අගමැතිවරයා පත්කරන්න 113ක් අවශ්‍ය නෑ
Posted on November 7th, 2018

උපුටාගැණීම  මව්බිම

රට දේශපාලන වශයෙන් ව්‍යාකූලත්වයට පත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හේතුවී ඇති බවට සංවාද සිදුවෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක බලතල සහිත ජනාධිපතිවරයකුගෙන් යුතු එකක්. ජාතික පරමාධිපත්‍යය ඍජු ලෙසම නියෝජනය කළේ විධායකය විසින්. එහි විධායකය ගැන කියන 8 පරිච්ඡේදයේ අනුව ඕනෑම වේලාවක හේතුවක් දක්වන්නේ නැතිව අගමැති ඉවත් කරන්න ජනාධිපතිට බලයක් තිබුණා. අමාත්‍ය මණ්ඩලය තිබෙන තාක්කල් අගමැති එම ධුරය දරනවා. නමුත් ඉල්ලා අස්වුණොත් මන්ත්‍රිකම නැති වුණොත් හෝ ජනාධිපති විසින් ඉවත් කළොත් එම ධුරය දරන්නෙ නැහැ.

ඒත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරන අවස්ථාවේදී එය සකස් කළ අය වංචාවක් කළා. විධායකය අහෝසි කරන්නට කිව්වා නම් ශේ්‍රෂ්ඨාධිකරණය කියනවා 2/3 ඡන්දයෙනුත්, ජනමත විචාරණයකිනුත් සම්මත කළ යුතුයි කියලා. ඒ නිසා එම පරිච්ඡේදය වෙනුවට 19 සංශෝධනයට අලුත් පරිච්ඡේදයක් දමා ගත්තා. එතකොට උසාවියේදී කතා කරන්නෙ අලුත් පරිච්ඡේදය ගැන විතරයි. උසාවියටත් මන්ත්‍රිවරුන්ටත් කලින් තිබුණු එක පේන්නෙ නැහැ.

එතකොට ඒක විධායකය මඟින් අගමැති ඉවත් කරන ආකාරය ඉවත් කිරීමද වංචාවක් කළා කියන්නේ?

ඒක නොකළ යුතු වරදක්. 19 සංශෝධන කෙටුම්පත ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාම වගන්ති 6ක් ව්‍යවස්ථාවට පටහැනි නිසා ඒවාට ජනමත විචාරණයක් අවශ්‍ය බව කිව්වා. නමුත් ඒ වන විට මේ වැදගත්ම වගන්තිය එම කෙටුම්පත මඟින් ඉදිරිපත් කර තිබුණෙ නැහැ. ඒක ඇතුළු කළා නම් ශේ්‍රෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙම වුණා නම් වංචා සහගත ලෙස 19 සංශෝධනය කළ නොහැකි වෙනවා.
ඒ වගේම 19 සංශෝධනය 46 වගන්තියේ අග්‍රාමාත්‍යවරයා, ඉල්ලා අස්වුවහොත් හෝ මන්ත්‍රි ධුරය අහිමි වුවහොත් වශයෙන් සඳහන් කරලා ඇමැති මණ්ඩලය පවතින තාක්කල් අගමැති සිටින බවට කාරක සභාව පවතින තාක්කල් අගමැති ඉන්න බව කියා සිටියා.

ජනාධිපතිට අභිමතය පරිදි අගමැති ඉවත් කරන්න තිබූ ඍජු බලතල ඉතා සූක්‍ෂ්මව ඉවත් කළා. උසාවියෙත්, ජනතාවගෙත් පාර්ලිමේන්තුවෙත් ඇස් වහලා තමයි ඒ තක්කඩි වැඩේ කරලා තියෙන්නේ. එහෙත් කෙටුම්පතේ තිබුණා නම් අපි ඒක අභියෝගයකට ලක් කරනවා. ඒත් කාරක සභා අවස්ථාවේ කළ වංචාව නිසා එවැනි අවස්ථාවක් නැතිවුණා. ජයම්පති වික්‍රමරත්නල කරපු හපන්කම් තමයි ඒවා.

ඒ වගේම ලෝකෙට කිව්වා විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට යටත් කළා කියලා. ඒත් ඒක පට්ටපල් බොරුවක්. 19 සංශෝධනයට 33 ‘ආ’කියලා නව වගන්තියක් ගෙනාවා. ‘මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් ලෝකයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේද ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය’ මේක තක්කඩි වැඩක්. මේ වගන්තිය 9 පරිච්ඡේදයේ 42 වගන්තියේ තිබුණා. එතැනින් ඉවත් කර වෙන තැනකට ගෙන ලෝකයට පෙන්නුවා විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට යටත් කළා කියලා. මේකත් තවත් තක්කඩි වැඩක්.

එමඟින් අගමැති ඉවත් කිරීමේ බලතල ජනාධිපතිගෙන් ඉවත්වී තිබේද?

එහෙම ඉවත් වෙලා නැහැ. 19 හදපු අයට වැරැදීමකින් වෙන්න ඇති එසේ වෙලා තියෙන්නේ. නැත්නම් ඒ වචන කිහිපය ඉවත් කරනවා. 48(1) තුළ ‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට… යනුවෙන් සඳහන් වෙනවා. මේක ඉංගී්‍රසි පිටපතෙහි තිබෙන්නේ ඡර ඤඥචබඩ (අභාවය) කියලා. ඒත් සිංහල පිටපතෙහි පැහැදිලිවම තියෙනවා ධුරයෙන් ඉවත් කරනු ලැබුවොත් කියලා.

ඒ අනුව ජනාධිපතිගේ විධායක බලය පැහැදිලිවම ඉතිරි වෙලා තියෙනවා. ඒත් පිරිසක් තර්ක කරනවා කැබිනට් මණ්ඩලය විසිරුණාම තමයි එහෙම වෙන්නෙ කියලා. ඒත් සමස්තයක් ලෙස සලකන කල විධායක බලතල සහිත ව්‍යවස්ථාවක්. ඒ බලය ජනාධිපතිවරයා විසින් තමයි ක්‍රියාත්මක කරන්නෙ. ව්‍යවස්ථාවේ 4 (ආ) වගන්තියේ පැහැදිලිවම කියනවා ‘රටේ ආරක්‍ෂාව ඇතුළු විධායක බලය ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය’ කියලා. ඒ වගේම 19 ව්‍යවස්ථාවේ 33 වගන්තියෙ හි තියෙනවා ‘රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියාද ජනාධිපති වන්නේය’ කියලා. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති නෙවෙයි. අගමැතිට විශේෂ බලයක් තියෙනවා කියලා කිසිම තැනක සඳහනක් නැහැ.

ඊළඟට ‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුත්තේය’ කියලා සඳහන් වෙනවා. පක්‍ෂ නායකයා ලෙස වෙන කෙනෙක් සිටියත් ජනාධිපතිට අවශ්‍ය කෙනා පත් කළ හැකියි. ඒ බලතල පාවිච්චි කරලා ජනාධිපතිට ඕන අයෙක් පත්කළ හැකියි.

ඒත් ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තවමත් පවතින බවට අදහසක් පවතිනවා?

කැබිනට් මණ්ඩලය හැදුවේ ජාතික ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් ලෙසයි. කැබිනට් ඇමැතිවරු 48ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 45 දෙනකු සිටිනවා. එක් පාර්ශ්වයක් ඉවත් වෙනකොට එම කැබිනට් මණ්ඩලය අවසන් වෙනවා. එතකොට අගමැතිත් ඉබේම අහෝසි වෙනවා. අමුතුවෙන් අස් කරන්න දෙයකුත් නැහැ.

නමුත් ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ අනුව බොහොම පැහැදිලියි මේ ඉවත් කිරීමත් පත් කිරීමත් දෙකම ව්‍යවස්ථානුකූලයි. මම දැක්කා ජයම්පති වික්‍රමරත්න මහත්තයා කියා තිබෙනවා සන්ධානය ඉවත් වුණත් මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රිවරයකු ඉන්නව කියලා. ඒක විකාර තර්කයක්. එක්කෙනෙක් හිටිය කියලා ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. ඇමැති මණ්ඩලයේ පදනම තමයි ජාතික ආණ්ඩුව, පදනම බිඳ වැටුණම ජාතික ආණ්ඩුවක් ඉතිරි වෙන්නෙ නැහැනෙ. අවුරුදු 2කට ගිවිසුම් අස්සන් කරලා නීති විරෝධීව තමයි එම ජාතික ආණ්ඩුව ඇදගෙන ගියේ.

පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මන්ත්‍රිවරු 118ක් අස්සන් කරලා කථානායකගෙන් ඉල්ලා තිබෙනවා. ඒක කළ හැකිද?

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හා කැඳවීම ජනාධිපති සතුයි. නීතිපතිත් ඒක දැනුම් දී තිබෙනවා. ඒ නිසා කථානායකට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බැහැ.

රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ගේන්න මන්ත්‍රිවරුන්ට හැකිද?

එහෙම කරන්න බැහැ. නමුත් ජනාධිපතිතුමාට ලිපියක් භාර දෙන්න පුළුවන් මෙයාට තමයි වැඩි දෙනෙක් කැමැති කියලා.

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් තිබේද?

19 ව්‍යවස්ථාවේ 17 (1) මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් කියා තිබුණත්, පාර්ලිමේන්තුව විසින් එහි නොසිටි මන්ත්‍රිවරුන්ද ඇතුළුව මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාවෙන් 2/3ට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් ඉල්ලීමක් නොකළොත් අවුරුදු හතර හමාරක් යනතුරු කළ නොහැකි බවයි සඳහන් වෙන්නේ. මේක 19 සංශෝධනයෙන් කොට තිබෙන බොරුවක් ලෙසයි මම දකින්නේ. ජනතාවට එම ආණ්ඩුව එපා නම් වෙන ආණ්ඩුවක් පත් කිරීමට තිබෙන අයිතිය අහෝසි කිරීම සාධාරණ නැහැ. ජනතාවගේ බලය තමයි මේ උදුරාගෙන තිබෙන්නේ. ජනාධිපතිගේ බලතල උදුරා ගන්න ගමන් පරමාධිපත්‍යයත් කොල්ලකා තිබෙනවා.

අය-වැය පරාජයට පත්වුවහොත් එම ආණ්ඩුව පවත්වාගෙන යා හැකිද?

එහෙම වුණොත් අගමැති අයින් වෙලා අලුත් අගමැති කෙනෙක් පත්වෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයකුත් පත්වෙනවා. සාමාන්‍යයෙන් මතයක් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. ඒත් ඒක තීන්දු කරන්න ඕන ශේ්‍රෂ්ඨාධිකරණයයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිගේ කාර්යභාරයක් නිසා ඒක ශේ්‍රෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කළ හැකිද?

ව්‍යවස්ථාවට පටහැනිව කරනවා නම් පුළුවන්. ජනාධිපතිතුමා කටයුතු කළ යුත්තෙත් ව්‍යවස්ථාවට අනුකූල ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා බහුතරය ගැන කතා කරනවා. ඔහුට මැතිවරණයෙන් ලැබුණේ 106යි. ජනාධිපතිතුමා තමයි ඔහු අගමැති කළේ. ඒත් 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන් ඔහුට ජනමතයක් නැහැ කියලා තහවුරු වුණා. සියයට 32.1%යි ඡන්ද ලැබුණේ.

මේ අවස්ථාවේ තානාපතිවරුන්ගේ කාර්ය භාරය නීත්‍යනුකූලද?

තානාපතිවරුන් කැඳවීමත්, තානාපතිවරුන් පැමිණීමත් වැරැදියි. ඔවුන්ට මෙවැනි අවස්ථාවක එක පැත්තකට පක්‍ෂව කතා කරන්න බැහැ. ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම ජාත්‍යන්තර ප්‍රඥප්ති උල්ලංඝනය කිරීමක්.

19 වැනි සංශෝධනයේ වැරැදි නිවැරැදි කරගත හැකිද?

කෝටි 130ක් ඉන්න චීනයේ ඇමැතිවරු 30ට අඩුයි. මෙහේ 48යි. අනෙක එක පවුලක් ඉලක්ක කරලයි මේක ඇති කළේ.

ඒ වගේම අද තිබෙන ව්‍යාකූලතා ඇති නොවන පරිදි එය නිවැරැදි කළ යුතුයි සියලු දෙනාම එක්වෙලා.

පාර්ලිමේන්තුවේ බලය පෙන්වනතුරු පෙර පැවැති තත්ත්වය පිළිගන්නා බව කථානායකතුමා නිවේදනය කරනවා?

එයාට දැන් එජාපයේ විධායක සභාව වගේ ක්‍රියා කරන්න බැහැ. කථානායක ලෙසයි කටයුතු කළ යුත්තේ.

රාජාසන කතාව ලබන 14දා ජනාධිපති විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි. එය පරාජය වුණොත් ඇති වන තත්ත්වය කුමක්ද?

රාජාසන කතාව කියන්නෙ පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්තිනෙ. ඒක පරාජයට පත් වුණොත් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය අයින් වෙන්න ඕන. අය-වැය පරාජයට පත් වුණත් එහෙමයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න පුළුවන්ද තවදුරටත් මම අගමැති කියලා?

ඔහු ඉවත් කරලා අවසන්. එහෙම කියන එක වැරැදියි.

මොකක්ද මේ 113 ගැන උනන්දුව?

අගමැති පත් කරන්න 113ක් අවශ්‍ය නැහැ. ඒත් අය-වැයේදී අවශ්‍යයි. නැත්නම් ආණ්ඩුව පවත්වාගෙන යන්න මුදල් නැහැ. අනෙක් අතට රාජාසන කතාව ජය ගන්නත් ඕන. ඒවට තමයි 113 අවශ්‍ය වෙන්නෙ.

සංලාපය: දෙනගම ධම්මික රණවීර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress