චන්දෙට දුන්නු කප්පම් වල පඩික්කම් -මන්නාරමෙන් හෙළිවූ රජ කොලොප්පම්
Posted on October 14th, 2018

මතුගම සෙනෙවිරුවන්

යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් දැන් පිළිගෙන ඇත.පරිසරවේදීන් කුමක් පැවසුවද ඔහු ගේ අණින් විල්පත්තු රක්ෂිතය කපා විනාශ කර නැත.නමුත් ඔහු ගේ අණින් මුසලි ප්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ මහ කැළයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉඳි කර තිබේ.මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද හෙළිදරව් වී ඇත. පසුගිය සතියේ මන්නාරමේ  දී පැවැත්වුණු පරිසර සමුළුවකදී ජනධිපත්වරාය විසින්  රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා ඉදිරියේම පවසා ඇත්තේ අතීතයේ කළ වැරදි නැවත නොකල යුතු බවත් සිටුවන ගස් ලක්ෂය ඔහු විසින් රැක බලා ගත යුතු බවත්ය. වැරදි පිළිගැනීම  සමාව දීම සිංහල බෞද්ධයන් ගේ සිරිතකි.එහෙත් සමාව දෙන්නට ප්‍රථම කළ වැරදි යම් කිසි තාක් දුරට නිවැරදි කර ගත යුතුය.යහපාලන රජය හෝ අමාත්‍යවරයා එයට සූදානම් දැයි විමසිය යුතුය.

          මන්නාරම අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි.එය පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටිරටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව ලන්දේසීන් විසින් 1766 ගිවිසුම මගින් මෙම ප්‍රදේශය උඩරට රාජධානියෛන් ලබා ගෙන සිටීමයි. උඩරට රජු විසින් අත් හරින ලද කොටසේ මායිම අදටත් නුවර කලාවියත් මන්නාරම් දිස්ත්‍රික්කයත් වෙන් කරන සීමාව වෙයි.එය කොටි ත්‍රස්තවාදීන් විසින් ඊළාම් සීමාව ලෙසටද ගෙන ඇත. මන්නාරම් තොට අතීතයේදී සිංහල රජවරුන්ට වැදගත් වූවා සේම ඉංග්‍රීසීන්ටද මහත් වැදගත්කමක් ඉසිලීය. එයට හේතු වූයේ මන්නාරමේ සිට කල්පිටිය දක්වා මුහුදු තීරයේ හමුවන මුතු බෙල්ලන්ය. මේ මුතු බෙල්ලන් කිමිදීම දුරාතීතයේ පටන් රජයේ ආදායම් මාර්ගයක් විය. වරින් වර අක්‍රමණිකයන් විසින්ද මේ මුතු කිමිදීම සිය පාලනයට ගෙන ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියහ. වරක් උඩුගම්පල විසූ සකලකලාවල්ලභ රජු මලවරායන් නමැති අක්‍රමණිකයෙකු පළවා හැර ඔහු ගේ නැව් ද පොඩිපට්ටම් කළ බවට ඉතිහාසයේ ලියැවී තිබේ.ඉංග්‍රීසීහු මේ මුතු කිමිදීම කාර්යක්ෂමව විධිමත්ව කරලීමට වාර්තාවක් සකස් කළහ. ඒ අනුව 1887 වර්ෂයේදී ඉන්දියාවෙන් සහ අරාබියෙන් මුතු කිමිදින්නන් ගෙන්වා මුසලි ප්‍රදේශයේ  නවත්වා ගෙන මුතු කිමිදීම ආරම්භ කළ බවට සාක්ෂි හමු වෙයි.ව්‍යවස්ථදායක මන්ත්‍රණ සභා වාර්තාවකට අනුව මුසලි හි මරිච්චකට්ටුව සහ මුල්ලිකුලම් අසල ඉංග්‍රීසීහු මේ මුතු කිමිදින්නන් ගේ කඳවුරු කීපයක් ඇති කළහ.

      දෙමළ පිරිසට එක් කඳවුරක්ද මරක්කල අයට තවත් කඳවුරක් ද වශයෙන් ඇති කොට සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියළු දේ ලබා දී මුතු කිමිදීම ධෛර්යමත් කළ බව දැක්විය හැකිය. මේ ආකාරයට 1887 සිට 1891 දක්වා කාලය තුළ ඉන්දීය දෙමළ පුද්ගලයන් සහ මරක්කලයන්  මේ කඳවුරු වලට ගාල් කරන ලදහ.මෙම කඳවුරු පිළිබඳ අදින ලද සිතියමක්ද පෙරකී වාර්තාවට අමුණා ඇත. මෙම වාර්තාවට අනුව දකුණු ඉන්දියාවේ කීලකාරි වලින් ගෙන්වන ලද දෙමළ සහ මරක්කල පිරිසට වෙන වෙනම කඳවුරු දෙකක් සාමය ඇති කිරීමට පොලිසියක්  උසාවියක් පානීය ජල පහසුකම් සඳහා අඩම්පන් කුලම් නමැති වැව ද දිය නෑමට පලන්ඩිකුලම් නම් වැව ද වශයෙන් වෙන් කර තිබූ බවට හෙළි වෙයි. 1891 වර්ෂය වන විට ඉන්දියාවේ කීලකාරි කායලපට්ටනම ටියුටිකොරින් බොම්බාය  ඇතුළු ගම් දොළසකින් ගෙනෙන ලද  මුතු කිමිදින්නන් සහ වෙළෙන්දන් නිසා කඳවුරේ දෙමළ මරක්කල අරාබි ජනගහනය 24000 ක් ප්‍රමාණයකට ඉහළ ගොස් තිබූ බව එහි රෝහල් සුපරින්ටෙන්ඩට් වරයා වූ නවරත්නසිංහම් වාර්තා කර ඇත. අරාබී මුතු කිමිදන්නන් නිතරම ඉන්දියාවේ සිට පැමිණෙන දෙමළ මරක්කල පිරිසට හිරිහැර කළ බවද ඔවුන් ගේ වාඩි ගිනි තැබූ බවද එහි වාර්තා වේ. මේ ප්‍රදේශයේ හින්දු කොවිල් දෙකක් පිහිටා තිබූ අතර 1897 වන විට එකදු මුස්ලිම් පල්ලියක්  හෝ පිහිටා තිබී නොමැත.

          මේ වාර්තාව අනුව දැන් අපට ඉතිහාසය පැහැදිලිය. දීර්ඝ සතුරු අක්‍රමණ වලින් පසුව විශේෂයෙන්ම ලන්ද්සින් මේ ප්‍රදේශ ස්ථීරව අතපත් කර ගැනීමෙන් පසුව ඉන්දීය සක්‍රමණිකයන්ට මෙහි වාසභූමි ඇති වූ බවයි. ඉංග්‍රීසීහු එම පිළිවෙත ඉදිරියට ගෙන යමින් මුතු කිමිදින්නන්  ගේ කඳවුරු ඇති කොට ඔවුන් ගේ මුතු බෙලි ජාවාරම ඉදිරියට ගෙන ගොස් තිබේ.අවසානයේ මේ කඳවුරු වසා දැමූ පසු බොහෝ දෙනෙක් ඉන්දියාවට නැවත සංක්‍රමණය වූ අතර යම් පිරිසක් මෙහි ඉතිරිවූහ දෙමළ අය මේ දුෂ්කර පරිසරයේ වැව් ආශ්‍රිතව පැලපදියම් වූ අතර මරක්කලයන්ද යම් පිරිසක් මෙහි වෙළ හෙළදාමක නිරත වූහ.          1981 ජන සංගණන වාර්තාව අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුවර් ජනයා(මරක්කල) 27717 ක් පමණ විය. එයිනුත් මුසලි ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශයෙහි 8665 ක ප්‍රමාණයක්  විය.යුද්ධයෙන් පසුව 2012 වර්ෂය වන විට  සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කය තුළම සිටි මුස්ලිම් ජනගහනයෙන් අවතැන් වූ ගණන 11281 ක් පමණය.එම නිසා ලක්ෂයක් අවතැන් වී යැයි අමාත්‍යවරයා පවසන දේ මුසාවකි. 1981 වර්ෂය වන විට මුසලි බල පෙදෙසේ සිංහල ජනගහනය දක්වතොත්  එක්දහස් අට සිට අසූ දෙකකි.මුසලිහි  බෞද්ධ ජනගහනය 842 කි. යුද්ධ කාලයේදී මෙම මුසලි පළාතේ සිටි බොහෝ දෙනෙක් අවතැන් වූහ. මුස්ලිම් පිරිස පුත්තලම් පැත්තට සංක්‍රමණය වූ අතර සිංහලයන් අනුරාධපුරයටත් වෙනත් පළාත් වලටත් සංක්‍රමණය වූහ. 2009 යුද්ධය අවසාන වීමෙන් පසුව මුස්ලිම් ජනතාව නැවත පදිංචියට පැමිණ සිටි අතර ඔවුන් ගේ පැරණි ජනාවාස වන මුල්ලිකුලම් කරඩිකුලි පල්ලෙකුළි ආදී තැන් වල පදිංචි වූහ.1960 දශකයේ දී මෙහි ග්‍රාම වසම් හතක් විය. 1980 දශකය වන විට මෙම මුසලි පළාතේ ග්‍රාම වසම් 08 දක්වා වර්ධනය විය. ඒවා නම් මෙතැන්වැලි අරිප්පු සිලාවතුර අකාතිමුරුප්පු මරිච්චකට්ටි කොක්කුපඩයාන් මුල්ලිකුලම් වෙප්පල් සහ කරඩිකුලි වශයෙන් විය. මරිච්චකටුට්වෙන් ඔබ්බට ජනාවාසකරණය ආරම්භ කරන ලද්දේ 2010 වසරේදී පමණය. ඒ සඳහා ඉඩම් ඉල්ලා වන සංරක්ෂණ අධ්‍යක්ෂ වරයා වෙත යැවූ ලියුම් වලට අනුව ඉඩම් නිදහස් කළ බව පැවසේ. නමුත් ඔවුහු මෙලෙස ඉඩම් ඉල්ලා සිටින ලද්දේ මරිචිකට්ටුවෙන් හෝ කරඩිකුලි ගම්මානයෙන් නොව ඉන් ඔබ්බට යන මන්නාරම් මාර්ගයේ කල්ලාරු වනාන්තරයෙන්ය. රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයාගේ අනුදැනුමෙන් ජනතාව පදිංචි කරන ලද්දේ මේ වනාන්තරය හෙළි පෙහෙළි කරමින්ය.

         යුද්ධයෙන් අවතැන්වූ පුද්ගලයෙකු වශයෙන් සැලකෙන මෙම අමාත්‍යවරයා අද මන්නාරම් දිස්ත්‍රික්කයේ පමණක් නොව වවුනියා දිස්ත්‍රික්කයේ ද මහ බලවතා වෙයි. ඔහු විසින් ප්‍රදේශයේ ජනතාවට විහාරස්ථානයන්ට විසි කරන මුදල් අසීමිතය.මේවා කෙසේ උපයා ගන්නේ දැයි කිසිවෙකුත් නොදනී. එහෙත් මුස්ලිම් මූල්ධර්මවාදය පතුරුවන කටාර් රාජ්‍යය මගින් මෙලෙස මුදල් පොම්ප කරන බව දැන ගන්නට ඇත. එසේම නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන් මගින්ද මෙවැනි මුදල් එක්රැස් කරගන්නා දේශපාලකයන් එමට ඇත. කෙසේ වුවත් උතුරේ සිංහල අනාථයන්ට තම මුල් ගම්බිම් වලට යන්නට අත නොදුන් ආණ්ඩු දෙකක පැටි කිරිය අපි දනිමු.ඔවුහු නැවත පදිංචි කිරීම් අමාත්‍යංශය හරහා මරක්කලයන් සහ දෙමළ ජනයා පදිංචි කරලීමට වැඩි වෙහෙසක් ගනු ලබන්නේ චන්ද බලාපොරෙත්තුවෙනි. වත්මන් යහපාලන රජයද එලෙසම ඉදිරි චන්ද වලදී උතුරේ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ  චන්ද බලාපොරොත්තු වෙන් සිටිති. ඒ වෙනුවෙන් ඕනෑම කප්පමක් දීමට ලෑස්ති වීම වර්තමාන ස්වභාවයයි. නීති විරෝධී ලෙස කැලෑ එළි කළ උසාවියට ගල් ගැසූ බද්යුදීන් අමත්‍යාවරයා තවමත් නිදහසේය..මෙම අමාත්‍යවරයා මුස්ලිම් ව්‍යප්තවාදය වෙනුවෙන් කටයුතු කරන්නේ මේ අනුහසිනි. ඔහුට ඉතා ඉක්මනින් සමාව දිය හැකිද යන්න ප්‍රශ්නයකි .යහමින් මුදල් විසිකරන නිසා ඔහු වෙනුවෙන් හඬ නගන ස්වාමීන් වහන්සේලා පිරිසක්ද වවුනියා දිස්ත්‍රික්කයේ සිටිති. එවැනි අවස්ථාවක ජනපති වරයා මන්නාරමට ගොස් ගස් හිටුවීමට පෙළඹවීම රජ කොලෙප්පමක් බව නොකියා බැරිය. පිදුරංගලදී පස්ස හරවා පෙන්නූ සිසුන් මෙන් මේ යහපාලනයද සිංහල ජනයාට පස්ස හරවා පෙන්වා කොලොප්පම් කරන බව අවසාන වශයෙන් කිව යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress