අපේ අය-වැය පරාජය කරනවා නම් මම කැමැතියි
Posted on November 2nd, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

අය – වැය පැරැදුණොත් ඉතාම ඉක්මනින් මැතිවරණයකට යා හැකි බවත් තමන්ටද අවශ්‍ය මැතිවරණයක් බැවින් නව ආණ්ඩුව ඉදිරිපත් කරන අය – වැය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකළොත් තමා ඉතාමත් කැමැත්තෙන් ඊට ආශීර්වාද කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පැවැසීය.

තම බලාපොරොත්තුව ඉක්මන් මැතිවරණයක් ලබාගෙන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ජනතාවට සහන සැලැසීම බවද ඒ මහතා සඳහන් කෙළේය.

ඊයේ (1දා) කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අපේ කාලයේදී අපි රට සංවර්ධනය කරන්න සැලැසුම් හැදුවා. වත්මන් ජනාධිපතිවරයා එදා පක්ෂයේ ලේකම්වරයා ලෙස ඒ වැඩපිළිවෙළට උදවු කළා. නමුත් දැන් ඒ සැලැසුම් සියල්ලම විනාශ වෙලා. ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලා ආණ්ඩු හැදුවත් ක්‍රියාත්මක වුණේ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළ නෙවෙයි. ඒ බව අවබෝධ වූ නිසා ජනාධිපතිවරයා තමන්ගේ මිතුරු ශ්‍රී ලනිප කණ්ඩායම එක්ක එකතු වුණා. ඒ නිසා ප්‍රතිපත්ති ගැටලුවක් දැන් ඇති වෙන්නේ නැහැ. අපි ඔක්කොම එකම පැත්තේ ඉන්නවා.

2005දී මම රට භාරගන්නා විට තිබූ තත්ත්වය හා 2015දී මම රට භාරදෙන විට තිබූ තත්ත්වය ගැන මට වඩා හොඳට ජනතාව දන්නවා. එදා තිබුණ මගේ ප්‍රතිපත්තිවල කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ නිසා පීඩනයට පත් වූ මිනිස්සුන්ට මූලික වශයෙන් ආර්ථික පහසුකම් දිය යුතුයි. ආර්ථික වැඩපිළිවෙළ ගැන මුදල් අමාත්‍යාංශයේදී ප්‍රකාශ කරලා මම අමාත්‍යාංශයෙන් යන්නත් කලින් ත්‍රීවීල් රියැදුරන් කිලෝමීටරයකට අය කරන මුදල අඩු කළා.

ඉකුත් ආණ්ඩුව කිසිම පිළිවෙළක් නැතිව හිතෙන හිතෙන විදියට බදු පනවලා. මල නොතළ රොන් ගන්නව වගේ බදු අය කරන්න ඕන. නමුත් පසුගිය ආණ්ඩු මල තළලා දාලා. ඒ නිසා රටට ආයෝජකයන් එන්නේ නැහැ. දේශීය ව්‍යාපාරිකයන් අසරණ වෙලා. ඒ නිසා සියලුම දෙනා සමඟ සාකච්ඡා කරලා සහන දිය හැකි වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

මාස හයක් වගේ කෙටි කාලයකින් සහන දීලා මැජික් පෙන්වන්න මම ගෝගියා පාෂා නෙවෙයි. නමුත් මට යම් දුරකට ඒ චරිතය ක්‍රියාත්මක කරන්නත් වේවි. විශාල සහනයක් දෙන්න බැරි වුණත් ජනතාවට සහන දෙනවා. බොහෝම පැහැදිලිවම විදේශීයකරණ වැඩපිළිවෙළින් රට මුදාගන්නවා.

මට පේන විදියට කථානායකතුමා තමන්ට ලැබුණ බලය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒක ඔහුට හා තනතුරට හොඳ නැහැ. මේ වෙනකම් සිදු වූ සියලුම දේවල් සිදුවුණේ නීත්‍යනුකූලවයි. මේ දක්වා නීතියට පිටින් කිසිම දෙයක් වෙලා නැහැ. පස්වැනිදාටම පාර්ලිමේන්තුව කැඳෙව්ව කියලා අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.
හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශයේ අංශාධිපති ලෙවනගල සිරිනිවාස හිමියෝ,

සීමාවකින් තොරව විවිධාකාරයෙන් බදු පැනවීම නිසා මිනිස්සු ආර්ථිකමය වශයෙන් විශාල පීඩාවකට පත්ව සිටිනවා. ඒ නිසා සාමාන්‍ය මිනිස්සු ගැන හිතල කටයුතු කරන්න කියල අපි ඔබෙන් ඉල්ලනවා. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට උපයන විට බදු පැනවීම නිසා අපිත් පීඩාවට පත්වෙලා.

අපි මහන්සි වෙලා උපයන මුදල් ගසා කෑම අන්තිම අසාධාරණයි. එම බදු මුදල ඉවත් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්.ඩී. ළමාවංශ
ඔබගේ පාලන සමයේදී රටේ සංවර්ධනය සඳහා යම් අඩිතාලමක් දමා තිබුණා. දැන් ඒක පුපුරලා ගිහිල්ලා. මේක නැවත හදන්න ඕන. සාමාන්‍ය මිනිස්සු ඔබගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා.

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අබුබකර්,
මේ රටේ ජීවත්වෙන මුස්ලිම් ජනතාව කවදාවත් වෙනම පාලනයක් ඉල්ලුවේ නැහැ. ඒ වගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ රටවලට අත්වුණ ඉරණම ගැන අපිට අවබෝධයක් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් මේ රටෙත් ඇති කරන්න සමහරු උත්සාහ ගන්නවා. ඒකට කවදාවත් ඉඩ තියන්න එපා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුදන්ත ලියනගේ
අපි කවුරුවත් බලාපොරොත්තු නොවූ වෙලාවක ඔබ අගමැතිවරයා වශයෙන් පත්වුණා. එය ව්‍යවස්ථානුකූල වුණත් නැතත් රටේ සමස්ත ජනතාවට ඔබ රටේ අගමැතිවරයා ලෙස පිළිගෙන තිබෙනවා.

චීනයේ සන්නිවේදන විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
මම අවුරුදු හයක් චීනයේ සන්නිවේදන විශ්වවිද්‍යාලයේ සේවය කරනවා. මෙවැනි ආර්ථික අර්බුදයකදී චීනයෙන් අපිට සහායක් ලබාගන්න පුළුවන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනානායක
ඔබගේ පාලන කාලයේදී විශ්වවිද්‍යාලවලට ස්වර්ණමය යුගයක් උදා වුණා. නමුත් ඔබගේ නික්ම යෑමත් සමඟම විශ්වවිද්‍යාවල කටයුතු අඩාල වුණා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress