කතානායකට ජනපති බලතල ඉක්මවන්න බෑ -හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා
Posted on November 7th, 2018

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක කථානායක කරු ජයසූරිය මහතා නිවේදන නිකුත් කිරීමෙන් ලංකා පාර්ලිමේන්තු ක්‍රමයම බරපතළ අර්බුදයකට ලක්වන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය. කථානායකවරයාට කිසිසේත්ම ජනාධිපතිවරයාගේ බලතල ඉක්මවා කටයුතු කිරීමට නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී කථානායකවරයාට තියෙන්නේ එකම එක භූමිකාවයි. ඒ පාර්ලිමේන්තුව රැස් වන වෙලාවෙදී මුලසුන දැරීම පමණයි. කථානායක කළ යුත්තේ දෙපැත්තටම නැතිව ස්වාධීන වී මුලසුන දැරීම පමණයි. නැත්නම් නියෝජ්‍ය කථානායක මැතිසබයේ මුලසුන හොබවනවා.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබෙන අවස්ථාවක ක්‍රියා කරන්න කථානායකට කිසිම පදනමක් නැහැ. කථානායක යම් කිසි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකගෙන් ලියුම් ගත්තා නම් ඒ අරගෙන තියෙන්නේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරපු අවස්ථාවක. පාර්ලිමේන්තු සැසිය නැති අවස්ථාවකදී එහෙම කරන්න බැහැ. ඊට නීතිය අනුව කිසිදු පිළිගැනීමක් නැහැ. ඒ මත නිවේදන නිකුත් කිරීමට පටන් ගත්තොත් කථානායකට තියෙන ස්වාධීන තත්ත්වය නැති වෙනවා.

කථානායකට ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු බලයක් නැහැ. අඩුම තරමේ කථානායක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකුවත් නොවේ. ආණ්ඩු පිහිටුවීමේ බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ ජනාධිපතිතුමාට.

මම අර ආණ්ඩුව පිළිගන්නවා, මේ ආණ්ඩුව පිළිගන්නවා කියලා කථානායකට කියන්න බැහැ. ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රිවරයකුට ජනාධිපතිවරයාගේ බලතල ඉක්මවා යන්න බැහැ. එහෙම කරන්න බැහැ. එය නීති විරෝධීයි. එහෙම කළොත් නොයෙක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම කළොත් කථානායකගේ ස්වාධීනකම දැඩි අභියෝගයකට ලක්වෙනවා. අපේ පාර්ලිමේන්තු ක්‍රමයටම මේක කැළලක් වෙනවා.

හෘද සාක්ෂිය අනුව ක්‍රියා කරනවා කියලා කරු ජයසූරිය කථානායකවරයා කියනවා. මේක හෘද සාක්ෂිය අනුව ක්‍රියා කිරීමට වඩා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට අනුව ක්‍රියා කිරීමක් බව පැහැදිලි වෙනවා.

කථානායක විනිසුරුවරයකු වගෙයි. මැච් එක ගහනකොට විතරයි අම්පයර්ගේ භූමිකාව තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල්දාලා. එතකොට මැච් එක ගහන්නේ නැහැ. මැච් එක ගහන්න එක පැත්තක ක්‍රීඩකයන් නැති වෙලාවේ අනෙක් පැත්තේ ක්‍රීඩකයන්ගෙන් විතරක් අහලා කථානායකට ප්‍රකාශ නිකුත් කරන්න ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්න බැහැ.

කථානායක ධුරය කියන්නේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් උපුටා ගත්තු ආයතනයක්. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායක කවදාවත් කියලා නැහැ මං අර ආණ්ඩුව පිළිගන්නවා, මේ ආණ්ඩුව පිළිගන්නවා කියලා. මහ රැජනගෙ විධායක බලය ඉහළයි. එම විධායක බලය තමයි ජනාධිපති ක්‍රියාත්මක කරන්නේ.

හෘද සාක්ෂිය අනුව ක්‍රියා කළා කියලා කරු ජයසූරිය කථානායකවරයා ප්‍රකාශ කරලා තියෙනවා. හෘද සාක්ෂිය අනුව නොයෙක් නොයෙක් අවස්ථාවල කරු ජයසූරිය මහතා ක්‍රියා කර තිබෙනවා. එක පාරක් හෘද සාක්ෂිය අනුව එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආවා. ඇවිල්ලා ඇමැති ධුරයක් ගත්තා. ආපහු හෘද සාක්ෂිය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට එක්සත් ජාතික පක්ෂයට ගියා. ඔය විවිධ දේවල් පාර්ලිමේන්තුවේදීත් වෙනවා. හෘද සාක්ෂිය කියන එක වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්.

ඒක නිසා මේ වගේ ප්‍රකාශ නිකුත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීතියෙන් හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිම අවකාශයක් නැහැයිද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress