පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වැනිදාමයි
Posted on November 2nd, 2018

උපුටාගැණීම  මව්බිම

නැවත පාර්ලිමේන්තුව කැඳවනු ලබන්නේ නොවැම්බර් 16 වැනි දින බවත් එහිදී නව සභානායකවරයා හා ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ සංවිධායකවරුන් පත්කර ගන්නා බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

මේ බව මන්ත්‍රිවරයා සඳහන් කළේ ඊයේ (01දා) සවස නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50ක් ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී වෙනම කමිටුවක් ලෙස රැස්වී කථානායකවරයා සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බවත් එසේම නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථාව අනුව පිළිගන්නාබව සඳහන් කළ කථානායකවරයා 16 වැනි දින රැස්වන පාර්ලිමේන්තුවේදී නව ආණ්ඩු පක්‍ෂයට ආසන ලබා දීමට එකඟ වූ බවත් හෙතෙම පැවැසීය.

එහෙත් 16 වැනි දිනට පෙර දිනක ජනාධිපතිවරයාට අවශ්‍ය නම් (දින තුනකට පෙර) දැනුම් දී පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇති බවත්, නමුත් එළැඹෙන 05 වැනි දින පාර්ලිමේන්තුව කැඳවීමට කිසිදු ආකාරයකට යෝජනා වී නැති බවත් පෙන්වා දෙමින් සුසිල් ප්‍රේමජයන්ත් සඳහන්කළේ, පාර්ලිමේන්තුව කල්තබා ඇත්තේ 70 ව්‍යවස්ථාවට හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනවලට එකඟව ජනාධිපතිවරයාට ඇති විධායක බලය අනුව බවත්ය.

16 වැනි දින රැස්වන පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර බලය පෙන්වීමට සූදානම් බවත් පසුව අතුරු අය-වැය ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් නොවැම්බර් 05 වැන දින රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනි දිනට කල් තැබුවේ එම අය-වැය වාර්තා සකස් කර ගැනීමට කාලය අවශ්‍ය නිසා බවත්, සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රිවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress