නිදහස එපා කී “පිං” පියා ගේ නිදහසේ රඟ.
Posted on October 8th, 2018

Dharma Sri Kariyawasam Lanka Lead News

නිදහසේ පියා ඩී.එස්. පළමු නිදහස් අරගලය පාවා දුන්නේ ය

ඩී.එස්. සේනානයක යනු ලංකාවේ නිදහසේ පියා යැයි කීයන පට්ටපල් බොරුව සමාජගත කරන්නට ‘නිදහසේ පියා ඩී.එස්.’ යනුවෙන් චිත්‍රපටයක් හදා විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා දරන උත්සාහය පිළිකුල් සහගත ය. එය ලේ බිඳක් වත් නොසොල්වා 1948 දී ලංකාවට නිදහස ලබා ගත්තේ යැයි කියන බොරුව තරම් ම පිළිකුල් සහගත ය. මේ දෙකින් ම ‍කෙරෙන්නේ ඉංග්‍රීසි අධිරාජයවාදයට එරෙහි ව 1817 දී සහ 1848 දී නිදහස් අරගල කර මව්බිමේ නිදහස වෙනුවෙන් ජීවිත පූජා කළ උදාර දේශප්‍රේමීන්ට නින්දාවකි. ඇත්ත වශයෙන් ම නම් කිව යුත්තේ ‘නිදහසේ පියා’ නොව ‘නිදහස එපා කී පියා ඩී.එස්.’ නැත්නම් ‘නිදහසට එරෙහි වූ පියා ඩී.එස්.’ යනුවෙනි. ඔහු ලංකාවට ආදරය නොකළේ යැයි කිව නොහැකි ය. එහෙත් ඔහු ඒ තරමට ම නැත හොත් ඊටත් වඩා බ්‍රිතාන්‍යයට ගරු කළේ ය. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට අවනත වූයේ ය. එබැවින් ම ඩී.එස්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සුවච කීකරු දේශපාලනඥයෙක් විය.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස් විය යුතු යැයි යෝජනාවක් මතු නොව අදහසක් හෝ ඉදිරිපත් වූ සෑම අවස්ථාවක දී ම ඩී.එස්. ක්‍රියා කළේ ඊට එරෙහි ව බව ඔහුගේ දේශපාලන ඉතිහාසය විමසා බලන විට පෙනේ. ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලබා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාව ඊට පළමු උදාහරණය යැයි කිව හැකි ය. දෙවැන්න ලෙස සැලකිය හැක්කේ 1940 මුල්ඔය වැඩවර්ජන සිද්ධිය ආශ්‍රයෙන් ඇති වූ ව්‍යවස්ථා අර්බුධය පිළිබඳ සිද්ධියයි.


එය මෙසේ ය.

හේවාහැට මුල්ඔය වත්තේ පැවැති වැඩවර්ජනයක දී ඇති වූ කලබලයක් අතරතුර පොලිසිය වෙඩි තැබීම නිසා ගොවින්දන් නැමැති කම්කරුවෙක් මියගියේ ය. මේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් කොමිසමක් පත් කරන ලදී. මේ කොමිසමේ වාර්තාව ලැබෙන තෙක්, සිද්ධිය පිළිබඳ ව පවරා ඇති නඩුව ඇසීම කල් තබන ලෙස ඉල්ලීමක් කරන බවත් අධිකරණයේ දී ඊට එරෙහි නොවන ලෙස ඊට සහභාගි වන පොලිස් නිලධාරීන්ට දැනුම් දෙන ලෙසත් ස්වදේශ කටයුතු ඇමැතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ ය. එහෙත් වැඩ බලන පොලිස්පතිවරයා ඒ නියෝගය පිළිපැදීම ප්‍රතික්ෂේප කළේ ය. ආණ්ඩුකාර ඇන්ඩෲ කැල්ඩිකොට් ද වැඩ බලන පොලිස්පතිගේ මතය පිළිගත්තේ ය.

මෙය ආණ්ඩුකාරයාට එරෙහි ව රාජ්ය මන්ත්‍රණ සභාව තුළ විශාල කැළඹීමක් හට ගැනීමට හේතු වූ අතර ඇමැති මණ්ඩලය ම ඉල්ලා අස්වීමට තරම් එය දුරදිග ගියේ ය. මේ කැළඹීම නිසා ඇති වූ අර්බුදය ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා කෙරෙන අරගලයක් බවට පත් කර ගැනීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි සමසමාජ පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාත් පිලිප් ගුණවර්ධනත් වෑයම් කළහ. ඊට මුල පුරමින් පිලිප් ගුණවර්ධන රාජ්‍ය මන්ත්‍රණ සභාවට පහත දැක්වෙන යෝජනාව ඉදිරිපත් කළේ ය.

‘රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටින ඡන්දයෙන් තේරී පත් වී ඇති මන්ත්‍රීවරුන් සිය අසනවලින් ඉල්ලා අස්විය යුතු ය. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කරනු සඳහාත් පූර්ණ ස්වාධීනත්වය ලබා ගනු සඳහාත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි ව කෙළින් ම එල්ල කෙරෙන දීප ව්‍යාප්ත ජනතා අරගලයක් සඳහා ජනතාව වහා සූදානම් විය යුතු ය.’

ආණ්ඩුකාරයාට බරපතළ අභියෝගයක් වූ සමසමාජ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මේ උත්සාහය ඩී.එස්. සේනානායක නිසා අසාර්ථක විය. ඔහු ආණ්ඩුකාරයා රහසේ හමු වී ඇමැති මණ්ඩලයත් ආණ්ඩුකාරයාත් අතර අතරමැදි සමාදානයක් ඇති කර ගන්නට කටයුතු කළේ ය. ව්‍යවස්ථාවේ 45 වැනි වගන්තිය යටතේ සඳහන් කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ආණ්ඩුකාරයා එකඟ විය. එබැවින් නිදහස ලබා ගැනීම සඳහා ඇර‍ඹෙන්නට ගිය ජනතා අරගලය උපන් ගෙයි ම මියැදුණේ ය.

ඒ වසරේ ම දෙසැම්බර් මාසයේ ලංකා ජාතික සංගමයේ කැලණි සම්මේලනයට ජේ.ආර්. ජයවර්ධන විසින් ලංකාවට පූර්ණ නිදහසක් ලබා ගැනීම සංගමයේ පරමාර්ථය බවට පත් විය යුතු යැයි යෝජනාවක් ගෙන ආ විට ඊට විරුද්ධ වීම ඊළඟ අවස්ථාවයි. ඒ යෝජනාවට විරුද්ධත්වය පළ කරමින් ඩී.එස්. මෙසේ කීවේ ය.

මේ යෝජනාවේ කිසි තේරුමක් නැහැ. ඩොමීනියන් කියන්නෙත් නිදහස කියන්නෙත් එක මයි. බ්‍රිතාන්‍යයෙන් එක් වර ම වෙන් වීමට උත්සාහ කිරීම අදූරදර්ශී ක්‍රියාවක්…”

ඔහුගේ මේ ප්‍රකාශය නිසා සභාව තුළ නොසංසුන් තත්වයක් හට ගත්තේ ය. මෙහි දී මහත් සේ කෝපයට පත් වූ ඩී.එස්. සභාවෙන් පිට වී ගියේ තමා නිරතුරු ව ම පළඳින හිස්වැස්ම ද සභාවේ අමතක කර දමමිනි.

ඩී.එස්. සේනානායක නිදහස ලබා ගැනීම ගැන මේ තරම් විරුද්ධ වූයේ ඇයි? පළමු අගමැති වීමේ සිහිනයට එය බාධාවක් වෙතැයි සිතූ නිසා ය. ඇත්ත වශයෙන් ම නම් ඔහු බලවත් සේ විරුද්ධ වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට නොවේ. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට ය.

Dharma Sri Kariyawasam

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress