මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට ආණ්ඩුව පුපුරයි
Posted on October 20th, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත.

ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම එහි ආරම්භක සන්ධිස්ථානය බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

එම කොමිසමේ නිර්දේශ අනුව එජාපයට සම්බන්ධ බොහෝ දෙනකු පිළිබඳව විවිධ අනාවරණයන් සිදුවීම ඊට හේතුවයි. එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එජාපය අපහසුතාවට පත්කිරීමේ අභිලාෂයෙන් සිදුකරන ලද්දක් බව එජාපයේ අදහස වී ඇත.

රටේ ආර්ථිකය හැසිරවීමේ අංශය එජාපය වෙත ලබාදී තිබියදීත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කොට ඒ වෙනුවට තමන්ගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කිරීම දෙපාර්ශ්වයේ විරසකය ප්‍රකට වූ අවස්ථාවක් ලෙස සැලකේ.

එමෙන්ම එජාපයේ මැති ඇමැතිවරුන් ශ්‍රිලනිප මැති ඇමැතිවරුත් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම, විශේෂයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විවේචනය කිරීම නතර කර ගැනීමටද දෙපාර්ශ්වයටම නොහැකි වූ අතර එම නිසාම එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් ලෙස අර්ථකතනය කරන්නටද පක්ෂ දෙකම උත්සුක විය.

එමෙන්ම ආණ්ඩුව ක්‍රියාවට නංවන ‘ගම්පෙරළිය’ වැඩසටහන මඟින් ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ට සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම ගැන ශ්‍රී ්‍රීලනිප මැති ඇමැතිවරු ජනාධිපතිවරයාට මැසිවිලි ඉදිරිපත් කළහ. ඒ ගැන සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පියවර ගෙන තිබිණි. ආණ්ඩුවක් ලෙස නොව දේශපාලන පක්ෂ ලෙස තමන්ට ලකුණු දමා ගැනීමේ සීතල යුද්ධය ප්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස එය දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්විය.

එමෙන්ම පසුගිය අඟහරුවාදා (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොළඹ වරායේ මීටර් 400ක දිගින් යුතු සහ කන්ටේනර් 18,000ක් සහිත නැව් හැසිරවිය හැකි හෙක්ටයාර් 20කින් යුතු නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ආණ්ඩුවේ නායකයන් දෙදෙනා අතර පවතින දේශපාලන ගැටුම එළියට පිළිපන් අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නැති බවට සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අඟහරුවාදා (16දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසුවද ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක මහතා බ්‍රහස්පතින්දා (18දා) මාධ්‍ය හමුවක් පවත්වා පැවැසුවේ ඝාතන කුමන්ත්‍රණ යට ගැසීමේ කුමන්ත්‍රණයක් සිදුවන බවයි. මේ පිටුපස එජාපයේ සම්බන්ධතාවක් ඇති බවට ශ්‍රීලනිප පාර්ශ්වයේ අදහස වී තිබේ.

මේ අතර තමන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ‘රෝ’ (අඒඑ) ඔත්තුකරුවකු යොදවා ඇති බවට ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී සිදුකළා යැයි පවසමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට තොරතුරු දුන් තැනැත්තන්ට තමන්ගේ නම් හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා (18දා) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එජාප ඇමැතිවරුන් ඉලක්ක කර දෝෂාරෝපණය කළේය.

මේ අතර පසුගිය බදාදා (17දා) සන්ධ්‍යාවේ ඉන්දීය අගමති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දුරකථනය ඔස්සේ සාකච්ඡා කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළද ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ ඉන්දීය රෝ ඔත්තු සේවය තමන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවට පළවන ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි.

එමෙන්ම ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ උත්සාහයක නිරතවන බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඉන්දීය ආරක්ෂක බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මඟින් පසුගියදා (17දා) ඒ බව දැනුම් දී ඇති බවද වාර්තා විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ද ජනාධිපති ඝාතන තැත ගැන විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දක්වා ඇති අතර එම සාකච්ඡාව අවසන්කර ජනාධිපතිවරයා පැමිණෙද්දී ඒ පසුපස පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට හින්දු පත්‍රයට කැබිනට් මණ්ඩල රැස්වීමේ තොරතුරු දුන්නේ ඔයාලගේ නායකයා බවත්, මාවත් ඉන්දියාවත් අතර අමනාපයක් ඇති කරන්නට කළ ඒ දේ ගැන ඔවුන්ට ගිහින් කියන්නැයි පැවැසූ බවක්ද වාර්තා විය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව පොලිසිය මන්දගාමීව කටයුතු කරන බවටද ශ්‍රීලනිප පාර්ශ්වය වෙතින් චෝදනා කරයි. පොලිසිය ඉලක්ක කළද චෝදනාව එල්ලවන්නේ එජාපයටයි. ලංකා බැංකුව, මහජන බැංකුව හා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය බදාදා (17දා) දැනුම් දී තිබියදී ජනාධිපතිවරයාට එසේ කිරීමට බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඔවුන් තවදුරටත් එම තනතුරුවල තබා ගැනීමට එජාපය කටයුතු කරමින් සිටී.

මෙලෙස කාලයක් තිස්සේ මෝදු වෙමින් පවතින මේ විරසකය වඩාත් තීව්‍ර ලෙස වර්ධනය වීමේ පසුබිම තුළ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයෑම ගැටලුකාරී වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

One Response to “මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට ආණ්ඩුව පුපුරයි”

  1. Randeniyage Says:

    “එමෙන්ම පසුගිය අඟහරුවාදා (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කොළඹ වරායේ මීටර් 400ක දිගින් යුතු සහ කන්ටේනර් 18,000ක් සහිත නැව් හැසිරවිය හැකි හෙක්ටයාර් 20කින් යුතු නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ආණ්ඩුවේ නායකයන් දෙදෙනා අතර පවතින දේශපාලන ගැටුම එළියට පිළිපන් අවස්ථාවක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.”

    To hell with the “දේශපාලන ගැටුම” this is a good thing at the moment ! Don’t give anything to India !

    If Sirisena continues with anti-Inida talk, he will get more votes. Rajapaksas latest tactic of “friend India ” will then backfire.
    Will Sririsena become Sri Lanka’s Trump ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress