තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදී සංකීර්ණ බදු ක්‍රමය සරල කරනවා
Posted on November 1st, 2018

ඉෂාරා සිල්වා ඡායාරූප – ඒෂාන් දසනායක  උපුටාගැණීම  මව්බිම

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පනවා තිබෙන සංකීර්ණ බදු ක්‍රමය සරල කර නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කරන බව නව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඊයේ (31දා) කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදී නව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ වසර 03 කුත් මාස 10කට පසුව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා වශයෙන් වැඩභාර ගන්නා විට රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන තත්ත්වය 2005-2010 කාලය තුළ පැවැතියාටත් වැඩිය ව්‍යාකූල මට්ටමක තිබෙන බවයි.

විනිමය අනුපාතය ස්ථාවර කර අපනයන, සංචාරක, විදේශ රැකියා යන අංශවල ඉපැයීම් රටට ගලාගෙන එන ආකාරයේ ප්‍රතිපත්තියකට ගමන් කළ යුතුව තිබෙන බවත් ආහාර නිෂ්පාදනය ඉහළට ඔසවා තැබිය යුතු බවත් රාජපක්ෂ මහතා පැවැසුවේය.

වැඩිදුටරත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.
බොහොම කාලයකට පසුව තමයි මේ අමාත්‍යාංශයට කකුල තියෙන්නේ. අවුරුදු 3යි මාස 10ට පසුව හරි මුදල් අමාත්‍යාංශයට පැමිණීම පිළිබඳ සතුටු වෙනවා. 2005 වසර අවසානයේ සිට 2015 වසරේ ජනවාරි 8 වැනිදා දක්වා දීර්ඝ කාලයක් මෙම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වශයෙන් ඉතාමත් සන්තෝෂයෙන් අපි කටයුතු කළා. භාරධූර අමාත්‍යාංශයක කටයුතු කිරීම නිවැරැදි උපදෙස් ගැනීම් ඉතා කාර්යක්ෂම දැඩි කැපවීමකින් සහ රටට ඉමහත් ආදරයෙන් සියලු දෙනා කටයුතු කිරීම අගය කරනවා. අපේ රට ආර්ථික අභියෝග හමුවේ කටයුතු කළ ආකාරය අපි දුටුවා. 2004 සුනාමි ව්‍යසනයෙන් අපේ රටේ මුහුදුකරයේ ප්‍රදේශ ගණනාවක් ගොදුරුවීම හේතුවෙන් විශාල පසුබෑමකට රට පත් වුණා. මේ හේතුවෙන් ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. නමුත් ඒ සියල්ලට මුහුණ දෙමින් අමාත්‍යාංශය ඉතා කැපවීමෙන් ක්‍රියා කළා.

එපමණක් නෙවෙයි දශක ගණනාවක් ඇති වී තිබුණු ත්‍රස්තවාදය 2006-2009 කාලයේදී නිසි ලෙස මූල්‍ය කළමනාකරණය කරමින් ආරක්ෂක සේවාවන්ට අදාළ ශක්තිය ලබාදීමට අපේ රට මුදා ගන්නට මෙම අමාත්‍යාංශය තම කාර්යභාරය නිසි ලෙස ඉටු කළා. මුදල් අමාත්‍යාංශයේ එම දිනවල අපි ඉල්ලනවා නම් යම් දෙයක් ආරක්ෂකමණ්ඩලයේදී එම අවස්ථාවලදී බැහැ කියන්නේ නැතිව ඉතාමත් ඉදිරියෙන් කටයුතු කරන්නට අපිට උදවු වුණා. සියලු දෙනා ඒ සඳහා අවංකවම සහාය ලබාදුන්නා.

ඉන් පසුව අපිට තිබුණු අභියෝගය තමයි අවතැන් වූවන් පදිංචි කිරීම. එහිදී බිම් බෝම්බ විශාල ගණනක් එම ප්‍රදේශ තුළ තිබුණා. ඒවා ඉවත් කරන්න, ඔවුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, මහාමාර්ග, නිවාස මේ සියල්ල දියුණු කිරීම අවුරුදු 25-30ක කාලයක් සිදු නොවූ දේවල් කිරීමට මේ අමාත්‍යාංශය සහාය දැක්වූවා. ඒක අපිට අමතක කරන්න පුළුවන්කමක් නැහැ.

යුද්ධය පැවැති කාලයේදීත්, ඉන් පසුවත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 100ට වැඩිය ඉහළ ගිහින් තිබුණා. 2008-2009 කාලය තුළ ලෝක ආර්ථිකය කඩාවැටිලා තිබුණා. ජාත්‍යන්තර ආර්ථික පරිසරයක් තුළ අපේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බවක් ලබාගැනීමට එම අවස්ථාවේදී අපටහැකි වූ බව මතක් කළ යුතුයි.

අපි දුටුවා දේශීය නිෂ්පාදන අගය කරමින් ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීම නිසා ජනතාවගේ අතමිට සරු වුණා. ගමට මුදල් ටික ගියා. අපි දුටුවා වාර්ෂික සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6%කවත් ඉක්ම වූ මට්ටමක පවත්වාගෙන යෑමට ඒ කාලයේදී මුදල් අමාත්‍යාංශයේ අපට හැකිවුණා.

ඒ වගේම සමස්ත රට පුරාම විදුලිබල පද්ධතිය, මහා මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ඒ වගේම වාරි මාර්ග හා ජලසම්පාදන ක්‍රම ඇති කිරීම, පාසල්-රෝහල් වර්ධනය කිරීම ඉතාමත් ප්‍රශංසනීය ලෙස ඉටු කිරීමට අපට හැකි වුණා. සියලු ක්‍ෂේත්‍රවල ව්‍යාපාරිකයන්ට මුල් තැන දෙමින් දේශීය නිෂ්පාදන වැඩිදියුණු කරලා විශාල කාර්යභාරයක් මෙම අමාත්‍යාංශය ඉටු කළ බව අපි අමතක කළ යුතු නැහැ.

අපි ක්‍රමානුකුලව අය – වැය හිඟය අඩු කළා. 2005 වසරේදී ජාතික ආදායමෙන් 90%කට වැඩි පැවැති රජයේ ණය 2014 වන විට 71% දක්වා ක්‍රමානුකූලව අඩු කිරීමට මෙම අමාත්‍යාංශයේ මූල්‍ය කළමනාකරණය නිසිලෙස ඉටු කළා. 10%ක් ඉක්මවා පැවැතුණු වාර්ෂික උද්ධමනය තනි අගයක උද්ධමන වේගයක් බවට පත් කරන්නට අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් සඳහා 2007 වසරේ 20%ක්ව පැවැති පොලී අනුපාතය 6%ක පමණ මට්ටමට අඩු කරන්න පුළුවන් වුණා.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමත් සමඟ 10%ක්ව පැවැති අය – වැය හිඟය 5.7% දක්වා අඩු කරන්නට පුළුවන්කම ලැබුණා. 2005දී ඩොලර් මිලියන 2,735ක විදේශ සංචිත ප්‍රමාණයක් 2014 වසර අවසන් වන විට ඩොලර් මිලියන 8,208ක් දක්වා වැඩි කර ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා.

මෙම අමාත්‍යාංශය වසර 3යි මාස 10ක කාලයකින් පසුව මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා වශයෙන් වැඩභාර ගන්නා විට පවතින තත්ත්වය පැවැතියාට වැඩිය ව්‍යාකූල බවක් තිබෙනවා. ආර්ථික වර්ධනය 3%කට අඩු මට්ටමක පවතින බව වාර්තා වෙනවා. සෑම අංශයකම බදු බර වැඩිවෙලා තිබෙනවා. වක්‍ර හා ඍජු බදු ඉතා සංකීර්ණ මට්ටමකට පත්වෙලා තිබෙනවා. සමස්ත ආර්ථික ක්‍ෂේත්‍රයම පසු බෑමකට ලක් වෙලා තිබෙනවා. පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින නිසා ජනතාවට විශාල බරක් පැටවිලා තිබෙන බව අමතක කරන්නට එපා. විනිමය අනුපාතය ඉතා අස්ථාවරභාවයක පවතින නිසා ආර්ථික, සමාජයීය හා දේශපාලන අස්ථාවරභාවයත් වැඩිවෙලා තිබෙනවා.

2015 සිට 2017 කාලය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉතා අඩු මට්ටමක පැවැතියා. තෙල් බැරලයක් ඩොලර් 40 මට්ටමට බැස්සා. එහෙත් ආර්ථිකය ශක්තිමත් කරගත් බවක් අපට පෙනෙන්නට නහැ.

ජනතාව වැඩි වශයෙන් ජීවත් වන ග්‍රාමීය ආර්ථිකය දැඩි පසුබෑමකට ලක්වී තිබෙනවා.
නාගරික පරිසරය අපිරිසුදු වී තිබෙනවා. කැළි කසළ ඉවත් කිරීම පවා හරියාකාරව සිදුවන්නේ නැහැ. පළාත්සභා 6ක් විසුරුවා හැරලා තිබෙනවා. ජනතා නියෝජිතයන්ගෙන් ඉවත් කරලා නිලධාරීන් එය ලබාගෙන තිබෙනවා. මේක තමයි අද රටේ ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන උදවිය මැතිවරණ නොපැවැත්වීම නිසා අකර්මණ්‍ය වෙලා තිබෙනවා පරිපාලනය.

අවුරුදු 25කට පසුව උතුරු නැඟෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්වූවා අපේ කාලය තුළදී. මේපිළිබඳව නොයෙක් ප්‍රශ්න ඇති වුණා. නමුත් අපි මැතිවරණයට මුහුණ දුන්නා. අද විසුරුවා හැරිය පළාත් සභාවල මැතිවරණය කල් දමලා තිබෙනවා. නමුත් අවුරුදු 25ක් යටගහල තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට දාලා තමයි අපි කටයුතු කළේ.

හැබැයි මැතිවරණ කල් දමන උදවිය දවස් 11ක් පාර්ලිමේන්තුව කල්දැමුවා කියලා ජනාධිපතිවරයා මහා ලොකු විවේචනයක් කරනවා. නොවැම්බර් 5 වැනිදා තමයි පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණේ. 5 වැනිදා සිට 16 වැනිදා දක්වා තමයි පාර්ලිමේන්තුව කල් දැම්මේ. හරියට මීට කලින් ජනාධිපතිවරු නොකළ දෙයක් හැටියටයි හිතාගෙන ඉන්නේ. මමත් කළා. ප්‍රේමදාස මහත්තයා මාස ගණනාවක් කල් දැමුවා. පුතාට මතක නැහැ. හැම ජනාධිපතිවරයෙක්ම මේ දේ කරලා තියෙනවා. දින 11යි ඇත්ත වශයෙන්ම කල් දමලා තිබෙන්නේ. මුළු ලෝකයටම මේ රට ඒකාධිපතිත්වයකට යන බව පෙන්වලා තිබෙනවා.

මේ අමාත්‍යාංශයට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. සියලු පාර්ශ්වයන්ට ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා නියෝජනයක රටේ සියලුම ජන කොටස්වලට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. බදු ක්‍රමය සරල කළ යුතුයි. ජනතාව හා දේශීය ව්‍යාපාරිකයාට බදු පැනවීම් හැකියාව ගැන සැලකිලිමත් විය යුතුයි. එහෙම නැතිව බදු පනවලා මිනිසුන්ව හූරගෙන කන්න නෙවෙයි. කතාවට කියනවා බඹරු මලෙන් රොන්ගන්නවා වගේ ජනතාවගෙන් බදු ලබාගත යුතු බව. ආදායම් මාර්ග දියුණු වන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

හැම මාසයකම 10 වැනිදා වන විට මිල සූත්‍රයක් වැඩ කරනවා. ඉතින් අපි බලාගෙන ඉන්න ඕන කීයක් වැඩිවෙයිද කියලා. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයක් ඇති වෙලා. ඒක නිසි වැඩපිළිවෙළකට අනුව සිදුවෙන්න ඕන. සූත්තර දාගෙන තෙල් මිල ඉහළ ගියාට අඩු වෙන්නේ නැහැ. මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඕන. සොයා බලන්න ඕන ගන්න බදු ප්‍රමාණය ගැන. සාධාරණද මෙලෙස බදු පැනවීම කියලා සොයා බැලිය යුතුයි. රටට මුදල් අවශ්‍යයි. හැබැයි ඒ ජනතාව පීඩනයට පත්කරමින් බදු පනවමින් නෙවෙයි.

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගන්න ඕන. විනිමය අනුපාතය ස්ථාවර කරගත යුතුයි. අපේ රටේ විදේශ සංචිත ආරක්ෂා කරගත යුතුයි. අපනයනය, සංචාරක, විදේශ රැකියා, ඉපයීම් රටට ගලාගෙන එන ආකාරයේ ප්‍රතිපත්තියකට අප යා යුතුව තිබෙනවා.

දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් මේ සඳහා පෙරමුණ ගන්න ඕන. යුද්ධය පැවැති කාලයේ ණය මුදල්, ණය වාර ගෙවීම් අතපසු නොකර අපේ රටේ ණය ආපසු ගෙවීම් පැහැර හැරියේ නැහැ. මේ රටේ දේශීය නිෂ්පාදන ආහාර බෝග ක්‍රමානුකූලව සිදු කළා. මත්තලට ගිහින් පුරවන්න තරම් වී තිබුණා. එතැනින් රට යවන්නත් වී තිබුණා. අපි ස්වයංපෝෂිත වුණා බඩ ඉරිඟුවලින්. අපේ රටේ ගොවියාගේ නිෂ්පාදන මුදල් යොදවලා දේශීය නිෂ්පාදන වැඩිදියුණු කළා. එය අපි නැවත සිදු කරනවා.

අද බලන්න මාස් කන්නය ආරම්භ කරනවා කියලා දැනගෙන ආශීර්වාදයක් වගේ වහින්න පටන්ගත්තා. නියඟයක් නැහැ අද රටේ. ගොඩ මඩ වගාව සඳහා අපේ ගොවිජනතාවට සිදු කිරීමට අවශ්‍ය සහන දෙන්න අපි කටයුතු කළ යුතුයි.

පරිසර හිතකාමී ආර්ථික සංවර්ධනයක ප්‍රතිලාභ සියලු ජන කොටස්වලට ලැබෙන ආකාරයේ ගමනක් අපි යායුතුයි. ලංකාවේ හඳුන්කුරූ නිෂ්පාදනය කළත් දැන් පිටරටින් ගෙන්වන්න සූදානම් වෙනවා. එහෙම කළ යුතු නැහැ. අපිට පුළුවන් මේ රට තුළ ඒවා නිෂ්පාදනය කරන්නට.

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා දිරි ගැන්විය යුතුයි. රජයක් ලෙස රාජ්‍ය නිලධාරීන් කෘෂිකර්මාන්තයේ පුළුල් විප්ලවයක් ඇති කිරීමට සිය සේවාවන් කැප කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිවරයාත් තිස්සමහාරාමේ වප් මඟුලට ගිහින් පැහැදිලිව පෙන්නුවා ඔහුගේ ඒ පිළිබඳව තියෙන උනන්දුව.

ජනාධිපතිවරයා වශයෙනුත් මුදල් ඇමැතිවරයා ලෙසත් සිටියා. දැන් අගමැතිවරයා ලෙස පැමිණෙනවා. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් විදේශීයකරණය නතර කරන වැඩපිළිවෙළ අපි දියත් කරනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ අපේ දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න කියලයි. අපි ඒක කරනවා.

අපි එකතු වෙලා මේ රට උතුර දකුණ, බටහිර, නැඟෙනහිර මේ සියල්ල එක්කර ගනිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress