අදූර්දර්ශී නායකයන් මිස නිර්භීත නායකයන් මේ ආණ්ඩුවේ නැහැ
Posted on October 2nd, 2018

පනාගොඩ – චම්පා ශිවන්ති, මාළඹේ – රාජිකා රණසිංහ උපුටාගැණීම  මව්බිම

රටක නීතියක් නැතිනම් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. මේ වනවිට රටේ පාතාලය, මත්ද්‍රව්‍ය හිස ඔසවලා. අද රටේ ඇමැතිවරුන් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි නම්, අපරාධ සිදුවෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කරන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම දේ තමයි ඡන්දය.

අද ඡන්දය කල් දාලා. එහෙම තිබියදීත් වත්මන් ආණ්ඩුව, තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙලදී පසුගිය 30 වැනිදා පැවැති ‘එළිය’ සම්මන්ත්‍රණය අමතමිනි. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.

අපේ ආණ්ඩුව 2005 දී මේ රට භාර ගත්තායින් පසුව වසර 4 කින් ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කළා.

මේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන ගියා. වත්මන් ආණ්ඩුව බලයට පත්වුණේ කිසිම සැලැස්මක් නැතිවයි. ආර්ථිකයේ උත්තේජනයක් ඇති කරන්නට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, යටිතල පහසුකම් දියුණු කිරීම වැදගත්. ඒ නිසයි අපේ ආණ්ඩුව මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇති කළේ. නමුත් වැදගත් ස්ථානයක තිබෙන හම්බන්තොට වරාය මේ ආණ්ඩුව පැමිණීමෙන් පසුව අගමැතිවරයාම වරායේ තිබූ සංවර්ධනය නතර කළා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා. ඒවා කළේ වෛරී සහගතවයි.

අප රටේ රාජ්‍ය සේවකයන් ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. රාජ්‍ය සේවකයන්ගේ සහයෝගය නැතිව රටක් සංවර්ධනය කරන්නට බැහැ. මේ ආණ්ඩුව ආරක්ෂක අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ව මාරු කළා. අනික් අමාත්‍යාංශවලත් එහෙමයි. රාජ්‍ය නිලධාරීන්ව මේ අය විසින් ඇති කළ පරීක්ෂණ මණ්ඩලවලට ගෙනිහින් කරදර කළා. එනිසා රාජ්‍ය නිලධාරීන්ට අවංකවම තීරණයක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.

දේශපාලන පළිගැනීම්, දූෂණය තමයි රටේ ඉහළ ගොස් තිබෙන්නේ. රටේ අපරාධ පාලනය කරන්න බැරි වුණාම හිටපු ආණ්ඩුවට තමයි චෝදනා කරන්නේ. ඒ වගේම රුපියල පාලනය කරන්න බැරි වුණාම ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරනවා. අදූර්දර්ශී නායකත්වයක් නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට පත්වෙලා තිබෙන්නේ. එදා යුද්ධය ජයග්‍රහණය කිරීමේදී රණවිරුවන්ගේ සංඛ්‍යාව කොටස් වශයෙන් වැඩි කළා. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම අවසරය ලබා දුන්නා. එවැනි නිර්භීත තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා. එදා ආර්ථිකයේ පසුබැස්මක් තිබූ අවස්ථාවකයි යුද්ධය කරගෙන ගියේ. එදා රට සහල්වලින් ස්වයංපෝෂිත කළා. පොහොර සහනාධාරය ලබාදුන්නා. නිවැරැදි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් එදා තිබුණා.

ආර්ථිකය කඩා වැටෙන්නට හේතු වූ අය ඉන්නේ මේ ආණ්ඩුව තුළමයි. අපි ඇති කරපු වරාය, ගුවන් තොටුපළ දියුණු කරන්න සැලසුම් තිබුණා. ඇවන්ගාර්ඩ් ව්‍යාපෘතිය තුළින් විශාල විදේශ විනිමයක් අප ලබා ගත්තා. එවැනි ව්‍යාපාර කලින් තිබුණේ නැහැ. විශාල රැකියා ප්‍රමාණයක් ඇති කළා. එවැනි ව්‍යාපාර බොරු චෝදනා කරලා කඩාකප්පල් කළා.

මෙවැනි විවිධ ව්‍යාපෘති නැති කරලා දැම්මා. කොළඹ නගරයේ දැන් තිබෙන ව්‍යාපෘති ඇති කළේ යුද්ධයෙන් පසුව හිටපු ආණ්ඩුවයි. රටේ ආර්ථිකය කඩාවැටීමත් සමඟ සියලු ව්‍යාපෘති මන්දගාමීවයි සිදුවන්නේ. ඇතැම් ඒවා නතර වෙමින් යනවා. රටේ අදූරදර්ශී, දූෂණය නිසයි මේවා වුණේ.

අද රටේ ලොකුම දූෂිත නඩුව තමයි ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම. මේවා දේශපාලන පළිගැනීම් පමණයි.

බලයට එන්න විවිධ බොරු කිව්වා. ජනතාව මුළා කළා. එම නිසා තමයි රට මෙවැනි තත්ත්වයකට අද පත් වෙලා තිබෙන්නේ. එදා අපි මේ රට පාලනය කළේ යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තුළයි. මහින්ද චින්තනය ඉදිරියට ගෙන ගියා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියන සැලැස්ම සියලුම වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරමින් යනවා. නව ආණ්ඩුවක් බලයට පත්වූ වහාම රටේ ප්‍රශ්න විස¼දා සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලුම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress