ජනපතිගේ තීරණය ප්‍රශ්න කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නෑ
Posted on November 5th, 2018

සටහන – ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

ප්‍රගතිශීලී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව නව අගමැතිවරයා පත් කිරීම සහ හිටපු අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවැරී තිබෙන බලතල පිළිබඳ ඊයේ (04දා) අගමැති කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එහිදී ඒ පිළිබඳව විග්‍රහ කරමින් විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ වැඩබලන පීඨාධිපති නීතිඥ රාජා ගුණරත්න පැවැත් වූ දේශනය.

මේ වන විට මේ රටේ මතු වී තිබෙන ප්‍රශ්නය ජාත්‍යන්තරයේ කෘත්‍රිම ප්‍රශ්නයක් බවට මතු කරමින් තිබෙනවා. මෙහි සත්‍ය වශයෙන්ම ප්‍රශ්නයක් තිබෙනවාද? ලෝකයේ සෑම රටකම නීති පද්ධතිය තුළ, ශිෂ්ට සම්පන්න නීති පද්ධතියක් තිබෙන සෑම රටකම සංකල්පය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික නීතිය යන්න. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය පාලනයේ ප්‍රධාන නියමුවන් වන්නේ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍යයේ නායකයා වන්නේ ජනාධිපතිවරයා. කැබිනට් මණ්ඩලයේ නායකයා වන්නේත් ජනාධිපතිවරයා. සේනාධිනායකයා වන්නෙත් ජනාධිපතිවරයා.

එපමණක් නොවෙයි කැබිනට් මණ්ඩලයේ විෂයයන් වෙනස් කිරීමට ජනාධිපතිවරයාට හැකියි. විෂයයන් සංඛ්‍යාව එකතු කිරීමට, වැඩි කිරීමට ජනාධිපතිවරයාට හැකියි. පාර්ලිමේන්තුව ඕනෑම වේලාවක කැඳවීමට, ඒ වගේම සභාවාර කල් තැබීමට, විසුරුවා හැරීමට බලය ඔහුට තිබෙනවා.

මේ යනාදී සියලු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. මෙය මෙසේ නොවනවා කියලා කවුරු හරි කියනවා නම් අපි අභියෝග කරනවා එය වැරැදි බවට. මේ සියලු කාරණාවලින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර තිබෙන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස සියලු බලතල සංකේන්ද්‍රණය වූ ධුරයක් ලෙස.

එහෙම නම් ජනාධිපතිවරයා කරපු කාර්යය විමසා බලමු. ජනාධිපතිවරයා තමාගේ බලතල ක්‍රියාත්මක කරලා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(4) වගන්තියට අනුව හිටපු අගමැතිවරයා ඉවත් කරලා නව අගමැතිවරයකු පත් කළා. මේ සඳහා තිබෙන ප්‍රතිපාදනය වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දක්වනවා පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයාගේ මතය අනුව ඔහු සිතන පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කළ හැකි බව. මෙහි නිර්ණායක දෙකක් තිබෙනවා. එකක් තමයි මනෝමූලික නිර්ණායකය. අනෙක තමයි විෂය මූලික නිර්ණායකය.

මනෝ මූලික නිර්ණායකය කියන්නේ ජනාධිපතිවරයාගේ මතය. එය අගමැතිවරයාගේ හෝ කථානායකවරයාගේ හෝ මැති ඇමැතිවරුන්ගේ මතය නොවෙයි. මෙය ඉතාමත් පිරිසිදු මනෝ මූලික කාරණයක්. ජනාධිපතිවරයාගේ මනෝමූලික මතය විෂය මූලිකව සාධනය විය යුතුයි. හැබැයි මොනවද මේ විෂය මූලිකව සාධනය වන කරුණු.

හිටපු අගමැතිවරයා විසින් මේ රාජ්‍ය පාලනය කරගෙන ගිය ආකාරය, ආර්ථිකය මෙහෙයවූ ආකාරය, මුල්‍ය තත්ත්වය මෙහෙය වූ ආකාරය, පාර්ලිමේන්තුවේ සාමූහික බව රැකපු ආකාරය, ඒ වගේම විශේෂයෙන්ම අවසානයේ පදනම් වූ කාරණය තමයි ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණයේදී අල්ලා ගත් සැකකරුවන් කළ ප්‍රකාශ. මේ වාස්තවික විෂය මූලික කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා මේ අගමැතිවරයා තනතුරෙන් ඉවත් කළ යුතුයි කියලා. ඒ තීරණය කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්න බලය නැහැ. එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි.

නව අගමැතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියත් ජනාධිපතිවරයා සිදුකරන්නේ ඉහත සඳහන් නිර්ණායක මත. එතැනදී දැනට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කවුද කියන එක තීරණය කළේ, ඒ වන විට එක්සත් ජාතික පෙරමුණෙන් එ.ජ.නි.ස. ඉවත් වෙනවා. එවිට ජාතික ආණ්ඩු සංකල්ප නැති වෙනවා. ඒ වගේම ඉතුරු වන්නේ තනි පක්‍ෂයක් හැටියට එ.ජා.ප.ය පමණයි. ඒ සංඛ්‍යාවට වඩා අනෙක් කණ්ඩායමේ සංඛ්‍යාව 95ක් දක්වා වැඩි වුණා. ඒ අවස්ථාවේදී උපරිම විශ්වාසය තිබෙන තනි කණ්ඩායම හැටියට සිටින ඒ වන විට මන්ත්‍රිවරයක්ව හිටපු මේ රටේ 05 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ලෙස පත් වුණා.

මේ තත්ත්වය ප්‍රශ්න කරන්න අභියෝග කරන්න ඒ කිසිවකුට බලය නැහැ. මෙවැනි තත්ත්වයන් ලෝකයේ රටවල්වල ඇති වෙලා තිබෙනවා. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයට අනුව මේකට කියන්නේ “කේ‍රාස් ද ෆ්ලෝ” කියලා. මෙය අතිශයින්ම නෛතික සංකල්පයක්. තමන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂය අතහැර අනෙක් පක්‍ෂයට එකතු වෙලා පාර්ලිමේන්තුවේ විශ්වාසය වැඩි කණ්ඩායමක් ගොඩනඟලා ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීම අතිශයින්ම නෛතිකයි.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව විප්ලවයක්. මේක කිසිම රාජ්‍යයකට, කිසිම නීතිවේදියකුට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා කියන්න බෑ. අපි ලෑස්තියි ඒ අභියෝගය භාර ගැනීමට.
කථානායකවරයා කියන්නේ මන්ත්‍රිවරයෙක් පමණයි. හැබැයි පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී සියලු දෙනා ඒකමතිකව තෝරාගන්නවා මෙයා තමයි කථානායක කියලා. පත් වුණ ගමන් කථානායකවරයා නිර්පාක්‍ෂික භාවයෙන් කටයුතු කරනවා. ඔහුගේ මූලික කාරණය තමයි පාර්ලිමේන්තු කටයුතු නිර්පාක්‍ෂිකව මෙහෙයවීම. එම මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීති පද්ධතියක් තිබෙනවා. එම ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කාලය ලබා දීලා, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්‍ෂා කරමින්, විවාද සඳහා කාලය ලබා දෙමින් කටයුතු කළ යුතුයි.

මේ කටයුත්තේදී ලංකාවේ මෙතෙක් හිටපු ශේ‍ර්ෂ්ඨ කථානායකවරුන්ගේ ක්‍රියාදාමය පූර්වාදර්ශයක් ඇති කළා. අනුර බණ්ඩාරනායක මහතා ඉතාමත් නිර්පාක්‍ෂික ලෙස නියෝග ලබා දුන්නා. නමුත් මේ කථානායකවරයාගේ ක්‍රියාකලාපය ගෙන බැලූ විට ඔහු නිර්පාක්‍ෂිකයකුද කියන කාරණයේදී විශාල ප්‍රශ්නාර්ථය මතු වෙනවා. ඔහු සනාථ කරනවා නිර්පාක්‍ෂික නැති බව. ඒ ඔහු පාර්ලිමේන්තුව කැඳවිමෙන්. ඉන් මන්ත්‍රිවරුන්ට ප්‍රශ්නයක් මතු වෙනවා මේ අවස්ථාවේදී කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තුව කැඳවීම සඳහා මේ අවස්ථාවේ කථානායකවරයාට කිසිම බලයක් නැහැ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි වගන්තියේ පළමු වගන්තිය මඟින් ඉතා පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුව කැඳවීමේ, නැවත කැඳවීමේ සභාවාර කල් තැබීමේ හෝ විසුරුවා හැරීමේ බල ජනාධිපතිවරයාට ඇත. එය කිරීමට ජනාධිපතිවරයා, කථානායකවරයාගේ මතය විමසීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ.

ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට 50 වතාවක් කල් දමලා තිබෙනවා. ඒ කිසිදු අවස්ථාවක මේ කථානායකවරයා කළා වගේ පාර්ලිමේන්තුවේ ‍ෙදාර ඇරලා දුන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එලෙස සිදුකරන්නේ නැහැ. පාර්ලිමේන්තුවක් සභාවාරය අවසන් කළාට පසුව එතෙක් පැවැති සියලුම කටයුතු නැවැත්වෙනවා. කිසිම කමිටුවක් පාර්ලිමේන්තුවට රැස්කරන්න බැහැ වාර අවසාන කළාට පසුව කථානායකවරයාට.

එපමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්යභාරයක් තිබෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තමයි පාර්ලිමේන්තුවේ කාර්යාවලියේ ලිපි කටයුතු කිරීම, පාර්ලිමේන්තුවේ භාරකරු වශයෙන් ක්‍රියා කරන්නේ. වාර අවසාන කරලා තියෙන වෙලාවක පාර්ලිමේන්තුවට රැස්වීමට කිසිදු පුද්ගලයකු ක්‍රියා නොකළ යුතුයි. එය නීති විරෝධී ක්‍රියාවක්.

මේ රටේ පුරවැසියන්ට අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ගයකට යෑමට.

මේ රටේ ජනතාවට අපි කියනවා විශ්වාසය තබන්න නොමඟ යැවීම් කරන්න එපා කියලා. එ.ජා.ප.යෙන් ඉල්ලා සිටිනවා, හිටපු අගමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංස්කෘතියේ අවම නිර්ණායකයවත් පිළිගන්නවා නම් මේ ක්‍රියාදාමය විකෘතිකරණයට ලක් නොකර ඊට අනුගත වන ලෙස.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress