සිරිකොතගැති පොලිස්පතිව ඉවත් කළ යුතුයි
Posted on October 4th, 2018

හර්ෂනී අර්සකුලරත්න ඡායාරූප – කැලුම් චාමර උපුටාගැණීම  මව්බිම

පොලිස්පතිවරයා ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව බැඳී සිටින බවක් සිදුවෙමින් පවතින සිදුවීම් ඔස්සේ පැහැදිලි වන බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් ‍ෙදාළවත්ත පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දරට නම් කළ රුපියල් මිලියන 12ක චෙක්පත සම්බන්ධව නිසි විමර්ශන මේ දක්වා සිදු නොවන බවටත් එය හෙළි කළ ඉංජිනේරු නිශාන්ත ද අල්විස්ගේ ජීවිතයට බලපා ඇති තර්ජනය හේතුවෙන් අධිකරණයෙන් ඔහුට ආරක්ෂාව ලබා දෙන ලෙස සිදු කළ නියෝගය පසෙක දමා පොලිසිය කටයුතු කරමින් පවතින බවටත් ඔහු එහිදී චෝදනා නැඟීය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (03දා) මහජන පුස්තකාලයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

පොලිස්පතිගේ සිටම පොලිසියේ වෙනසක් ඕනෑ යැයි ප්‍රමාද වී හෝ ජනාධිපතිවරයා පිළිගැනීම සතුටක්. සත්‍ය ගවේෂකයෝ සංවිධානය දිගින් දිගටම හඬ නැඟුවෙත් මෙයමයි.

ආණ්ඩු ගැති, සිරිකොත ගැති, රනිල් වික්‍රමසිංහට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කළ යුතු බව තමයි අප දිගින් දිගටම පැවසුවේ.

පොලිස්පතිවරයා දිගින් දිගටම කටයුතු කළේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පත්වන පොලිස්පතිවරයා මුල සිටම ක්‍රියාත්මක වුණේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එ.ජා.ප.යේ අවශ්‍යතාවන්වලටයි. පසුගිය කාලේ මොවුන් මහජනතාව විශාල ඇන්දවිල්ලක් ඇන්දෙව්වා. ජනතාවට කිව්වෙ අපරාධ රැල්ල අඩුවෙලා කියලායි. නමුත් කවුරුත් ඇත්ත මොකක්ද කියන එක දන්නවා. අද වෙනකොට පොලිසයේ සමස්ත ක්‍රියාවලියම මේ පොලිස්පතිවරයා අකර්මණ්‍ය කොට විනාශ කරලා දාලයි තියෙන්නේ. මොහුගේ ක්‍රියාකලාපය නිසායි පොලිසිය අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මෙවැනි දුබල පොලිසියක් නෙමෙයි මීට පෙර අප දැක තිබුණේ. යුද ජයග්‍රහණයට පවා මනා සහායක් දැක්වූ පොලිසියක් තමයි අප මීට පෙර දැක්කේ. අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා. පොලිස්පති අද සිරිකොතේ අවශ්‍යතාව පමණක් ඉටු කරමින් ඉන්නවා.

මේ පොලිස්පතිවරයා තියාගෙන පොලිසියේ නිසි ක්‍රියාකාරිත්වය අපට බලාපොරොත්තු විය නොහැකියි. ඒ නිසා අපි ඉල්ලන්නෙ වහාම මොහුව ඉවත් කරන්න කියලායි. මේ රටේ පවතින අධිකරණයකින් නිශාන්ත මහත්මයාගේ ආරක්ෂාව තහවුරු කරන්න නියෝගයක් දීලා තිබුණත් අද වන තුරු ඔහුගේ පවුලේ ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? එතැනින් පැහැදිලියි පොලිස්පතිගේමේ රුපියල් මිලියන 12ක චෙක්පත හින්දා නේද මේ ආරක්ෂාව දෙන්නෙ නැත්තෙ කියලා.

අද ඔය චෙක්පත ආණ්ඩු විරෝධී පුද්ගලයෙක් නමින් මාරු වෙලා තිබ්බා නම් බලාගන්න තිබ්බා මේ ආණ්ඩුවයි පොලිස්පතිවරයායි කාර්යක්ෂමව කටයුතු කරන හැටි.

පසුගියදා ‘මව්බිම’ පත්තරේ දාලා තිබුණා ‘ලංකාවේ මහජන මුදල් කෝටි 600ක් විනාශයි’ කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ නඩුව අහද්දීයි මේක එළියට ආවේ.ලක්ෂ 30ක භාණ්ඩ අරගෙන තවම මුදල් නොදීමේ වරදට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ඇතුළේ ඉන්දැද්දී තමයි මේ කෝටි 600ක ලාංකික ජනතාවගේ සල්ලි කාබාසිනියා වීම එළියට එන්නේ. ඒ කාලෙ නවත්වපු ගනුදෙනුව නැවත මේ කාලෙදි ක්‍රියාත්මක කරන්න ගිහිල්ලායි මේ විනාශය වෙලා තියෙන්නේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress