ජොන්ස්ටන්ට එරෙහි නඩුව FCID නිලධාරීන් ණය මැමපත් වෙනස් කරන්න මට බල කළා
Posted on October 5th, 2018

කුරුණෑගල අධිකරණ_ ඉන්දුජ හිරුජි උපුටාගැණීම  මව්බිම

‘මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා. මගේ නිවෙස සතොසට යාබදව තිබෙන නිසා මේ දේවල් නොකළොත් මටත් ප්‍රශ්නයක් වෙන බව කිව්වා’ යැයි ඊයේ (04දා) කුරුණෑගල මහාධිකරණයේ සාක්කි දෙමින් ලක් සතොස යන්තම්පලාව ශාඛාවේ වෙළෙඳ සහායිකාවක් වන අෑන් රොෂානි කොක් මහත්මිය කියා සිටියාය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඉදිරියේ අඛණ්ඩව විභාගයට ගැනෙන අතර, විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අෑන් රොෂානි මහත්මිය එසේ කීවාය.

රුපියල් තිස් අට ලක්ෂයක් වටිනාකමින් යුතු භාණ්ඩ යන්තම්පලාව ලක් සතොසෙන් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියමින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව පවරා ඇත.
ජනාධිපති නීතිඥවරයා ඇසූ ප්‍රශ්න හමුවේ සාක්කිකාරිය මෙසේද කීවාය.

‘ඊයේ මගෙන් ප්‍රශ්න කළෙත් මේ ‘අල’ සිද්ධිය ගැන. ඒ ගැන මට මතකයි. මට එයාලා අර්තාපල්වලට ‘අල’ කියලා ලියන්න කිව්වා. මම එහෙම ලිව්වා. මට හිනාවෙවී විහිළු කරමින් ඒ අය මට උපදෙස් දුන්නා. ඔය මැම පත් විමර්ශනවලට කලින් අවුරුදු එකහමාරක් ශාඛාවේ තිබුණා. ඒවා වෙනස් කරන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. මට බලපෑම් කරපු නිසයි මම ඒවා වෙනස් කළේ. පොලිසියේ අය මැම පත් ඉරාගත් පොත මම අරගෙන ආවා.’

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් සාක්කිකාරිය විසින් ලබාදුන් මැම පොත 1 වි 91 ලෙස සලකුණු කර මහාධිකරණ විනිසුරුතුමියගේ අවසරය මත අධිකරණයට ඉදිරිපත් කළේය.

ඊයේ දිනයේදි මෙම සාක්කිකාරිය කියා සිටියේ කලාප කළමනාකරු සහ ප්‍රධාන කාර්යාලයේ උපදෙස් මත මෙම මැම පත් වෙනස් කළ බවයි. රජය වෙනුවෙන් පෙනී සිටින ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා සාක්කිකාරියගෙන් ප්‍රශ්න කරමින්, මැම පත්වල මුළු මුදල සහ වටිනාකම් වෙනස් කළාදැයි විමසා සිටියේය. සාක්කිකාරිය කියා සිටියේ පොලිසිය විමර්ශන සඳහා පැමිණි අවස්ථාවේදී ඒවා වෙනස් කළ බවයි.

මහාධිකරණ විනිසුරුතුමිය විසින් නඩු විභාගය මෙම මස 08 වැනි දින දක්වා කල්තැබූ අතර විත්තිකරුවන් තිදෙනා නැවතත් එදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.

රජය වෙනුවෙන් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා සහ රජයේ අධිනීතිඥ විරාජ් වීරසූරිය මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ නීතිඥ ලක්මාල් රත්නායක, ඉන්දික ගිරාගම, ඩේල් ගුණවර්ධන, නෙරන්ජන් ඊරියගොල්ල, චලක විදානගේ ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress