රනිල් ඉවත් කරල මහින්ද පත් කිරීම ගැන අපි ජනාධිපතිට පිං දෙනවා
Posted on November 2nd, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

තෙල්දෙණිය, අලුත්ගම ආදී ප්‍රදේශවල සිදුවූ ගැටුම් සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත්කර ඒවයේ සත්‍යය රටට අනාවරණය කොට සැබෑ සංහිඳියාවක් ඇති කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා යැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (01දා) රාජගිරියේදී බොදුබල සේනා සංවිධානය පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී ඩිලන්ත විතානගේ මහතා මෙසේද ප්‍රකාශ කෙළේය.
තෙල්දෙණියේ සිදුවීම ආදිය මඟින් බොදුබල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන මර්දන කරන්න කටයුතු කර ඇති බව හෙළිවී තිබෙනවා. දේශපාලකයන් වගේම නිලධාරිනුත් ඊට සම්බන්ධ බව අනාවරණය වෙනවා. ඒ නිසා අලුත්ගම, තෙල්දෙණිය ආදී ප්‍රදේශවලසිදුවූ දේවල් පිළිබඳ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

සංහිඳියාවක් ඇති කරන්න පත් කරන ආණ්ඩුව ඉවත් කළා කියලා ජාත්‍යන්තරය පවා ඇස යොමා ගෙන සිටිනවා. අපට සංහිඳියාව උගන්වන්න ආපු ආණ්ඩුවට සංහිඳියාවක් තිබුණේ නැහැ.

විතාරන්දෙණියේ නන්ද හිමි: විධායක ජනාධිපති ලෙස ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාඅගමැති ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ඒත් එජාපය ඇතුළු පාර්ශ්ව ඒ පිළිබඳ ජාත්‍යන්තරයට වැරැදි වැටහීමක් ඇති කරනවා.

ජනාධිපතිතුමා ආණ්ඩුව තුළ වසර තුන හමාරක් ඉවසා සිටියා. එසේ ඉවසා සිටින විටත් එතුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒ අවස්ථාවේ තමයි අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථා කිහිපයකදී අගමැති ධුරය හිමි වුවත් ඔහුට එම ධුරය රඳවා ගන්න බැරි වෙනවා. ඔහුගේ විදේශ ගැති, අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා තමයි එහෙම වුණේ. පසුගිය කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහට විශ්වාසභංගයක් ඉදිරිපත් වුණා. එකෙදි මන්ත්‍රිවරුන්ට ඉතා ඉහළ මිලක් නියම වුණා. එත් රට ගැන හිතා කුණු කොල්ලයට විකිණෙන්න එපා කියලා මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මාගල්කන්දේ සුදත්ත හිමි: පසුගිය යහපාලන ආණ්ඩුව භික්‍ෂුන් සිරගත කළා. අදටත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරබත් වළඳනවා. ඒ වගේම ජීවිත පූජාවෙන් ලබා ගත් යුද ජයග්‍රහණය අවතක්සේරු කළා. මෙවැනි අවස්ථාවක ජනාධිපතිතුමා ගත් තීන්දුවට එතුමාට අපි පින් දෙනවා.

අද අරලියගහ මන්දිරයේ පිරිත් කියනවා. හාමුදුරුවන්ටත් අපි කියනවා පිරිත අවභාවිත කරන්න එපා කියලා.

රනිල් හාමුදුරුවන් පාවිච්චි කරන්නේ කපටි කමට පමණයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරණය කෙරෙන සරත්ෆොන්සේකා සහ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම ජාතික සම්පත් විකුණපු සියලු දෙනාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුව පවතිනවා.

හම්බන්තොට වරාය නැවත පවරා ගෙන ජාතික සම්පතක් බවට පත් කළ යුතුයි. ඒත් එදා සිටි මහින්ද සමරසිංහ අදත් වරාය ඇමැති ධුරය දරනවා. ඒක මේ ආණ්ඩුවෙන් සිදු වන්නේ කෙසේදැයි අපට ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ වගේම ජනාධිපතිතුමා ඍජු තීරණයක් ගෙන රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ඍජු තීරණයක් ගත්තා. ඒ වගේම අසාධාරණ ලෙස සිරගත කොට සිටින ඥානසාර හාමුදුරුවෝ නිදහස් කිරීමට තීරණයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress