මහින්ද පිට වරද පටවලා මේ අර්බුදය විසඳන්න බෑ
Posted on October 3rd, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

රුපියල ස්ථාවරව පවත්වාගැනීම සඳහා දින හතරක් ඇතුළත මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 154.5ක මුදලක් වෙළෙඳපොළට මුදාහැර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ සැප්තැම්බර් 25 වැනි දින ඇ.ඩො.මි. 32.5ක්, සැප්තැම්බර් 26 වන දින ඇ.ඩො.මි. 56ක්, සැප්තැම්බර් 27 වැනි වැනි ඇ.ඩො.මි. 30ක් සහ 28 වැනි දින ඇ.ඩො.මි. 30ක් වශයෙන් මෙලෙස වෙළෙඳපොළට මුදාහැර තිබෙන බවයි.

ඊයේ (02දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය නිසා බව නොකියන තාක් මේ ආර්ථික අර්බුදය විසඳන්නට හම්බවෙන්නේ නැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ණය බර විශාල ලෙස වැඩි වූ වර්ෂය ලෙස හඳුන්වන්නේ 1989 වර්ෂය. එම වසරේ දළ දේශීය නිෂ්පාදනය 8%ක් වනවිට ණය බර 108%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම වසරේ තමයි නිදහසින් පසු ඇතිවූ විශාලම ආර්ථික අර්බුදය ඇති වුණේ.
අවුරුදු 5න් පහට දක්වා තිබෙන ණය බර දත්ත වාර්තාවල සටහන් වී තිබෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම ණය බර 1975-1980 වසරවල ඇති වී තිබෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එක් ණය වාරිකයක් සඳහා ලබාදෙන්නෙත් ඇමෙරිකානු ඩොලර් මිලියන 169යි. එහෙම ණය අරගෙන ඇ.ඩො.මි. 154.5ක් වෙළෙඳපොළට දානවා රුපියල බේරගන්න. මේ තත්ත්වය දිගින් දිගටම පවතින විට බස් ගාස්තු, දුම්රිය ගාස්තු වැඩි වෙනවා. ලබන සතිය වනවිට ඛනිජ තෙල් මිලත් ඉහළ යනවා.

මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න රටේ අපනයන ප්‍රමාණය වැඩි කරන්න බැහැ. යුද්ධය නිසා මේ රටට ආයෝජන ආවේ නැහැ වසර 30කට ආසන්න කාලයක්. 2009 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමෙන් පසුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් මේ රටට විදේශ ආයෝජන ගලාගෙන ආවා. උතුරු – නැඟෙනහිර ප්‍රදේශ ලෙස සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කළා. මුළු රටම වැඩබිමක් කළා.
හැබැයි මේ ආණ්ඩුව 2015 බලයට පැමිණීමෙන් පසුව විදේශ ආයෝජන මඟින් සිදුකරපු සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල අවලංගු කරලා වැඩබිමක් වෙලා තිබුණ මේ රට මුඩුබිමක් කළා.

අපේ ආණ්ඩු කාලයේ යුද්ධය තිබුණා. ලෝක ආහාර අර්බුදය තිබුණා, ලෝක ආර්ථික අර්බුදය තිබුණා, ලෝක තෙල් අර්බුදය ඇතිවුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට එන විට මේ අර්බුද කිසිවක් තිබුණේ නැහැ. එය මහා විශාල වාසියක් මේ ආණ්ඩුවට. ඒ මහා වාසියෙන් රටේ ඉතුරු වුණ ඩොලර් ටික පුච්චලා දැම්මා. මේ දවස්වල ආණ්ඩුව නිරන්තරයෙන් මතුරන මන්තරෙන් රටත් ජනතාවත් වෙළාගෙන සිටින දැවැන්ත ආර්ථික අර්බුදය වළක්වන්න ආණ්ඩුවට ඉඩ ලැබෙන්නේ නැහැ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් හදලා රට ඇතුළේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා විදේශ රටවලින් නිදහසේ ගලා ඒමට ඉඩ විවෘත කරලා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කමිටුවෙන්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ආර්ථික අනුකමිටුව අහෝසි කළත් එම කමිටුවෙන් රටේ ආර්ථිකයට කළ විනාශය නතර කරන්න බැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
මේ වන විදේශීය ආයෝජකයන්ට අපේ රට ගැන තිබෙන විශ්වාසය කඩාගෙන වැටිලා තියෙනවා. මෙය හදිසියේ ඇතිවූ අර්බුදයක් නොවෙයි. කාලයක් තිස්සේ පැවතුණු අර්බුදයක්. නමුත් ආණ්ඩුව ඊට කිසිම පිළියමක් යෙදුවේ නැහැ. මේකට හේතුව ආණ්ඩුව තුළ විශ්වාසය නොමැති වීමයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

ඉදිරි කාලපරිච්ඡේදය රටේ ජනතාවට පීඩාව දෙගුණ තෙගුණ වෙනවා. ජනාධිපතිගේ වියදම් තුන්කෝටි 69 ලක්ෂයක් දක්වා වැඩි වෙනවා. ඊට සාපේක්ෂව මේ රටේ ජනතාවගේ වියදනුත් වැඩිවෙයි. ජීවන වියදම කොතරම් වැඩි වුණත් මේ අය උඩින් යන එක නම් නවත්වන්නේ නැහැ. ජනාධිපති ලංකාවට එන විට අගමැති නෝර්වේ යනවා. මේ වියදම්වල වැඩිහරියක් තිබෙන්නේ පියාසර වියදම්. සංවර්ධන වැඩපිළිවෙල් සඳහා මුදල් ඇස්තමේන්තු ගත නොකර පෞද්ගලික වැය ප්‍රමාණය ආණ්ඩුව දිනෙන් දින වැඩි කර තිබෙනවා.

ඉෂාරා සිල්වා

One Response to “මහින්ද පිට වරද පටවලා මේ අර්බුදය විසඳන්න බෑ”

  1. Dilrook Says:

    Yes; it is foolish to blame each other (Mahinda and this regime) for the crisis. It is a national crisis. All governments since 2009 are responsible for this. A national approach must be taken to overcome the crisis.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress