20 ගේන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් නැතිව උතුරට ස්වයං පාලනයක් දෙන්නයි
Posted on October 3rd, 2018

උපුටාගැණීම  මව්බිම

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසු ෆෙඩරල් ව්‍යවස්ථාවක් නැතිවම උතුරට ස්වයං පාලනයක් ලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.
එවිට දුටුගැමුණු මහ රජතුමා වැනි ශේ‍ර්ෂ්ඨ නරපතියකුට මෙරට පාලන බලය ලැබුණද ඔහුටද කළ හැකි යමක් ඉතිරි නොවන බවද ඔහු පැවැසුවේය.

‘බෙදුම්වාදී 20 වැනි සංශෝධනය හකුළා ගනු!’ යන තේමාව යටතේ පසුගියදා නාත්තණ්ඩිය මහවැවදී ජා.නි.පෙ. පුත්තලම් දිසා සභාව සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙසේ පැවැසීය.
මන්ත්‍රිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

අද මේ රටේ ආර්ථිකය හතර ගාතෙන් ඇදවට්ටලා තිබෙනවා. ස්වදේශික ගොවි ජනතාව, වෙනත් නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් අසරණ වෙලා තිබෙනවා. නවතම ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙනවා, ‘දකුණු ආසියාවේ දුප්පත්කමින් කරවටක් ගිලී සිටින රටවල් දෙක අතර ශ්‍රී ලංකාව සිටිනවා’ කියලා.

ලංකාවේ විදුලි දුම්රිය ව්‍යාපෘතියකින් ඇමැති මලික් සමරවික්‍රම හා ඇමැති සුජීව සේනසිංහ පගා ඉල්ලපු බව දැන් අනාවරණය වෙලා තිබෙනවා. විදුලි දුම්රිය ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවකුගෙනුත් පගාව ඉල්ලපු මලික් සමරවික්‍රම ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුවට පාවාදෙන ගිවිසුමක් අස්සන් කරලා සිංගප්පූරුවෙන් කොහොම පගාවක් ගන්න ඇතිද?

දැන් රට බෙදන්න, අස්ථාවර කරන්න, අපි උපන් රටේ අනාථයන් බවට පත් කරන්න වුවමනා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජ.වි.පෙ.ට දුන්නා අරගෙන එන්න. නමුත් මේක හැදුවේ ජ.වි.පෙ. නොවෙයි, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්, රට කෑලි 09කට කඩනකම් නින්ද යන්නේ නැති ජයම්පති වික්‍රමරත්න හා තවත් සුරේෂ් නමැති එන්ජීඕකාරයෙක් එකතු වෙලයි මේක හැදුවේ. මේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණය අහෝසි කරන්නේ රනිල් වික්‍රමසිංහට කවදාවත් ජනාධිපතිවරණයකින් ජයගන්න බැරි නිසයි.

සිරිසේන මහත්තයාට පොඩි කේක් කෑල්ලක් දෙනවා. ‘ඔයා ඔය පුටුවටම වෙලා පත්තරයක් බලබලා ඉන්න’ කියලා. විධායක බලතලවලින් වැඩි කොටසක් ජනාධිපතිවරණයකින් දිනන්න බැරි රනිල්ට දෙනවා. ‘රනිල්ට බෑ’ කිව්වේ අපි නොවෙයි මංගල සමරවීර. අද රනිල්ට විතරක් නොවෙයි, මංගලට, සාගලට මේ සියලුදෙනාට ‘බෑ’ කියලා ඔප්පු වෙලා ඉවරයි. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂයට දෙන උදව්ව, මේ නාමල් කුමාර හඬපට සහිතව අනාවරණය කළ බරපතළම කරුණ වූයේ ‘ජනාධිපති – හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන තැත’ පිළිබඳ කරුණයි. ජනාධිපති මරා දැමුවොත් වැඩබලන ජනාධිපති වෙන්නේ කවුද? රනිල් (සභාවෙන් පිළිතුරු).

ඒ වගේම ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් අගමැති රනිල් වික්‍රමසිංහගේ භයානකම ප්‍රතිවාදියා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. එහෙනම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මරා දැමුවොත් එහි වාසිය කාටද? රනිල්ට (සභාවෙන් පිළිතුරු). පසුගියදා පාර්ලිම්න්තුවේදී මේ ඝාතන තැත පිළිබඳ අප ප්‍රශ්න කරන විට, වෙනදා ‘ඇදගෙන නාන’ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පොලිසිය භාර ඇමැතිට ‘නාන්න දීලා’ පූස් පැටියෙක් වගේ හැංගිලා හිටියා. ඒ මේ වැඩෙන් වාසිය ලැබෙන්නේ එයාට නිසයි.

අනේ අම්මපා මෙහෙමත් ජනාධිපති කෙනෙක්. ‘මට කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ’ කියමින් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ‍ෙදාස් කියපු මෙයා දැන් කියනවා. ‘මට අවසාන සති දෙකේ යුද්ධය කරන්න ආරක්‍ෂක ඇමැතිකම දීලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට ගියා’ කියලා. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා හා හමුදාපති සරත් ෆොන්සේකා යන දෙන්නත් රටේ හිටියේ නැහැ කියලා.

කමක් නැහැ. අපි ඔයා යුද්දේ කළා කියලා පිළිගන්නම්කෝ. ඔය සති දෙකේ තමයි යුද අපරාධ සිදු කළ කියලා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය චෝදනා එල්ල කළේ. ඉතින් ඔයා ඒ චෝදනාවත් භාර ගන්න. ඒ අනුව බැලුවාම ජිනීවා යෝජනාවෙන් එල්ල කළ යුද අපරාධ චෝදනාවලට වගකිව යුත්තේ අවසන් සති දෙකේ යුද්ධයට අණ දුන් ශ්‍රී ලංකාවේ හිටපු වැඩ බලන ආරක්‍ෂක ඇමැති මෛත්‍රිපාල සිරිසේන වීරයා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress