ආණ්ඩුව පෙරැළෙයිද?
Posted on October 12th, 2018

සරලි උපුටාගැණීම  මව්බිම

පිළිවෙළට ඇමිණණු මුතුපොටක් මෙන් එකකින් පසු තවත් එකක් විදියට බෝල කරපු ගැටලු රෝල් වෙවී පැමිණෙන්නේය. සියලු දෙනාගේම ඇස් වසා රහස් කතා කරනවාය කියන්නෙත්, මේ ගැටලු ජවනිකා විදියට රඟ දැක්වෙද්දීය. ජනතාවට නොවැටහෙන, දේශපාලකයන්ටත් නොවැටහෙන අමුතුම ගැටලු තිබිය නොහැකිය.

හැබැයි පසුගිය සතිය පුරාම තිබුණු අමුතු ගැටලුව නම් ‘මෛත්‍රි හා මහින්ද රහසේ හමුවෙලා දෙන්නා කතා කරලා තියෙන්නේ සභාග රජයක් ගහන්නයි. ඒකේ අගමැතිකම මහින්දට ලැබෙනවාලු’ යන්නයි.

මෙය යම්කිසි ආකාරයකට රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් ඇති කරවන්නට හේතු වී ඇත. එම සිදුවීම සිදුවුණා යැයි කියන්නේ ඉතා රහසිගතව යැයි කීවද ඒ පිළිබඳ තොරතුරු සනාථ කරන පාර්ශ්වයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව නම් ‘යමක් කතා කරලා තියෙනවා. ඒවා හරි හැටි ස්ථීර නෑ’ යන්නය. මේ ‘යමක් කතා කිරීම’ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව සමස්ත දේශපාලන ව්‍යාපාරයන්ගේම කුතුහලයටත් කැලඹිල්ලටත් හේතු වී තිබෙන්නේය.

‘සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් සාකච්ඡාවට මහින්ද සූදානම්’ කියා ශීර්ෂපාඨ සහිතව ඇතැම් පුවත්පත් මෙම තත්ත්වය වාර්තා කළේ දැනෙන යමක් තවමත් වී නොමැති බව නොකියා කියමිනි.

‘ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් ඔවුන් සමඟ සාකච්ඡා කරන්න මහින්ද සූදානම්’ ය යන්න දක්වමින් පුවත් මැවුණේ නිකමට නොවේ. එහෙත් ඒ සමඟම එවැනි කොන්දේසියක් පනවමින් සාකච්ඡාවක් කරන්න මහින්ද සූදානම්ය යන්න කියාපෑමෙන්ම මෙම කතා හා බලාපොරොත්තු අතර තත්ත්වය වටහා ගත හැකිය. මහින්දගේ අධිකාරි බලයට නතුවෙන ශ්‍රී ල.නි.ප.යක් හෝ එක්සත් ජනතා සන්ධානයක් සඳහා මෛත්‍රි එකඟ විය නොහැකි බවටද කතා කෙරුණේය.

‘ඇයි මෛත්‍රි මහින්දට ආණ්ඩු පිහිටුවලා, එයා අතින් මැතිවරණ සංවිධානය වෙලා බලය ගන්න උදවු දෙන්නේ. එහෙම දුන්නොත් මෛත්‍රිට මහින්දගේ ශක්තිමත් වීම හමුවේ ලැබෙන ආරක්‍ෂාව මොකක්ද? මෛත්‍රිට මොනවැයින් මොනවා වෙයිද? ඒ නිසා තමන්ට සතුරු පාර්ශ්වයකගෙන් යහපත් ආරක්‍ෂාවක් හා පැවැත්මක් වෙනුවෙන් මෛත්‍රි එකඟතාවක් දක්වයි කියලා කියන්න බෑ.’ මේ මෛත්‍රි මෙන්ම මහින්ද ගැනද හොඳට දන්න පැරැණි ප්‍රබලයකු කියූ දේය.

‘කොහොමටත් මෛත්‍රි ටිකක් හිතලා තීරණ ගන්නේ නෑ වගේ පෙන්නුවාට මහින්දත් එක්ක කරන ගනුදෙනුවේදී එයා පරිස්සම අංක එකට තියලායි වැඩ කරන්නේ. එයා මහින්ද එක්ක කතා කළත් භාරකාර ආණ්ඩුවකට යන්නේ නෑ. එහෙම භාරකාර ආණ්ඩුවක් හදන්නත් ව්‍යවස්ථාවෙන් ඉඩක් නෑ. ඔය කතාව හිතේ හීන මාලිගා ගොඩනඟාගන්න අය කියන කතාවක්’ ය කියලා මෛත්‍රි සමඟ මේ ටික කාලෙට ඉඳලා ඔහුව තේරුම් ගත්ත එ.ජා.ප ප්‍රබලයෙක් එසේ කීවේද නිකමට නොවේ.

මේ රහස් දේශපාලන කතා කොහොම වෙතත් ජනාධිපතිත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂත්, මහින්දගේ මුළු පවුලමත්් ඝාතනය කරන්නට සැලසුම් තිබෙනවාය කියා තොරතුරු පවසන පාර්ශ්වයන්ද කෙමෙන් බෙලහීන වී යන තත්ත්වයක් පෙන්නුම් කරයි.

මේ කියන කාලයේ යම්කිසි පරිවර්තනයක් දේශපාලනයේ සිදුවේ නම් ඒ උණුසුම තියෙද්දී මෛත්‍රි රට යන්නේද නැත. රනිල් රට යන්නේද නැත. එහෙත් යමක් සිදුවෙමින් පවතින බව නම් සත්‍යය. ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනා මේ කියන මහින්ද මුල් වූ ආණ්ඩුවට කැමැති විය යුතු තත්ත්වයකදී එහි ප්‍රබලයන් අතරද මෛත්‍රි හා මහින්ද කතා කළැයි කීම පවා පිළිගන්න පසුබාන අය සිටිති. එසේ එකතු වීමක් සිදුවිය නොහැකි බවත් පවසති. එහෙත් ඇතැම් මාධ්‍ය හා මහින්දගේ පිරිසත් මේ අලුත් ආණ්ඩු ස¼දහා කතාකිරිල්ල නම් අත්හැර නැත.

මෛත්‍රි මේ කතාබහට සෘජුව හෝ වක්‍රව සහභාගි වූයේ නම් හදිසියේ එවැනි කතාබහක් කෙරුණේ රට ආර්ථික අතින් වැටී තිබෙන ආගාධයෙන් මිදී ගන්නට පියවරක් වශයෙන් යැයි මත වපුරන අයද සිටිති. ඔවුන් කියන්නේ මෛත්‍රි එ.ජා.ප.යෙන් යළි ජනාධිපති තනතුරට ඉදිරිපත් වන්නට කියා ඇරැයුමක් එන්නේ නැති නිසා, යළි ඔහුට තරග කරන්න හෝ සහාය දක්වන්නට පාර්ශ්වයක් නැති නිසා, භාරකාර රජයක් හෝ සභාග රජයක් පිහිටුවා ඒ යටතේ ජනාධිපතිවරණයකට යෑම සුදුසු නිසා මේ කතාබහට එක්වූ බවය.

එහෙත් එ.ජා.ප.යේ ප්‍රබලයන් මේ කතාබහ ගැනත් ඒ කතා වුණා යැයි කියන්නන් ගැනත් කතා කරන්නේ ඊට වඩා වෙනස් කතාය.

‘මේ අය මේ හදන්නේ මෛත්‍රි රවට්ටලා මහින්ද ළඟට තල්ලු කරලා, යූ.එන්.පී.යට වැඩේ දෙන්නයි. ඒ කොහොම වුණත් මෛත්‍රි දන්නවා හදිසියේ මෙහෙම යාළු මිත්‍රකම් හදාගෙන සභාග කතා හෝ සන්ධාන රජයන් ගැන කතා කරන්නේ තමන්ට හිතවත්ව නොවේ කියලයි. අන්තිමේ මේ කතාවලට නායකත්වය දෙන්නේ කවුද? ඡන්ද පැරදිලා ආසනයවත් දිනාගන්න බැරි වෙච්ච අයනේ. එයාලට තව වතාවක් මෛත්‍රි ඉස්සරහට දාලා හරි තමන්ට ආයෙත් කරළියට එන්න ඕන. ඒ නිසා මේ ආණ්ඩු හැදිල්ලත් ඒ කතාත් තව සුමානයකින් දෙකකින් මෛත්‍රි ඇවිල්ලා වචනයක් දෙකක් කියලා ඉවර කරාවි.’

මෙවැනි කතාබහක් එ.ජා.ප. ප්‍රබලයන් අතර සිදු වෙද්දී රනිල් මේ පිළිබඳව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකිරීමත් විශේෂය. ඔහු මේ ගැන සෘජුව කතාබහ කළ බවක්වත් වාර්තා වන්නේ නැත. ආණ්ඩුවක් හදන්න හිතා උන්නට, හදන කතා කීවද මහින්ද ගැනත් මහින්ද කරන්න යන දේ ගැනත් නොදැන රනිල් ඔහේ බලා ඉන්නවාය කියන්නත් බැරිය. රනිල් හා මහින්ද මෛත්‍රිට හොරෙන් කරන කතා එළියට නොඑන්නා සේම මහින්දගේ වැඩ ගැන රනිල් කලබල වන්නේද නැති බව බොහෝ දෙනා නොදන්නා දෙයකි.

මහින්දගෙත් රනිල්ගෙත් ඔත්තුකරුවන් හැම තැනකමය. ඒ නිසා රනිල් කරන්න යන දේත් මහින්ද කරන්න යන දේත් කතා කරගත් පරිදි යන මාවතෙන් පිට දශමයකවත් වෙනස් විදියකට වෙන්නේ නැති බව මේ ගැන හොඳින් දන්නෝ දනිති.

නමුත් මෛත්‍රි හෝ මහින්ද හෝ එක්ව වෙනත් ගේමක් ගහමින් යම්කිසි ආණ්ඩු පෙරළියක් කරන්නට අරඇන්දා වුවද එයද ලෙහෙසි වන්නේ නැත. බල තුලනය පවත්වාගෙන යන්නට බැරි තැනකට මෛත්‍රි තල්ලු වෙන්නේද නැත. මහින්ද සූදානම් වන්නේද නැත.

මේ අතර මහින්දගේ පාර්ශ්වයේ මහින්දට ඉතා විශ්වාසවන්තයන්ගේ සැබෑ හැසිරීම හා ඉලක්ක අනුව දැන් තිබෙන්නේ මහින්දටත්, ගෝඨාභයටත්, බැසිල්ටත්, නාමල්ටත් වැටෙන්න තියෙන කරදරවලින් මිදෙන්න උපාය උපක්‍රම පාවිච්චි කරන්නටය. ඒ සඳහා මෛත්‍රි හෝ රනිල්ගෙන් කවුරුන් හෝ උපයෝගි කර ගන්නට පසුබට වන්නේ නැත. මෙතැනදී සිදු වන්නේ ඉන් කවරෙක්ද යන්න යථා කාලයේදී ඉස්මතුව පෙනෙනු ඇත. මේ සියලු තත්ත්වයන් හොඳින් නිරීක්‍ෂණය කරන සමීපතමයන් මෛත්‍රිගේ හැසිරීම ගැන කියන කතාවක්ද ඇත.

‘කවුරු කොහොම කිව්වත් මෛත්‍රි අනතුරකට වැටෙන තීන්දුවකට යන්නේ නෑ. ඇරත් මහින්දගේ පිලේ ප්‍රබලම අය මෛත්‍රිගේ කතා විශ්වාස කරන්නේ නෑ. මහින්දගේ ස්ථාවරයත් ඒකයි. මහින්දව තම්බන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි මෛත්‍රි හෝ මහින්ද එකතු වෙලා හදන ආණ්ඩුවකට ජන වරමක් ලැබී නැති බව මෛත්‍රි හොඳින්ම දන්නවා. ජාත්‍යන්තරයේ මෛත්‍රි හදාගෙන තියෙන ප්‍රතිරූපය ඒ වගේ වැඩ නිසා බිඳ ගන්නවාට මෛත්‍රි කැමැති වෙන්නෙත් නෑ.’

ඒ කතාවේ සත්‍යතාව ඉදිරියේ මතුවී පෙනෙන්නට ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් රනිල් හා ඔහුගේ විශ්වාසවන්තයන් කුමන රටක කරක් ගහමින් හිටියත් අය – වැය පෙනි පෙනී විරුද්ධ පාර්ශ්වයේ අයත් තමන්ගේම පක්‍ෂයේ අයත් ගහන්න හදන ගේම් ගැනත්, අටවන මර උගුල් ගැනත් හොඳින් ඇස ගසාගෙන ඉන්නා බවක්ද වාර්තා වෙයි.

රනිල් රට වුණත් හිතත් මොළයත් වැඩ කරන්නේ තවම මෙහේ බවට පළවන තොරතුරු බොහෝය. ඒ අනුව එ.ජා.ප.යත් ආණ්ඩුවත් රැකගෙන මෙවර අය – වැයද ජයගෙන ඊළඟ පියවර ගන්නට රනිල් හතර අතම ඔත්තුකරුවන් හා ක්‍රියාධරයන් රඳවා ඇත. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress