පාර්ලිමේන්තුව කල්දැමීම ගැන කිසිවකු කලබල විය යුතු නෑ
Posted on November 2nd, 2018

උපුටාගැණීම  මව්බිම

දින 11කින් පාර්ලිමේන්තුව කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමක් ලෙස හුවා දැක්වීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඔහුට හිතෛෂී කණ්ඩායමක් දරන උත්සාහය හාස්‍යයට කරුණක් බවත්, පාර්ලිමේන්තුව කල් දැමීම විධායක ජනාධිපති සතු බලතල අනුව සිදුවූ බවත් ඒ පිළිබඳ කිසිවකු කලබල විය යුතු නැති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු අමාත්‍ය ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමඟ පසුගියදා රත්නපුර නව නගරයේ පිහිටි ප්‍රභාත් ද සිල්වා මන්ත්‍රිවරයාගේ නිවෙසේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී සෙනෙවිරත්න මහතා මෙසේද පැවැසීය.

පාර්ලිමේන්තුව රැස්වෙන්න නියමිත වෙලා තිබුණේ නොවැම්බර් 05 වැනිදා. ඒ අය-වැය වාර්තාව ඉදිරිපත් කරන්න. නමුත් පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයද අහෝසි වුණා. ඒ සමඟ පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරයට ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළා. දැන් නව රජයේ අය-වැයක් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. නැත්නම් අතුරු අය-වැයක්. ඒ සඳහා යම් කාල සීමාවක් අවශ්‍යයි. ඒ අනුව නොවැම්බර් 16 දක්වා ජනාධිපතිවරයාට හිමි ව්‍යවස්ථානුකූල බලතල ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය කල්දමා තිබෙනවා.

එයට කිසිවකු කලබල විය යුතු නෑ. කථානායකවරයාත් කලබල විය යුතු නෑ. ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය ඇතුළු තානාපති කාර්යාල කිහිපයකින් දැන් ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. මේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව කල් දැමූ පළමු අවස්ථාව විදියට තමයි ඔවුන් චෝදනා කරන්නේ. නමුත් මේක අපේ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සාමාන්‍ය ක්‍රමවේදයක්. 1991 වර්ෂයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයට දෝෂාභියෝගයක් ආපු වෙලාවේ එතුමා මාසයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒවා දැන් එක්සත් ජාතික පක්‍ෂයට අමතක වෙලා. තානාපති කාර්යාලවලටත් අමතක වෙලා.

පාර්ලිමේන්තුව කල් දැමීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මූලික අයිතීනුත් උල්ලංඝනය වෙනවලු. නමුත් නියමිත කාලවලදී මැතිවරණ නොපැවැත්වීම, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව හිමිව ඇති ඡන්ද අයිතිය පැහැර ගැනීමක්. ඒ පිළිබඳ බටහිර බලවතුන් නිශ්ශබ්දයි. මේ තුළින් පෙනී යන්නේ බටහිර බලවතුන්ට ගතු කියමින්, කේලම් කියමින් ඔවුන්ගේ පදයට නටන පිරිසක් තමයි පසුගිය කාලයේ රට පාලනය කරලා තියෙන්නේ කියලා. දැන් අපේ රටට සම්බාධක දායි කියලත් කියන ද්‍රෝහීන් එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නවා. ඔවුන් දැන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර බලපෑම්වලින් හරි මේ ක්‍රියාදාමය ආපසු හරවන්න.

අද රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ඩොලරය දවසින් දවස ඉහළ යනවා. තෙල් මිල සූත්‍රය ගෙනත් ජනතාව විශාල පීඩාවකට පත්කර තිබෙනවා. හැම මාසෙම 10 වැනිදා වෙනකොට ජනතාවට ඉන්න වුණේ ලොකු පීඩනයකින්. ජාතික ආරක්‍ෂාව බරපතළ අනතුරක තියෙන්නේ. රටේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න පොලිසිය තුළින්ම උත්සාහ කළ බවට චෝදනා එල්ල වෙනවා. රටේ සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ වෙමින් යනවා. ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණමින් යනවා. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් යැයි ජනාධිපතිතුමා විශ්වාස කරන පුද්ගලයා තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා. දැන් නව ආණ්ඩුවක් පත්වෙලා. අලුත් වැඩපිළිවෙළක් සමඟ අපි සියලු දෙනා එකමුතුව අගාධයට ගිය රට නැවත ගොඩනැඟිය හැකි බව අපට විශ්වාසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress