භාරකාර ආණ්ඩුව ගැන විමල් කතා කරයි
Posted on October 8th, 2018

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

රනිල් ඇතුළු හයිබ්‍රිඞ් හවුල මේ රට ‘වළ පතුලට‘ ඇද දැමීමට පෙර මහින්ද අගමැති කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා, රට ආරක්ෂා කරන්න. එහෙම කළොත් ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’ යන කියමන සනාථ වේවි.”

– ජානිපෙ නායක විමල් වීරවංශ ජනපතිට කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු හයිබ්‍රිඞ් හවුල මේ රට ‘වළ පතුලට’ ඇද දැමීමට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉන් රට බේරා ගන්නා ලෙසත් එසේ කළහොත් ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’ යන කියමන සනාථ වනු ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කර සිටී.

‘රට වළට : හොරකම, බැරිකම හා හිඟනකම’ යන තේමාව යටතේ රට රකින ජන පවුර සංවිධානය පසුගියදා පවත්වන ලද ජාතික කතිකාවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

මම පසුගිය දා මේ රටේ ප්‍රබල මට්ටමේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ගනු ලැබුවා. එවිට ඔහු මා සමඟ පවසනු ලැබුවා, ‘ දුරකථනයට ප්‍රවෘත්ති කෙටි පණිවිඩයක් ලැබුණාම පපුව පිච්චි, පිච්චි තමයි ඒක විවෘත කරන්නේ.’ කියලා. මම ඇහුවා ‘ඒ ඇයි ?’ කියලා. එවිට ඔහු පිළිතුරු දෙනවා ‘එක්කෝ බදු වැඩි වීමක්, නැතිනම් මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වැඩිවීමක් වැනි අපේ ප්‍රෙෂර් වැඩි වෙන කෙටි පණිවිඩනේ දැන් වැඩියෙන් ලැබෙන්නේ’ කියලා. ඒ තමයි මේ අර්බුදකාරී පාලනය නිසා ඉහත කී ව්‍යාපාරිකයා සලිත වී තිබෙන අන්දම.

‘මෝඩ පුත්තු‘

මට මෙහිදී ‘පංචතන්ත්‍රය’ සිහියට එනවා. එහි කියැවෙන රජතුමාට ‘බහු ශක්ති, උග්‍ර ශක්ති, අනත්ත ශක්ති’ කියා පුත්තු තුන්දෙනෙක් හිටියා. නම් එහෙම වුණාට මේ රජ පුත්තු තුන්දෙනා කිසිදු ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තේ නැහැ. රජුට තිබුණු ලොකුම ප්‍රශ්නය ඒක. ඒ ගැන ඉතා කනගාටුවෙන් හිටපු රජතුමා එක් අවස්ථාවක කියනවා, ’නූපන් පුතු, මළ පුතු යන දෙදෙනාගෙන්ම ලැබෙන වේදනාවට වඩා වැඩියි මෝඩ පුතුගෙන් ලැබෙන වේදනාව’ කියලා. නූපන් පුතු ගැන හිත හදා ගත හැකියි. මළ පුතු ගැන වුවත් පින්කමක් කරලා හිත හදාගත හැකියි. නමුත් මෝඩ පුතා ජීවතුන් අතර සිටිනවා. ඔහු සෑම මොහොතක් පාසාම මෝඩ වැඩ කරමින් දෙමව්පියන් වේදනාවට පත් කරනවා. ඒ වගේම 2015 ජනවාරි 8 වැනිදා ‘හංසයාට’ රැවටුණු ලක්ෂ 62ටත් ඒ වගේම නොරැවටුණු අපටත් උග්‍ර වේදනාවට ලක් වීමට සිදුව තිබෙනවා, එදා බලයට ආ මෝඩ පුතුන්ගේ මෝඩ වැඩ නිසා. රුපියල අවප්‍රමාණය වෙනකොට ‘මේක අපිට නවත්තන්න බැහැ. අපි ගාව සංචිත නැහැ. ඉදිරියේදී රුපියල තවත් අවප්‍රමාණය වේවි’ කියා කියන්න පුළුවන් මෝඩ පුතකුට මිස වෙන කාට ද? ‘මෝඩ පුතකු’ නොවෙයි ඔහු ‘මී හරකකු විය’ යුතුයි. එවැනි ප්‍රකාශයක් කළාම තවත් වේගයෙන් රට තුළ තිබෙන ඩොලර් ප්‍රමාණය පිටතට ඇදෙන බව නොතේරෙන්නේ ’මී හරකකුට’ පමණයි. අද වන විට අගමැතිවරයා මේ අර්බුදය පිළිබඳව දත්ත ප්‍රකාශයට පත් කරන්නකු බවට පත් වෙලා. මේ අර්බුදය ඇති කරනු ලැබුවේ මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ විසිනුයි.

‘අද ඩොනල්ඞ් ට්‍රම්ප් කරන වැඬේ’

මෝඩ පුතුන්ගේ ආණ්ඩුව, තමන් බලයට ගෙන ආ බටහිර හාම්පුතුන්ගේ වුවමනාවන් ඉටු කරනවා විනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය රටවල් මත නිර්දය ලෙස පටවන විදේශීය මූල්‍ය ආයතනවල ලණු කනවා විනා, මේ රටේ ආර්ථිකය, ස්වදේශික ජනයාට උරුම කර දීමට කිසිදු පියවරක් ගෙන නැහැ. ජාතික රාජ්‍යයක අයිතිය තිබෙන්නේ එහි සංස්කෘතිය, ඉතිහාසය, ගොඩනැගූ ජාතියටයි. ඒ නිසා ජාතික රාජ්‍යයක ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ එම ස්වදේශික ජාතියේ පැවැත්ම හා උන්නතිය වෙනුවෙනුයි. අද ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිදු කරමින් ඉන්නේ එයයි. රාජපක්ෂ පාලනය පැවති වසර 09ක කාලය තුළම රුපියල අවප්‍රමාණය වී ඇත්තේ 2.8%කින් පමණයි. එහෙම වුණේ ස්වදේශිකයාගේ උන්නතිය, පැවැත්ම වෙනුවෙන් එම පාලනය තීන්දු රැසක් ගත් නිසයි. දැන් මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ ජනතාවට කියනවා, ‘රට යන්න එපා! අලුතෙන් කාර් ගන්න එපා! රුපියල රැකගන්න පෙරට එන්න’ කියලා. නමුත් අර්බුදය වැඩි වෙනකොට නායකයෝ හෙමින්ම රට යනවා. මේ දිනවල අගමැති රට ගිහින්. මේ වේදිකාවේ අසුන් ගෙන සිටින අතරේ මට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසුවා, ‘ලෝක ආර්ථික අර්බුදය පැවති අවුරුද්දේ මම එක දිනයකටවත් පිටරට ගියේ නැහැ’ කියලා. අපේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලුවේ ‘රට රකින්න පෙරට එන්න’ කියලයි. එහෙම ආයාචනා කළා පමණක් නොවෙයි, තිස් අවුරුදු යුද්ධය නිමා කරලා රටට විජයග්‍රහණයක් ගෙන දුන්නා. නමුත් මේ මෝඩ පුතුන්ගේ ආණ්ඩුව, ‘රුපියල රැකගන්න පෙරට එන්න’ කියා කියන තැනට මේ රට ඇදවට්ටවා තිබෙනවා.

‘අලුත් මුව හම – ට්‍රම්ප් මුව හම’

‘මේ කතාව පටන් ගන්නකොට ඩොලරයේ වටිනාකම රුපියල් 171යි. කතාව ඉවර වෙනකොට කීය වෙයිද?’ කියා කියන්න බැහැ. පසුගිය දිනක මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ එක් දිනකදී 2.02%කින් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දීමෙන් වාර්තාවක් තැබුවා. මා දුටුවා චන්ද්‍රිකා නෝනා, ‘ට්‍රම්ප්ගේ මෝඩකම් නිසා තමයි මෙහෙම වෙන්නේ’ කියා පවසනවා. දැන් මේ අයට ‘රාජපක්ෂ මුව හමට’ අමතරව අලුත් මුව හමක් ලැබිලා. ඒක තමයි ‘ට්‍රම්ප් මුව හම’. දැන් ඒකට තඩිබානවා. මේක ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමක් පමණක් නොවෙයි. අද රුපියල බංග්ලාදේශයේ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 7.5%කින්, ඉතියෝපියාවේ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 9.2%කින් හා සිම්බාබ්වේ මුදල් ඒකකයට සාපේක්ෂව 11.1%කින් ද අවප්‍රමාණය වී තිබෙනවා. මෙමගින් පෙනෙන්නේ අපේ රට ලෝක ආර්ථිකය ඉදිරියේ අසරණ වී ඇති අන්දමයි. ගෙවී ගිය වසර 03 තුළ රුපියල අවප්‍රමාණය වීම නිසා පමණක් රුපියල් බිලියන 696.9කින් මේ රටේ ණය බර ඉහළ ගියා. එතකොට මේ ණය උගුලට වගකිව යුත්තේ මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ නොවෙයි ද?

කොන්දේසිවලට යටත් නොවීම

බාහිර ආයතනවල උපදෙස්, කොන්දේසි අනුව කටයුතු කරන්න ආණ්ඩුවක් ඕනෙ ද? මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හිස මුදුනින් පිළිගැනීම නිසා මෙවැනි ආර්ථික අර්බුදයක් මතුව තිබෙනවා. මෙයාලා ‘රුපියල නිදහසේ පාවෙන හරින්න’ කීවාම ඒක කළා. රාජපක්ෂ පාලනයටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි දැම්මා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒවාට යට වුණේ නැහැ. මේ හා බැඳුණු කතාවක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාජපක්ෂ පාලනයට ණය කොන්දේසි දමපු වෙලාවක, ලේක්හවුස් ඬේලි නිව්ස් පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වූවා ‘සංචිත ප්‍රශ්නය විසඳන්න ලිබියාවෙන් ඩොලර් බිලියන ගණනක ආධාර’ කියා. ‘මේ ප්‍රවෘත්තිය ඇත්ත ද?’ කියා ලිබියාවේ මහ බැංකු අධිපතිවරයාගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විමසා තිබුණා. කෙසේ නමුත් අවසානයෙදී කිසිදු කොන්දේසියකින් තොරව ඉල්ලූ ණය මුදල රාජපක්ෂ පාලනයට ලැබී තිබුණා. මා දන්නා තරමින් එය තමයි ලංකා ඉතිහාසය තුළ කිසිදු කොන්දේසියකින් තොරව මූල්‍ය අරමුදලින් ණය ගත් අවස්ථාව. ඒකයි නියම නායකත්වය. විදේශිකයාට මේ රටේ ආර්ථිකයේ දොරටු විවෘත නොකර, ස්වදේශික ජනතාවගේ පැවැත්ම හා උන්නතිය වෙනුවෙන් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ ඒ ආකාරයටයි. අද මේ රටේ තිබෙන්නේ නායකත්වයේ සහ දැක්මේ අර්බුදයක්.

‘අවුරුදු තුනකට ණය අරන් කරපු දේවල්’

මේ රටේ සමස්ත ආනයන වියදමින් 10%කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහායි. එහෙම තිබෙන රටක ‘රුපියල වැටුණාට අපට කමක් නැහැ’ කියන ආචාර්යවරු ඉන්නවා. මේ ආණ්ඩුව ගෙවී ගිය වසර තුන තුළ රුපියල් බිලියන 4500ක් ලෝකයට ණය වී තිබෙනවා. නමුත් රටට කරපු කිසිවක් නැහැ. අගමැතිවරයාට කෝටි 50ක වාහන ගෙන ඒම, පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනම දීමනා ලබා දීම, ඥාතීන් ඇතුළු බුරුතු පිටින් පොදි බැඳගෙන රට සවාරි යාම, ඇමති කාර්යාල හා නිල නිවාසවලට අධික වියදම් දැරීම වගේ නාස්තිකාර වැඩවලට ඒ මුදල් යොදවනවා. ජනතාවට ‘ණය ගෙවන්න පටි තදකර ගන්න’ කියන ගමන් මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ තවත් ණය අරගෙන සුර සැප විඳිනවා.

‘ඇමති ගිණුම ගැන ජවිපෙ නිහඬයි‘

ඒ අතරේ විශේෂ කරුණක් කියන්න තිබෙනවා. එක්තරා ඇමතිවරයකුගේ බැංකු ගිණුමකට කෝටි ගණනක මුදලක් ඇවිත් තිබෙනවා. ඒ මුදල ආපු විදිහ හොයා ගන්න බැරි නිසා ඒ ගිණුමට මහ බැංකුව සීල් තබා තිබෙනවා. අපේ පාලන කාලයේ මෙහෙම ප්‍රවෘත්තියක් පළ වුණා නම් ජවිපෙ මරාගෙන මැරෙනවා. මහ බැංකුව ඉදිරිපිට ඇවිත් සියලු අඩව්, කස්තිරම් අල්ලනවා. මේ ගිණුම මලික්ගේ කියලානේ කියන්නේ. මාසෙකට නායකයාගේ අතට ලක්ෂ 25ක් දෙනකොට ජවිපෙ කොහොමද මලික් ගැන කතා කරන්නේ ? ජනතාව වෙනුවෙන් කිසිවක් නොකළාට අද මේ ‘මෝඩ පුතුන්ගේ ආණ්ඩුව’ තමන්ගේ ජාවාරම්කාර ව්‍යාපෘති නම් හොඳින් කරගෙන යනවා.

‘පාන්පිටි – කිරිපිටි බදු සහන’

බලන්න, මේ රටේ 2015 දී පාන්පිටි පරිභෝජනය මෙටි්‍රක් ටොන් ලක්ෂ 13යි. 2017 දී එය මෙටි්‍රක් ටොන් ලක්ෂ 17 වෙලා. මේකට හේතුව පාන්පිටි ගෙන්වන බහුජාතික සමාගම්වලට රුපියල් මිලියන 34,000ක බදු සහනයක් ලබා දීම. මෙහෙම බදු සහන දුන්නාට බේකරි නිෂ්පාදනවල මිල අඩු වුණේ නැහැ. රජයට ලැබිය යුතු රුපියල් මිලියන 34,000ක ආදායමක් අහිමි වීම පමණයි සිදු වුණේ. ඒ මුදල බහුජාතික පාන්පිටි සමාගම්කරුවන්ගේ සාක්කුවට හා බදු සහන දීමේ ප්‍රතිපත්තිය හදපු ඇමතිගේ සාක්කුවට යන්න ඇති.

‘කිලෝවට බද්ද රුපියල් දෙකයි’

පිටරටට මුදල් ඇදී යාම වැළැක්වීමට, දේශීය කිරි නිෂ්පාදකයා රැකගැනීමට, දේශීය කිරිපිටි නිෂ්පාදකයා දිරිමත් කිරීමට අපේ ආණ්ඩුව ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 225ක විශේෂ බද්දක් පනවා තිබුණා. 2015 ජනවාරියේ සිට එය හත්අට සැරයක දී අඩු කළ මේ ආණ්ඩුව දැන් ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා පනවා ඇති බද්ද රුපියල් 02යි. වසරකට කිරිපිටි මෙටි්‍රක් ටොන් 80,000ක් ආනයනය කරනවා. මේ බදු අඩු කිරීම නිසාත් වසරකට රටට අහිමි වන ආදායම රුපියල් මිලියන 18,000කට වැඩියි. මේ මුදල සුළුකොට තකන්න බැහැ. එය සමෘද්ධිලාභීන්ට සමෘද්ධි දීමනා ලබා දීමට වසරකට වැය වන සමස්ත මුදලටත් වඩා වැඩියි.

මේ ආකාරයට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ කිරිපිටි සමාගම් අධික ලාභයක් ලබා ගනිද්දී දේශීය කිරි ගොවියා හෝ කිරිපිටි නිෂ්පාදකයා රැකෙන්නෙත් නැහැ, රුපියල රැකෙන්නෙත් නැහැ. අවසානයේ දී ස්වදේශික ජනයාට සියල්ල අහිමි වීම පමණයි සිදු වන්නේ. දැන් අපට ඉතා පැහැදිලියි, ‘මේ සමාජ – ආර්ථික දැක්ම තමයි මේ රට වියවුලෙන් වියවුලට ගෙන ගියේ’ කියා.

‘ස්වදේශිකයාට අධික බදු බර – විදේශිකයාට ?’

මලික් සමරවික්‍රම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයටත් කොලේ වහලා සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් ගැහුවා. ඒකෙන් සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩ සඳහා ලැබුණු රුපියල් මිලියන 1600ක බදු මුදල අහිමි වෙනවා. ඒ විතරක් නොවෙයි, සිංගප්පූරුවේ විකිරණශීලී අපද්‍රව්‍ය පවා බැහැර කළ හැකි කුණුගොඩක් බවට එමගින් ශ්‍රී ලංකාව පත් වෙනවා. මේ සිංගප්පූරුව ට දීපු බදු සහන නිසාද, දන්නේ නැහැ මලික් සමරවික්‍රමගේ ගිණුමට කෝටි ගණනක මුදලක් හොරෙන්ම දාලා තියෙන්නේ. මේ ගිවිසුම මගින් සිංගප්පූරුවට මෙරටට සහල් පවා ආනයනය කරන්න බදු සහන ලැබෙනවා. සිංගප්පූරුව සහල් නිෂ්පාදනය නොකළත් තායිලන්තය හා මියන්මාරයේ අතිරික්ත වී අස්වනු අඩු මිලට ලබා ගෙන සහල් බවට පත් කරලා ‘මේඞ් ඉන් සිංගප්පූර්’ කියලා ගහපු මල්ලක දමලා අපට එවාවි. ඒ බදු සහන සහිතව එන සහල් පැකට්ටුව සමග පොර බදන්න අපේ මෝල් හිමියාට බැරි වෙනවා. අපේ වී ගොවියා, කෘෂි නිෂ්පාදකයා හතරගාතෙන් ඇද වැටිලා තමයි මේ ගමන අවසන් වෙන්නේ. ඒක තමයි මේ මෝඩ පුතුන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. පාන්පිටිවලට, ආනයනික කිරිපිටිවලට, සිංගප්පූරුවෙන් ආනයනය කරනු ලබන සියලු භාණ්ඩවලට එනම් විදේශීය නිෂ්පාදනවලට බදු සහන දීලා ජාතික ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොම ද?

‘අර්බුද සුළියක් පටන් ගන්නවා’

මේ ප්‍රතිපත්තිය යටතේ ස්වදේශිකයන්ගේ නිෂ්පාදන, කර්මාන්ත කඩා වැටෙන්න පටන් ගන්නවා. දුප්පත්කම පැටව් ගහන්න පටන් ගන්නවා. සමාජය අස්ථාවර වෙන්න පටන් ගන්නවා. අපරාධ, මංකොල්ලකෑම් වැඩි වෙන්න පටන් ගන්නවා. මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. පාලකයන් ප්‍රජාතන්ත්‍රවිරෝධී මාර්ගවලින්, තමන්ට ජනතාවගෙන් එල්ල වන විරෝධතාවලට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. මේ අර්බුද සුළිය සමාජයේ සෑම ස්තරයක් මතම බලපෑම් සිදු කරන අර්බුද සුළියක්. මේ අර්බුද සුළිය විසින් නිර්මාණය කරන ලද ජවනිකා තමයි අද අප සමාජය තුළ දකින්න ලැබෙන්නේ.

‘නාමල් කුමාරගේ ජවනිකාව’

පොලිස් ඔත්තුකරුවකු වූ නාමල් කුමාරගේ ජවනිකාවත් මේ අර්බුද සුළිය තුළම නිර්මාණය කළ එකක්. ඔහු අනාවරණය කළා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග එකතුව සැලසුම් කළ ජනාධිපති, හිටපු ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් පිළිබඳව. ඒ අනුව පෙනී යනවා අද මේ අර්බුද සුළිය හමුවේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය ත්‍රස්ත ප්‍රවර්ධන එකෙක් බවට පත්ව ඇති බව. නාමල් කුමාර අනාවරණයකර තිබෙනවා ‘ඩෑන් ප්‍රියසාද් කියන්නෙත් පොලිස් ඔත්තුකරුවෙක්’ කියලා. මේ සියලුදෙනා සිංහලයා වෙනුවෙන් ‘ගනු කඩුව එනු සටනට’ කියන ජාතියේ අය. ඒ වගේම නාමල් කුමාර පවසා තිබෙනවා, ‘ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගත්තු තුෂාර පීරිස් නැමැත්තා මට මුදල් එව්වා සිංහල – මුස්ලිම් ගැටුමක් අවුලුවන්න’ කියලා. අද දෙමළ ඩයස්පෝරාවට සිංහල – මුස්ලිම් ගැටුමක් අවුලුවන්න වුවමනා වී ඇත්තේ ඇයි ? නැගෙනහිර මුස්ලිම් නායකයන් කැමති නැහැ, නැගෙනහිර, උතුරත් සමඟ ඒකාබද්ධ වෙනවාට. සිංහල හා මුස්ලිම් ගැටුමක් හදපුවාම අකමැත්තෙන් හෝ මුස්ලිම් නායකයන්ට උතුර හා ඒකාබද්ධතාවට යන්න වෙනවා. මේ කුමන්ත්‍රණකරුවන් මුස්ලිම් දේශපාලනඥයකු ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ද භාර දී තිබෙනවා. ‘සිංහල අන්තවාදියකු අපේ නායකයා මැරුවා. අපි යනවා උතුර සමඟ ඒකාබද්ධ වෙන්න’ කියන තැනට නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ මනස හදන්නයි මේ අය උත්සාහ ගන්නේ.

‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ’

මේ අර්බුද සුළියෙන් මේ රට බේරාගත යුතුයි. අපි මේ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කියනවා, ‘උපන් දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැළණියේ’ කියා කියමනක් තිබෙනවානේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු මේ පරගැති, හයිබ්‍රිඞ් හවුල මේ රට ඇදගෙන යන ප්‍රපාතයේ වළට වැටෙන්න කලින් එය නතර කරන්න. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම බාර දීලා, භාරකාර ආණ්ඩුවක් හදලා මේ රටේ අරාජිකත්වය නැති කරලා, රට ආරක්ෂා කරන්න’ කියලා”

මෙම ජාතික කතිකාවෙහි මුලසුන රට රකින ජනපවුර සංවිධානයේ කැඳවුම්කරු, නීතිඥ කපිල ගමගේ මහතා දැරූ අතර ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන මහත්වතුරු ද දේශන පැවැත්වූහ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress