ශිෂ්‍යත්වයෙන් වලල්ලාවිට ප්‍රථම ස්ථානය නාවලකන්දට , ගමෙන් උපහාර
Posted on October 25th, 2018

පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය නාවලකන්ද, මීගහතැන්න

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 849 – D බෝගොඩකන්ද ග්‍රාම නිලධාරී වසමේ නාවලකන්ද ග්‍රාමයේ  ඩී.වී. තීක්ෂණා තත්සරණි සමරසිංහ දියණිය ලකුණු 190  ක් ලබා  වලල්ලාවිට අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රථම ස්ථානය හා මතුගම අධ්‍යාපන කලාපයේ දෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වූවාය. දේවිකා ලක්මාලි මහත්මියගේ සහ චමිල ප්‍රියන්ත සමරසිංහ මහතාගේ එකම දියණිය වන ඇය මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ සිසුවියකි.

ඇය ජීවත් වන නාවලකන්ද ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ කෙලවරක පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් වන අතර අවශ්‍ය මූලික පොදු පහසුකම් පවා මෙම ගම්මානයට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. එවැනි දුෂ්කර පසුබිමක් තුල කුඩා දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමෙදී දැඩි බාධක එල්ලවීම සිදුවේ. නමුත් එම බාධා දුෂ්කරතා මැඩ ගනිමින් තීක්ෂණා තත්සරණි දියණිය ලැබූ ජයග්‍රහණය මෙම ප්‍රදේශයේ සිසුවෙක් මෙතෙක් ලැබූ ඉහලම ජයග්‍රහණයයි.

මෙවන් ජයග්‍රහණයක් ලබමින් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට නාවලකන්ද ගම්මානයට ඇය ගෙන ආ ගෞරවය වෙනුවෙන් උපහාර පිදීමේ උළෙලක් 2018.10.24 දින නාවලකන්ද, ජම්බුගහහේන ප්‍රජා ශාලාවේදී ිපැවැත්විණි. ගම්වාසීන්ගේ අනුග්‍රහය සමගින් සමනල යෞවන සමාජය සහ රන්තරු ළමා සමාජය විසින් සංවිධානය කල මෙම උපහාර උළෙල 849 D බෝගොඩකන්ද ග්‍රාම නිලධාරී දිමුතු හොරවල විතාන මහතාගේ සහ වළල්ලාවිට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයසේන මල්ලවාරච්චි මහතාගේ ප්‍රධානත්වය සමගින් ප්‍රදේශවාසී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති අතර  ප්‍රථම ස්ථානය දිනාගත් තීක්ෂණා තත්සරණි සමරසිංහ දියණිය ඇතූළුව මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ප්‍රදේශයේ අනෙක් දරු දැරියන් ඇගයීමද මෙහිදී සිදුකරන ලදි.

දැඩි කැපවීමක් සිදුකරමින් තීක්ෂණා තත්සරණි සමරසිංහ දියණිය ලැබූ ජයග්‍රහණය සියළුම සිසු දරු දැරියන්ට ආදර්ශයක් බව එම ඇගයීමේි උළෙලට සහභාගීවූ සියළු දෙනාගේ අදහස වූ අතර එවන් දරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් මෙවැනි උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව සමනල යෞවන සමාජය සහ රන්තරු ළමා සමාජයට සියළු දෙනාගේ ස්තුතිය හිමි විය යුතු බවද ප්‍රකාශ විය.

පේශල පසන් කරුණාරත්න

සභාපති

සමනල යෞවන සමාජය

නාවලකන්ද, මීගහතැන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress