මෛත්‍රි – ගෝඨා කුමන්ත්‍රණයේ සුලමුල සොයා ගන්න මේ පොලිස්පති සිටිනතුරු බෑ
Posted on September 25th, 2018

 උපුටාගැණීම  මව්බිම

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ විමර්ශන අවසන් වන තුරු පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

පොලිස්පතිවරයාට තිබෙන බලය මත මෙම විමර්ශනය ඔහු ධුරයේ සිටින තෙක් අපක්ෂපාතීව සිදු කිරීමට නොහැකි බවද ඔහු අවධාරණය කෙළේය.

ඊයේ (24දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නය තමයි රුපියල කිසිම සීමාවක් නැතිව අවප්‍රමාණ වීම. මේ නිසා රටේ ජනතාවට මුරුංගා කොළ තම්බලා කාලා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අගමැති කියනවා මාසයක් ඇතුළත මේකට විසඳුමක් දෙනවා කියලා. ඒ වෙනකොට වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි.

ජනාධිපතිවරයායි අගමැතිවරයායි අතර කඹ ඇදිල්ලක් තිබෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයාගේ ආර්ථික කමිටුව අහෝසි කරලා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුත් ආර්ථික කවුන්සිලයක් පිහිටෙව්වා. නමුත් එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව විශාල කීර්තිනාමයක් තිබුණු ආයතනයක්. නමුත් අර්ජුන මහේන්ද්‍රන් ප්‍රමුඛ ආණ්ඩුව එකතු වෙලා එය නැති කරලා දැම්මා. නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කිසිම එකඟතාවක් නැහැ. මේ ගිවිසුම ඉදිරිපත් කරලා මාස 8කට පස්සේ ජනාධිපතිවරයා කොමිසමක් පත් කරලා තිබෙනවා. මේවා කරන්න පුළුවන් දේවල්ද. මේක අස්සන් කරලා ක්‍රියාත්මක කිරීමට නියමිත ගිවිසුමක්. දැන් කොහොමද එය නිෂේධ කරන්නේ. එහෙම කරනවා නම් බේරුම්කරණ ක්‍රියාදාමයට යා යුතුයි. නමුත් එයට විශාල කාලයක් ගත වෙනවා. මේවා ආණ්ඩුවේ එකඟතාවක් නැති නිසා වෙන දේවල්.

අද වනතුරු මහ බැංකු වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජන වෙලා නැහැ. සුමන්තිරන් මන්ත්‍රිවරයා කිව්වා සිංහල හා දෙමළ පරිවර්තන නැති නිසා විවාදයට ගත නොහැකි බව. නමුත් දැන් ඒ පරිවර්තන ලැහැස්තියි. එම නිසා එම වාර්තාව විවාදයට ගන්න.

නාමල් කුමාර කියන පුද්ගලයා විශාල චෝදනාවක් සිදු කළා ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බව. ඒ එහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා චෝදනා ලැබුවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ක්‍රියාදාමය පිළිබඳ අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. අද වනතුරු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරලාවත් නැහැ. ඔහුව පොලිසිය තුළ එක් දෙපාර්තමේන්තුවකින් වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු කිරීම පමණයි සිදු කෙළේ. මෙය හාස්‍යයට කරුණක්. නාමල් කුමාර සහ නාලක සිල්වා යන දෙදෙනාටම අත්අඩංගුවට ගැනීමයි කළ යුත්තේ. නාමල් කුමාර කියනවා ඔහුගේ ජීවිතය අනතුරේ බව. ඔහුට මොනවා හරි වුණොත් මේ සිදුවීම් යට යනවා. මේ පිළිබඳ කරුණු සොයාගැනීම සඳහා මේ ගැන දන්න සියලු දෙනා ඉදිරිපත් විය යුතුයි. නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතුයි. ඇප නැතිව.

මුල සිටම බොහොම සැහැල්ලු ආකාරයටයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙන්නේ. මෙයට විදේශීය සම්බන්ධයක් තිබෙන බවත් කියනවා. නාලක සිල්වා යටතේ තිබෙන ඊධ්ච් අංශයට ලබාදී තිබෙන ඹ්ර්ට් දෙකක් සහ හමුදාවෙන් පැන ගිය පුද්ගලයකුගෙන් ලබාගත් ස්නයිපර් තුවක්කුවක් තිබුණා. මෙහිදී සත්‍ය සොයා යෑමට අවශ්‍ය නම් පූජිත් ජයසුන්දර පොලිස්පතිව ධුරයෙන් මේ විමර්ශනය අවසන් වන තුරු ඉවත් කළ යුතුයි. ඔහු මේ ධුරයේ සිටින තාක් කල් සත්‍ය සොයාගන්න වෙන්නේ නැහැ. දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති වූ ආන්දෝලනයට තමයි මෙය ඛ්ධ්ච් එකට භාරදුන්නේ. පොලිස්පතිවරයාගේ බලය මත මේ විමර්ශනය අපක්ෂපාතීව සිදු කිරීමට හැකි වේ යැයි අපි හිතන්නේ නැහැ.

මහින්ද අමරවීර සන්ධානයේ මහ ලේකම්වරයා කියනවා නාලක සිල්වා අත්අඩංගුවට ගත යුතුයි කියලා. හැබැයි මේක කියන්න ලේසියි කරන්න බැහැ. එජාපය මේකට හරස් වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන
දින 1351 මේ ආණ්ඩුව බලයට පත්වෙලා කරපු වැඩ මොනවාද? රටක ආණ්ඩුවක වගකීම තමයි සංවර්ධනය. හදපු දේවල් විකුණලා තියෙනවා. ගුවනත් විකුණලා තියෙනවා. අපි මේ ආණ්ඩුවෙන් අහන ප්‍රශ්නය තමයි රටේ ජාතික සම්පත් විකුණපු ආණ්ඩුව අවුරුදු 4ක් තුළ කළ දේ මොකක්ද? සංවර්ධන වැඩකටයුතු නොකරන නිසා මුදල් ඉතුරුයි. පගා නොගහන නිසා ඒ මුදලුත් ඉතුරුයි. මේ ටික ඔක්කොම තියෙනවා නම් රුපියල කඩා වැටෙන්නේ නැහැ. එක්කෝ මේ ආණ්ඩුවේ සල්ලි ගිලින බහිරවයෙක් ඉන්න ඕන.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress