මුතුරාජවෙල තෙත් කලාපයෙන් අක්කර 100ක් විනාශ කරමින් ස්භාවික වායු බලාගරයක් ඉදිකිරීමට කැබිනට් යෝජනාවක්
Posted on September 30th, 2018

වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල තෙත්බිම ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසර පද්දතියක් වන අතර එම තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත. ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN)  ආයතනය මගින්  සිදු කල අධ්‍යනයකින් සත්ත්ව විශේෂ 209ක්, ශාක විශේෂ 194 ක්, මත්ස්‍ය වර්ග 40 ක්, උභයජීවී විශේෂ 14 ක්, උරග විශේෂ  31 ක්, කුරුළු විශේෂ 102 ක් හා සමනල් විශේෂ 48 ක් මෙහිදී හඳුනාගෙන තිබේ. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ වාර්ථා වන කඩොලාන විශේෂ 22න් 18ක්ම මෙහිදී හඳුනාගෙන ඇත. එවැනි වටිනාකමක් සහිත මෙම තෙත් බිමෙහි වර්තමාන ප‍්‍රමාණය හෙක්ටෙයාර 3068ක් දක්වා අඩුවීමට මූලික හේතුව අවිධිමත් සංවර්ධන කටයුතු සඳහා රජයේ දෙපාර්තමේන්තු මගින් තෙත් බිම ගොඩකිරීමත් විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන් මෙම තෙත් බිම අත්පත් කරගැනීමත් නිසාය. එබැවින් දැනට අභයභූමියක් ලෙස ගැසට් කර ඇති හෙක්ටෙයාර 1777 වහා පුළුල් කර සමස්ත මුතුරාජවෙල තෙත් බිමම නීත්‍යානුකූලව ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු ඇතත් මේ වන විට විහාල වශයෙන් හානිකර ව්‍යාපෘති මෙම භූමිය තුළ ඉදිකිරීමට පිඹුරුපත් සකස්වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ සුවිශේෂම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල තෙත්බිමට එල්ල වන විවිධ තර්ජන හමුවේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම සමඟ එක්ව ඉදිකිරීමට සූදානම් වන  ස්වාභාවික ද්‍රව වායු බලාගාරයකට (LNG) අක්කර 100 ක භූමියක් මුතුරාජවෙලින් වෙන් කරන ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා පසුගිය 18 වෙනිදා කැබිනට් හමුවේදි යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම LNG ව්‍යාපෘතිය මෙරට විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වුවද, ඒ සඳහා මුතුරාජවෙල වැනි වටිනා පාරිසර පද්ධතික අක්කර 100ක් වැනි විශාල භූමියක් විනාශ කිරීම අමන තීන්දුවක් වන අතර එමගින් සෘජුවම මුතුරාජවෙල මත යැපෙන දහස් ගණනක් ධීවර ප්‍රජාව අසරණ තත්වයකට පත් කිරීම, මේ ආශ්‍රිතව බැඳුනු සංචාරක කර්මාන්තය අඩාල කරමින් දස දහස් ජනයාගේ ජීවනාලිය බිඳ දැමීම ,  කොළඹ හා අවට ප‍්‍රදේශ තුල ගංවතුර පාලනයට හා නගරයේ උෂ්ණත්වය පාලනය කිරීමද අවහිර කරමින් සිදු කරන්නා වූ විශාල විනාශයකි.

වටිනා සම්පතක් වන මුතුරාජවෙල තෙත් බිම තුල රාජ්‍ය හෝ පෞද්ගලික කිසිදු ව්‍යාපෘතියක් කිරීමට අවසර නොදිය යුතු අතර, එය අධිරක්ෂිත ප‍්‍රදේශයක් ලෙස නම් කල යුතුය. එබැවින් මෙම ව්‍යාපෘතිය සඳහා මුතුරාජවෙල තෙත් බිමෙන් ඉඩම් ලබා නොදෙන ලෙසත්, ඒ සඳහා පරිසර පද්ධතියට අවම බලපෑමක් එල්ල වන විකල්ප භූමි ප‍්‍රදේශයක් භාවිතා කිරීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබඳව දැනුවත් කරමින් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය මගින් ජනපති ඇතුළුව වගකිව යුතු ආයතනද ලිපි මගින් දැනුවත් කර ඇත.

මුතුරාජවෙල තෙත් බිමේ විශාල ප‍්‍රදේශයක් ගොඩකිරීමට තැත් කිරීම පිලිබඳව පසුගිය මාර්තු මස නොයෙකුත් මාධ්‍ය ආයතන මගින් වාර්තා වූ පසු ඒ පිළිබඳව සොයා බැලීමට  2018 මාර්තු මස 22 දින ජනාධිපතිතුමන් සිදුකල මුතුරාජවෙල නීරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව එය ගොඩකිරීම නැවැත්වීමට අදාල රාජ්‍ය බලධාරීන්ට නියෝග කල අතර මුතුරාජවෙල තෙත් බිමේ වටිනාකම පෙන්වා දෙමින් ඉදිරියේදී එය කිසිම හේතුවක් මත ගොඩ නොකරන ලෙස නියෝග කරන ලදි. එසේ තිබියදි මේ පරිසර පද්ධතිය තුළ ව්‍යාපෘති සිදු කිරීමට යෝජනා කරන්නේ රාජ්‍ය නායාකයා වන ජනපතිතුමන්ගේ තීරණයද හෑල්ලුවට ලක්කරමිනි. එබැවින් මෙම යෝජනාව වහාම හකුලා ගැනීමට කටයුතු කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ඉල්ලා සිටිමු.

පේශල පසන් කරුණාරත්න

මාධ්‍ය සම්බන්ධීකාරක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress