot of tax payers money for education and a few agents who pose as student leaders disrupt the education system at the highest level. It is perhaps our adversaries who are planning all these. It is worthwhile to do some research work and find out the background of these leaders. It is quite possible that some of them are not bright ones but ruffians who have been brought there by some manipulations just to disrupt the system.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress