නිහඬ කරන්නට සූදානම් වන්නේ මහාචාර්ය සෝමදේවද? අපේ රටේ ඉතිහාසයද?
Posted on October 8th, 2018

Namal Udalamatta Lanka Lead News

මට හමු වූ හොඳම ගුරුවරයකු වූ ද අපේ කාලයේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා වූ ද මහාචාර්ය රාජ් සෝමදේවයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතෙකි. පර්යේෂණ කිරීම, නව දැනුම ගවේෂණය සහ සිසුන්ට එම දැනුම ලබා දීම යන විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ කාර්ය බෙහෙවින් ලඝුව කේඩෑරි වී ගිය යුගයක එතුමා සැබෑ විශ්වවිද්‍යාල ආචාර්වරයා විය.

බොහෝ විද්වතුන් සිය පූර්වාචාරීන් මෙන් ගවේෂණ පර්යේෂණ මගින් දැනුම නිර්මිණය නොකර පැරණි මත පුනරුච්චාරණය කරන යුගයක එතුමා සිය පූර්වාචාරීන් මෙන්ම මේ රටේ පුරාවිද්‍යා බිම් පීරා කැනීම් කරමින් ලොව දියුණු පර්යේෂණ ක්‍රමවේද භාවිතයෙන් රටේ ඉතිහාසය තවත් අතීත ඉසව් වෙත රැගෙන ගිය යුගයේ මහා විද්වතා විය.

එවැනි පසුබිමක මහාචාර්ය සෝමදේවයන්ගේ කටයුතුවලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී දිරිගන්වනු වෙනුවට එතුමාගේ පුරාවිද්‍යා කැනීම් බලපත්‍රය ලබා නොදීමට පාලකයන් කටයුතු කරන්නේ එතුමා මේ රටේ සැබෑ ඉතිහාසය සමග අභීතව තිරව සිටගත් නිසාද?

ඊළාම් බෙදුම්වාදීන්ට කට උත්තර නැතිකර ඔවුන් ගොඩනැඟූ විකෘති ඉතිහාසය නිරුවත් කළ නිසාද? ⁣

මේ ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යාපෘතියට හිස නමා තම පර්යේෂණ කටයුතු වැල යන අතට මැස්ස ගසන ව්‍යාපෘති බවට පත් කරගෙන සිය මහා දැනුම් සම්භාරය පාවා නොදුන් නිසාද?

මෙරට බෞද්ධ ඉතිහාසය මහින්දාගමනයෙන් ඔබ්බට යන බව පුරාවිද්‍යා සාධක ඇසුරින් සනාථ කළ නිසාද?

මේ රටේ වසර දහස් ගණනක් පැරණි දියුණු ශිෂ්ටාචාරගත මානවයකු වාසය කළ බව කැනීම් ඔස්සේ තහවුරු කළ නිසාද?

ඒ කුමක් වුවද ඒ මහාචාර්ය සෝමදේව මේ රට වෙනුවෙන් ⁣අදීනව පෙනී සිටි නිසාය. ඔහුගේ සොයා ගැනීම් ඉතිහාස සංහාරය, ඊළාම් ව්‍යාපෘති, බෞද්ධ විරෝධි කුමන්ත්‍රණ ආදිය මත අසනි හෙණගෙඩි බවට පත් වූ හෙයිනි.

මේ රටට හිතැති සියලු බලවේග මහාචාර්ය සෝමදේව වෙනුවෙන් නැඟී සිටිය යුතුය. ඒ කිසිසේත් ඔහුට යුක්තිය ඉටු කිරීමට නොවේ. මේ රටට ජාතියට යුක්තිය ඉටු කරවා ගැනීමටය. එතුමා නිහඬ කරවීම යනු රටට එරෙහි බලවේග අභියස රට අසරණ කිරීමකි. ඒ සඳහා ඉඩ දිය යුතුද?

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress