නිදහසින් පසු ඓතිහාසික තීන්දුවක් ගත් නායකයා ජනාධිපති මෛත්‍රියි
Posted on November 1st, 2018

උදයන්ති මුණසිංහ  උපුටාගැණීම  මව්බිම

එඩිතර තීන්දු ගත හැකි නායකයන් දෙදෙනෙක් එකට එක්වී සිටින බැවින් රටේ ආරක්ෂාව සහ අනාගතය සුබදායි වන බව විවෘත විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ගණිත විද්‍යා අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නිම්සිරි ජයතිලක පැවැසුවේය.

නිදහසින් පසුව මේ රටේ ඓතිහාසික තීන්දුවක් ගත් නායකයා වන්නේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරටත් අසාර්ථක වී තමන්ගේ ධුර කාලය ඉවර වීමටත් පෙර එළියට විසිවුණු බවත් ඔහු පැවැසුවේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පොදු එකමුතුවක් විසින් ඊයේ (31දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කථිකාචාර්ය නිම්සිරි ජයතිලක මෙසේද පැවැසීය.

රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ බලය රැක ගන්න ඉතාම සූක්ෂ්ම විදියට කටයුතු කරන පුද්ගලයෙක්. 19 වැනි ව්‍යවස්ථාව ගෙනාවේ ඔහුව රැක ගන්න. මෛත්‍රිපාල ජනාධිපතිවරයා කරපු දේ කිසිසේත්ම නීති විරෝධී නැහැ. දැන් ජාත්‍යන්තර ප්‍රජාව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත අල්ලාගෙන කෑ ගහනවා.

මේ ලංකාවේ නිදහසින් පසුව ඉතාම ඓතිහාසික තීන්දුවක් ගත්තේ වත්මන් ජනාධිපතිතුමා. හිටපු ජානධිපතිතුමා කිව්වා. මට වුණත් ගන්න අමාරු තීරණයක් මෙතුමා අරගෙන තියෙන්නේ කියලා. එතුමාත් යුද්ධය කාලේ එඩිතර තීන්දු තීරණ ගත්තා. ඒ නිසා දැන් අපිට එඩිතර තීන්දු ගන්න පුළුවන් නායකයෝ දෙදෙනෙක් එකට එකතු වෙලා ඉන්නවා. ඒ නිසා රටේ ආරක්ෂාව ගැන අනාගතය ගැන සුබවාදීව හිතන්න පුළුවන්.

විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න
ජනාධිපතිවරයා තීරණය කළා අගමැති ඉවත් කළ යුතුයි කියලා. ඒ මනෝ මූලික කරුණු මත නෙවෙයි විෂය මූලික බලතල මතයි ඔහු එහෙම කළේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒකට අයිතිය ඔහුට තියෙනවා. වෙන කාටවත් ඒකට බලයක් නැහැ. මේ විදියට කල්දාපු පාර්ලිමේන්තුව කැඳවන්න කථානායකට බලයක් නැහැ. මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කළ දෙයක්. නමුත් දැන් මේ ක්‍රියාවලිය තුළින් අර්බුදයක් මතු කරලා මේ පිටමං කරපු අගමැතිවරයාට බලය ලබාදීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දැන් තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉන්ජිනේරු අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්
චීනය වගේ රටවල් අපේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී ඉන්න බව අපිට පේනවා. මේක හොඳ තත්ත්වයක්. නමුත් ඇතැම් විදේශීය අත පෙවීම්වලට කිසිදු ආකාරයකට අපි ඉඩ දිය යුතු නැහැ. අපි එය හෙළා දකිනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ මතය. මේ මොහොතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කරන්නේ කවුද කියලා අපි බලන්න ඕනි. අද වෙනකොට ජනාධිපතිවරයා ගන්න මේ තීරණයට රටේ ජනතාව ගරු කරනවා. රට අරාජික නැහැ මේ සිදුවුණු වෙනස ගැන ජනතාව ඉන්නේ සතුටින්.

දැන් සමහරු කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයක් තියන්න කියලා. නමුත් අපි අහනවා මැතිවරණයක් තියන්න නම් අති විශාල මුදලක් වැය කරන්න වෙනවා. එතරම් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන්න තරම් රටේ ආර්ථිකය ශක්තිමත්ද කියලා.

ත්‍රිකුණාමලයේ ජයසුමනාරාමාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්ද කිත්ති හිමි
ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වීම තමයි ගත්ත හොඳම පියවර. වත්මන් ජනාධිපති හොඳ දේශපාලන පරිණත භාවයක් තියෙන පුද්ගලයෙක්.
ඒ වගේම තමයි වත්මන් කථානායකතුමා තමයි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ හිටපු පක්ෂපාතීම කථානායකවරයා. ඔහු යූ.එන්.පී.ය නියෝජනය කරන්නේ. දැන් මහා ලොකු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ඔහු කතා කරනවා. පසුගිය කාල සීමාව තුළ රටට අහිතකර අණපනත් පක්ෂපාතී විදියට නීච විදියට එතුමා සම්මත කරන්න ඉඩ දුන්නා. සම්පූර්ණ පාර්ලිමේන්තුවම එදා විකාරයක් කළා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අජිත් දිසානායක
හිටපු අගමැතිට අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතුයි කියලා අපි කියනවා. එතුමා අගමැති තනතුරින් ඉවත් වුණාට පස්සෙත් තාමත් නිල නිවාසය තුළ රැඳී ඉන්නවා. ඒ වගේම ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවා. ඒකට විවිධ චෝදනා අගමැතිට එල්ල වෙනවා. මහ බැංකු වංචාවට ඔහුට චෝදනා තියෙනවා. ඒ නිසා තවදුරටත් ඔහුට ආරක්ෂාව ලබා දිය යුතුයි කියලා. අපි විශ්වාසය කරනවා.

උදයන්ති මුණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress