විකල්ප ආණ්ඩුවක් හදනවා මිස මේ ආණ්ඩුවට එක් වීමක් සිදුවන්නේ නෑ -හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
Posted on October 8th, 2018

මහනුවර –නදීක දයා බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සිටින තාක්කල් තමන් කිසිසේත්ම ඔවුන් සමඟ එක් නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විකල්ප ආණ්ඩුවක් හදනවා මිස මේ ආණ්ඩුවට එක්වීමක් සිදු නොවන බව ඉකුත් 05 වැනිදා මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ අලුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමෙන් අනතුරුව හිටපු ජනපතිවරයා මාධ්‍යයට මෙසේ පැවැසීය.

දැනටමත් තමන් සඳහා පක්‍ෂ දෙකක් ඇති බවත් ඉන් එක් පක්‍ෂයක සභාපති ධුරය තමන් විසින් මේ වන විටත් දරන බවත් එහි ලේකම් ධුරය හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා බවත් කීය.

මේ ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ ආගමක් නොමැති රටක් බිහි කරන්නයි. බුදුදහම නැති කරන තත්ත්වයක් අද උදාවී තිබෙනවා. දහම් පාසල්, පන්සල් ඉදිකරන විට විවිධ කමිටුවලින් අවසර ගත යුතුයි.

බුදුදහම විකෘති කොට පොත් ලියනවා. බුදුදහමට හානි කරන නාට්‍ය පාසල්වල ප්‍රදර්ශනය කරනවා. සමස්ත රටම පිළිගන්නා කාදිනල්තුමාට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. මෙවැනි විකෘති තත්ත්වයක් ආණ්ඩුව විසින් කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුද මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress