ඉන්දීය ජාතිකයා නාමල් හොයාගෙන කැලේ මැදින් හොර පාරෙන් ආපු හැටි…!
Posted on September 29th, 2018

උදේනි සමන් කුමාර උපුටාගැණීම  මව්බිම

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධව දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් සිදු කරන ලද හෙළිදරව්ව පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී. ඒ අතර නාමල් කුමාර සොයා ඔහුගේ නිවෙසට පැමිණි නන්නාඳුනන ඉන්දීය ජාතිකයකු නිසා සිදු කෙරෙන විමර්ශන නව මුහුණුවරක් ගෙන තිබේ. හදිසියේ පහත් වූ මේ ඉන්දීය ජාතිකයා කවුද? ඔහු නීතියේ රැහැනට හසු වූයේ කෙසේද? මේ පිළිබඳ තොරතුරු සොයා අපි ප්‍රථමයෙන්ම නාමල් කුමාර මහතා හමු වුණෙමු.

නාමල් මේ අද්භූත පුද්ගලයා කවුද? කොහොමද ඔහුගේ පැමිණීම සිදු වෙන්නේ?

මේ පුද්ගලයාගේ නම තෝමස්. ඔහු ඉන්දියාවේ කේරළයේ පදිංචි අයෙක්. පළමුවෙන්ම ආවේ 17 වැනි බදාදා හවස 4.00ට විතර මගෙ ලිපිනය කරඳ, තුල්හිරිය කියලනෙ පත්තරවල ගියේ. ඒ අනුව මෙයා තුල්හිරියෙන් බැහැල ගම් අස්සෙන් තමයි පාර සොයාගෙන ඇවිත් තියෙන්නෙ. එහෙම එද්දී ඔය කැලේ මැදින් තමයි එන්න වෙන්නෙ. එහෙම එද්දි මට ඒ පැත්තෙ අය කෝල් දුන්නා, නාමල් මෙන්න මෙහෙම කෙනෙක් ඔයාව හොයාගෙන එනවා. එයාට හරියට සිංහල කතා කරන්නත් බෑ කියලා.

නාමල් ගෙදරින් අයින් වුණාද?

නැහැ. මම කිව්වා බාධාවක් කරන්න එපා එන්න අරින්න කියලා. පස්සෙ මනුස්සය මෙහාට ආවා. එක පාරටම ගෙට ගත්තෙ නැහැ. මම කාමරේ ඉඳන් බලාගෙන හිටිය. වයිෆ් ගිහින් කතා කළා. ඔහු කිව්වා,
\’මට නාමල්ට කතා කරන්න ඕන නාමල්ගෙ ආරක්ෂාවට තර්ජනයක් තියෙනවා. මම ආවේ ඒ ගැන දැනුවත් කරන්නයි\’ කියලා.

නාමල් මොකද කෙළේ?

මම අර පුද්ගලයා මිදුලෙ ඉද්දි වයිෆ්ට කාමරේට කතා කළා. මම එයාට කිව්වා දැන් උදේ වරකාපොළ පොලිසියේ ඕ.අයි.සී. මහත්තය ඇවිත් ගියානෙ. ඒ මහත්තය කිව්වේ ආරක්ෂාවට මොනව හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනින් දැනුම් දෙන්න කියලනෙ. දැන් ඔයා ඕ.අයි.සී. මහත්තයට කෝල් එකක් අරන් මෙන්න මෙහෙම පුද්ගලයෙක් ගෙදරට ඇවිත් ඉන්නවා මොකද කරන්නෙ කියලා අහන්න කියලා. ඊට පස්සෙ වයිෆ් මේ ගැන කියල මොකද කරන්නෙ කියලා මහත්තයාගෙන් ඇහුවා.

මහත්තයා කියල තිබුණේ ඒ තැනැත්තාට ෆෝන් එක දෙන්න කියලා. ඉතින් මම කාමරේ බලා ඉද්දි වයිෆ් අර කෙනාට ෆෝන් එක දුන්නා.
ඕ.අයි.සී. මහත්තය කතා කරල කියල තියෙන්නෙ, මචං මම නාමල් මගෙ ආරක්ෂාවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවෙ ඉන්නෙ වරකපොළ පොලිසියේ. මාව හම්බුවෙන්න ඕන නම් පොලිසියට ඇවිත් මාව හමු වෙයන්. ඕන තරම් වෙලා කතා කරන්න පුළුවන් කියලා.

හරි ඊළඟට මොකද වුණේ?

ඒ පුද්ගලයා පොලිසියට යන විදිය පාර අහගෙන මාව හමුවෙන්න යනවා කියලා වයිෆ්ටත් කියල යන්න ගියා.

මිනිහ වරකා පොළට ගිහිල්ලා අර මට කතා කරපු නොම්මරේට කෝල් එකක් අරන් තියෙනවා. එතකොට ඕ.අයි.සී. මහත්තය කියල තියෙනව හරි පොලිසියට එන්න කියලා.

ඒකටත් උත්තර දීල තියෙනවා. ඔව් මම එනවා කියලා.

ඒත් සෑහෙන වෙලාවක් ගියත් ආවෙ නැති නිසා ඕ.අයි.සී. මහත්තය එයාට කෝල් එකක් අරන් තියෙනවා. එතකොට \’මම බස් එකේ ඉන්නෙ. මම උඹව නිදහස් වෙලාවක ඇවිත් හමුවෙන්නම්\’ කියල ගිහින් තියෙනවා.
ඒ වෙලාවෙම ඕ.අයි.සී. මට කතා කළා.

\’නාමල් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේක සී.අයි.ඩී. එකට දන්වන්න\’ කිව්වා. ඊට පස්සේ මම සී.අයි.ඩී. එකට මේ සිදුවීම දැනුම් දුන්නා.

දැන් ඒ වෙනකොටත් මේ නාඳුනන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැහැ.

ඔව්. නමුත් මගෙන් විස්තර දුරකථන අංක ලබා ගත්තනෙ. ඒ අනුව පරීක්ෂණ සිදු කරන්න ඇති. ඊට පස්සෙ මට ඒ තැනැත්තා එවපු මැසේජ් එකකුත් මම සී.අයි.ඩීයට යැව්වා. ඊට පස්සෙ මට උපදෙස් දුන්න කොහොම හරි මෙයාට කතා කරල හමුවෙන්න යොදාගන්න කියලා.

නාමල් ඔහුට කතා කළාද?

ඔව්. මම කිව්වා මට උඹව හමුවෙන්න ඕන කියල ඒකට හා කිව්වා. තව ගොඩක් දේ ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා. මට ඒවා තේරුණේ නැහැ. මම 20 වැනිදා උදේ 10.00ට විතර තමා ඔහුට කතා කළේ. මම හවස වරකපොළ හිටියෙ මෙන්න 3.00ට විතර මට ගෙදරින් කතා කරල කිව්වා මෙන්න අර පුද්ගලයා ගමට ඇවිත් ඉන්නවා කියලා.

මම වරකපොළ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තයටත් කියල ඒ ගමන්ම සී.අයි.ඩී. එකටත් දැනුම් දුන්නා. මෙන්න පුද්ගලයා ඇවිත් ඉන්නවා කියලා. ඒ වෙලාවෙම සී.අයි.ඩී.ය ක්‍රියාත්මක වුණා. ඒ මහත්තුරු එනකන් මෙයාව රඳවාගන්න කියලා මට උපදෙස් දුන්නා. මම 4.00ට විතර වෙද්දී ගෙදරට ආවා.

වරකාපොළ පොලිසියේ නිලධාරීන් ආවද?

ඔව්. දෙදෙනෙක් සිටියා. ඒ අය මෙයා රඳවා ගන්න ඇවිත් ඉන්න බව ඔහු දන්නේ නැහැ. මගේ ආරක්ෂාවට ඇවිත් ඉන්නවා කියලා තමයි ඔහු හිතුවේ.

ඒ පුද්ගලයා නාමල් එනකොට ගෙදරට ඇවිත් සිටියාද?

ඔව්. මේ පුටුවෙ ඉඳගෙන හිටියේ. මම අතන වාඩිවෙලා කතා කරමින් සිටියා.

මොනවද ඔහු කතා කළේ?

ලෝකයේ තිබෙන සූක්ෂ්ම මිනිස් ඝාතන පිළිබඳව ඔහු දීර්ඝ ලෙස විස්තර කළා. රසායනික අවිවලින් මිනිසුන් මරන හැටි. කෙමිකල්ස් යොදා ඝාතන සිදු කරන හැටි. මේ ආකාරයට මෙහෙම සිදුවෙන්න පුළුවන්. මුහුණට කෙමිකල් ස්ප්‍රේ කරන්න පුළුවන්. පාරෙ යද්දී කුඩුකාරයෙක් වගේ ඇවිදින් ඔයාගෙ පර්ස් එක අදින්න හදල ඔයා ගහන්න පනිද්දි බෙල්ලට දැලි පිහියක් අදින්න පුළුවන්. එතකොට පරීක්ෂණ යන්නෙ කුඩු කේස් එකක් විදියට. මේ වගේ ප්‍රශ්න විස්තර කළා. ඔහු කීවේ මේ ඝාතන කුමන්ත්‍රණ හෙළි කිරීම නිසා මගේ ජීවිතයට මෙන්න මේ විදියේ අනතුරු එල්ල වෙන්න පුළුවන් බවයි.

ඔහු සිංහල භාෂාව කතා කළාද?

නැහැ. කැඩිච්ච සිංහල කතා කළේ. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි විස්තර කළේ. අපිට තේරෙන විදියට අපි වටහාගත්තා. මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. නමුත් මෙයා කියන්නෙ මේකයි කියලා වැටහුණා.

නාමල් එයාගෙන් ඇහුවේ නැද්ද ඇයි ඔයා මට උදවු කරන්න අදහස් කළේ කියලා?

මම ඔහුට ප්‍රශ්න ගොඩක් දැම්මා. ඔහු කිව්වේ, \’මගෙ ඥාතීන් බොහෝ දෙනා ඉන්දියාවේ ප්‍රශ්නවලදී මැරුණා. මම දැන් ලංකාවෙ ඉන්නෙ. ආයෙ ඉන්දියාවට නම් යන්නෙ නෑ. මගෙ අතත් කැඩිල තියෙන්නේ.\’ (කැඩුණු අතත් පෙන්නුවා)

ලංකාවෙ කොහෙද ඉන්නේ කියලා ඇසුවාද?

ඔව්. රාගම ඇනෙක්ස් එකක නැවතී සිටින බවත් ඊට රුපියල් 2,500ක් මාසිකව ගෙවන බවත් කිව්වා. මට එතැනත් සැකයක් ඇති වුණා. රුපියල් 2,500ට රාගම ඉන්න පුළුවන්ද කියලා. අනෙක ඔහු මෙහේ ඉඳන් යාළුවකුට කෝල් එකක් ගත්තා. මම ඒ නොම්බරේ බලාගෙන ඒකට කතා කරලා ඇහුවා.

“මට ඔයාගෙ යාළුවෙක් හමුවුණා. ඔයා කොහොමද මෙයාව හඳුනන්නේ” කියලා. එතකොට ඔහු කීවා මමත් එච්චර හඳුනන්නේ නැහැ. අයි එයාට ප්‍රශ්නයක් ද කියලා තුන් හතර පාරක්ම ඇසුවා. ඇයි, ඇයි, එයාට ප්‍රශ්නයක්ද කියලා නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මම උත්තර දුන්නා.

\’ඔබතුමා අඳුනනවා කීව නිසා කෝල් එක ගත්තෙ එයා ලංකාවෙ නොවේ ඉන්දියාවේ කෙනෙක් කියනවනෙ ඒක සනාථ කරගන්න කතා කළේ\’ කීවා.

කොළඹින් සී.අයි.ඩී. එක එද්දී රෑ වුණාද?

රෑ 7.30ට විතර වෙනකොට ආවා. මෙයා කියන කරුණු පරස්පර නිසා එක්ක යනවා කියලා ඒ පදනමින් ගෙන ගියා.

ඔහු ඇසුවේ නැද්ද ඇයි ඔහුව ගෙනියන්නේ කියා?

යන්න බෑ කිව්වා. ඒත් වරකපොළ පොලිසියේ යුනිෆෝම් ඇඳපු නිලධාරීන් දෙදෙනෙක් හිටියනෙ. එයාලගෙ සහායෙන් ගෙන ගියා. මගෙන් නිලධාරීන් ඇහුවා මොකද කරන්නේ කියලා. මම කීවා මගෙ ගෙදර මෙයා තියාගන්නත් බෑ. මට තීරණ ගන්නත් බෑ. ඒ වගේම මට එයාව ගෙනියන්න කියල ඔයාලට කියන්නත් බැහැ. නමුත් මොනව හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාල වගකියන්න ඕන. ආරක්ෂාව සම්බන්ධ සම්පූර්ණ වගකීම තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ අතේනෙ. තීරණයක් ගන්න කියලා.

පස්සෙ ඒ පැමිණ සිටි නිලධාරීන් කොළඹට කතා කරලා ශානි අබේසේකර මහත්තයාගෙන් නියෝගයක් ලබා ගෙන තමයි මෙයාව අරගෙන ගියේ. ඉන් එහාට සී.අයි.ඩී. එකේ විමර්ශන ගැන මම වචනයක්වත් අහන්න යන්නෙ නැහැ. ඒක අහන්න සුදුසුත් නැහැ. ඒක ඒගොල්ලන්ගෙ රාජකාරියනෙ. මම හිතනවා ඔහු මා සොයා පැමිණියේ කුමකටද යන්න පිළිබඳවත් සත්‍ය හෙළිවේ යැයි කියලා.

උදේනි සමන් කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress