20 වැනි සංශෝධනය පරාජය කර ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය බිඳ දමනවා
Posted on October 12th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුවේ 2/3 බලය බිඳදමා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පැවැසීය.

මන්ත්‍රිවරයා අවධාරණය කර සිටියේ 20 වැනි සංශා්ධනයට ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්ද 76කට වැඩි ප්‍රමාණයක් ලබාගනිමින් ආණ්ඩුවේ 2/3 බලය නැති කර දමන බවයි.

ඊයේ (11දා) බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා

වර්තමාන ආණ්ඩුවේ අක්‍රමවත් පාලනය හේතුවෙන් රටේ ජනතාවට ලොකු කුඩා භේදයකින් තොරව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. එම පීඩනය කොච්චරක්ද කියනවා නම් 10 වැනිදා වන විට සුප්‍රසිද්ධ තෙල් මිල සූත්‍රය අනුව රාත්‍රි 12ට තෙල් මිල වැඩි වෙනවා. මිල සූත්‍රය පිළිබඳව දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළදී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හැටියට අපි අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. තෙල් මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්නේ කුමන ආකාරයකටද කියලා අපට පැහැදිලි කරන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීම් කළත් කිසිම තොරතුරක් මේ වන තෙක් ලබාදීලා නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ප්‍රකාශ කළා. සූත්‍රය තිබුණත් නැතත් මිල වැඩි වෙනවා කියලා.

තෙල් මිල සූත්‍රයේ නිර්මාතෘවරයා ලෙස සලකන මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගෙන් අහන විට ඔහු කියනවා ඕක මට තේරෙන්නෙත් නැහැ මාධ්‍යයට තේරෙන්නෙත් නැහැ කියලා. ජනතාව බයෙන් ඉන්නේ 10 වැනිදා වන විට තෙල් මිල කීයකින් වැඩි වෙයිද කියලා. මේ වෙද්දි අවස්ථා ගණනාවකම තෙල් මිල විශාල ලෙස වැඩිවුණා. ඊයේ රාත්‍රියේදීත් රුපියල් 8ක ප්‍රමාණයකින් පෙට්රල් සහ සුපර් ඩීසල් මිල වැඩි වුණා. මේ මිල වැඩිවීම බරපතළ ලෙස සාමාන්‍ය ජනතාවට දැනෙනවා. එහෙම තියෙද්දි ආණ්ඩුවේ අය කියනවා තවම රාජපක්ෂ යුගයේ තෙල් මිල පහුකරලා ගියේ නැහැ කියලා. අපි ආණ්ඩුවට කියනවා,

ඔබලා රාජ්‍ය පාලනය කිරීමේදී රාජපක්ෂ මිම්ම අතහැරිය යුතු කාලය ඇවිත් තිබෙන බව. මේ තෙල් මිල සූත්‍ර ජනතාවට කොපමණ අප්‍රසන්න වෙලා තිබෙනවාද කියනවා නම් උදේ පාන්දර මංගල සූත්‍රය අහන්නෙත් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙනැල්ලා දැන් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මේ තුළින් අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ඒත්තු ගන්වන්න හදනවා 20 වැනි සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි වෙලා රටට ඉතාමත් හොඳ ආකාරයේ සංශෝධනයකට මඟ පෑදෙනවා මෙයට සහාය දෙන්න කියලා ජනතාවට කියනවා.

පුළුවන් නම් අපි කියනවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ජනතාව අතරට ගිහින් බලමු ජනමතය.

ඒකාබද්ධ විපක්ෂය විශේෂයෙන් අනෙක් ප්‍රගතිශීලී පක්ෂ සමඟ සැදී පැහැදී සිටිනවා නම් ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට. අනුර කුමාර, සම්පන්දන්, සුමන්තිරන්, ජයම්පති, රනිල් වික්‍රමසිංහ, මංගල යන තුන් හතර කට්ටුවේ ව්‍යවස්ථා ප්‍රෝඩාව පරාජය කිරීමට අපි සූදානම්. ජනමත විචාරණයකට අපිත් සූදානම්.

බරපතළ ආර්ථික අගාධයකට මේ රට ඇද දමලා තිබෙන්නේ. ආණ්ඩුව තමන්ගේ ඛේදජනක අවසානය දක්වා දැන් ගමන් කරනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහාන් සිල්වා
රටේ පාලකයෝ දෙන්නා ජනතාවට මහා විශාල පොරොන්දු සම්භාරයක් දීලා තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පරාජයට පත් කළේ.

මේ ආණ්ඩුවට අපි කියනවා හැම දෙයක්ම වචනයට සීමා කරන්න එපා කියලා. කරුණාකරලා නීතියේ ආධිපත්‍ය සුරකින්න.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress