ශ්‍රී ලංකාව ඉතියෝපියාවටත් වඩා අසරණයි.. රුපියල රැකගන්න ඉතියෝපියාවට රට බාරදෙන්න..(Video)
Posted on September 22nd, 2018

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

‘ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ද රුපියල 9.2%කින් අවප්‍රමාණය වීමට සැලැස් වූ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව තම බැරිකම වටහාගෙන තොලොංචි වී යා යුතු බවත් විකල්ප ආණ්ඩුව ලෙස රට භාර ගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ දේශපාලන සන්ධානය සූදානම් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (22) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති නිල නිවසේ දී පැවැති සුවශේෂී මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුමක් දියත් ව තිබිය දී පවා රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ නැහැ. ඒ කාලයේ ලෝක ආර්ථික අර්බුදයක් උද්ගත වූ විට ඒ තත්වයෙන් මේ රටේ මිනිස්සු මුදවා ගැනීමට මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නායකත්වය දුන්නා. බෙදුම්වාදී ත්‍රස්තවාදය බලවත්ව සිටි ඒ අවස්ථාවේදී අර්ථික අර්බුදය විසදා ගැනීමට පිලියම් යොදමින් ආරක්‍ෂක ඇමතිවරයා ලෙස ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එතුමන් අභිත නායකත්වයක් දුන්නා. රාජ්‍ය නායකත්වය කියන්නේ ඒකට. එහෙම නැතිව ‘ඇමරිකා එක්සත් ජනපද ඩොලරය බලවත් වෙලා. හැම රටකම මුදල් ඒකක අවප්‍රමාණ වෙනවා. ඒකට අපි මොනවා කරන්නද?’ කියන්න රටකට නායකයෝ උවමනා නැහැ. ඒක ඕනැ කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම කියන්න රටකට මුදල් ඇමතිලා, අගමැතිලා, ජනාධිපතිලා උවමනා නැහැ. ඒක හරියට ‘නුවර පෙරහැරේ නටන්න පොලිස්පතිලා උවමනා නැහැ’ වගේ දෙයක්. අද මේ ආකාරයට මේ රට විකාරයක් වෙලා. අද රටට නිසි නායකත්වයක් නැති වෙලා තිබෙනවා.

මේ විදියට රටක් අරාජික වුණාම බැටකන්නේ කවුද? ඒ රටේ සෑම සියලු ස්තරයකම ජනතාවයි. අද මේ රටේ ඉහළ පෙළැන්තිය ආර්ථිකයට කුමක්ද සිදුවෙන්නේ, කියා හිතාගන්න බැරිය ඉන්නවා. මධ්‍යම පංතිය තමන්ගේ දෛනික ජීවිතය පවත්වා ගෙන යාමට බැරිව අසරණ වෙලා තිබෙනවා. පහළ ස්ථරවල ජනයා බත් වේලක් වෙනුවට මොනවාහරි කොළ ජාතියක් උයාගෙන කන තත්වයට පත් වෙලා තිබෙනවා. අද මේ රටේ සියලු ජනතාව ඒ විදියට ඉතා අන්ත අසරණ තත්වයකට ඇද දමා තිබෙනවා.

‘ඉතියෝපියාවටත් වඩා අසරණ ශ්‍රී ලංකාවක්’

මේ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා ඇතුළු සියලු කවටයන් මේ වෙලාවෙත් මහා බේගලයක් පවසමින් තමන්ගේ පාක්‍ෂිකයන් මුලාවේ දමමින් ‘ටයිකෝට් හොරකම’ තවදුරටත් කරමින් ඉන්නවා. ඒ මහා බේගලය තමයි ‘ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල මේ විදියට අවප්‍රමාණය වෙනවා’ කියන එක. ඒත් හොඳින් වටහා ගන්න අද වන විට ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්‍ෂව රුපියල 9.2%කින් අවප්‍රමාණය වී තිබෙනවා. සිම්බාබ්වේ මුදල් ඒකකයට සාපේක්‍ෂව 11.1කින් ද බංගලාදේශයේ මුදල් ඒකකයට සාපේක්‍ෂව 7.5%කින් ද රුපියල් අවප්‍රමාණය වී තිබෙනවා. මේක හරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අෆ්ගනිස්ථානයටත් පරාජය වීම වගෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට පරාජය වෙනවා වගේ ශ්‍රී ලංකා රුපියල ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්‍ෂව 9.2%කින් අවප්‍රමාණයව වී තිබෙනවා. අද ඉතියෝපියාවේ ඉන්න නායකයන්ට මේ රට භාර දුන්නත් රුපියල මීට වඩා ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් සිරිසේන ජනාධිපතිවරයාට සහ වික්‍රමසිංහ අගමැතිවරයාට කියනවා ‘ඔබලාට බැරි බව අද ඉතාමත් හොඳින් ඔප්පු වී අවසන්. ඒ නිසා මේ රට තවදුරටත් අසරණ නොකර, කරන්න පුළුවන් කෙනෙකුට භාර දී පැත්තකට වෙන්න’ කියා.

‘ණය බර වැඩිවීම දිනකට බිලියන 34ක්’

අපි ණය නොගත්තත් ඩොලරය වෙනුවෙන් එක රුපියලක් වැඩිපුර ගෙවන්න සිදු වුණාම මේ රටේ ණය බර රුපියල් බිලියන 34කින් ඉහළ යනවා. එක දිනකදි ඩොලරය වෙනුවෙන් රුපියලක් වැඩිපුර ගෙවන්න වෙන තත්වයකට අද මේ ආණ්ඩුව මේ රට අසරණ කර තිබෙනවා. ඒ අනුව මේ රට දවසකට ණය බර රුපියල් බිලියන 34කින් ඉහළ යන රටක් බවට පත්ව තිබෙනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් ‘ලොරි ටෝක්’ ටිකක් දිලා. බටහිරට උවමනා දේ කරලා ඒවි. ඒ වගේ ‘කතා සාප්පුවලින්’ මේ රට බේරගන්න බැහැ.

‘විකල්ප ආණ්ඩුව අපියි’

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ප්‍රමුඛ අපේ බලවේගය මේ රටේ විකල්ප ආණ්ඩුවයි. එය මේ රට භාර ගැනීමට සූදානම්. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 මේ රට භාර ගත්තේ ලෝක ආර්ථික අර්බුදයක් වගේම රට තුළ යුද්ධයක් පවතිද්දියි. 2015 වන විට එතුමන් යුද්ධය ජයග්‍රහණය කරලා මේ රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ දැමීමට සමත් වූවා. ඒ නිසා එවැනි අත්දැකීම් තිබෙන නායකත්වයකට මේ රට භාර දී තොලොංචි වෙලා යන ලෙස මේ රටේ ජනතාවගේ නාමයෙන් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress