මහ බැංකුව කඩපු හොරුන්ව රැක්ක රනිල් අගමැති ධුරයට සුදුසු නෑ
Posted on November 7th, 2018

මතුගම – වසන්ත කුමාර උපුටාගැණීම  මව්බිම

“සිරිසේන ජනාධිපතිතුමා හදලා තියෙන්නේ නිශාචර කැබිනට් එකක්. මේ දිවුරුම් දීලා තියෙන ඇමැති ලැයිස්තුවෙන් දවල් කාලෙ දිවුරුම්දීලා ඉන්නෙ ෆවුසි ඇමැතිතුමා විතරයි. මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ඉඳලා එක්සත් ජාතික පක්ෂයෙන් බාගත්ත අශෝක ප්‍රියන්ත දක්වා අනෙක් සියලු දෙනා දිවුරුම් දුන්නෙ හඳපානේ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.

පළාත් පාලන ආයතන නියෝජිත පිරිසක් අමතමින් හොරණ පැවැති රැස්වීමකදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ කීවේය.

රෑට, රෑට හොරෙන්, හොරෙන් එකා දෙන්න දිවුරුම් දීලා හදන ඇමැති මණ්ඩලය මොකක්ද? 2015 ජනාධිපතිවරණයට කලින් සිරිසේන මහත්තය කිව්වෙ “රටකට ඕනෑ අපමණ අගයක්, ඒකට ඕනෑ මෛත්‍රි යුගයක්” කියලායි. ඊට පසුව අවුරුදු හතරක් යන කොට දැන් අපට කියන්න වෙලා තියෙන්නෙ” “මන්ත්‍රි කෙනකුට අපමණ අගයක්. ඒකට ඕනෑ මෛත්‍රි යුගයක්” කියන්නයි.

රටක ඉදිරි ගමනේ සුක්කානම දේශපාලනයයි. ආර්ථික, සමාජ, ක්‍රීඩා, සෞඛ්‍ය, විද්‍යාව, තාක්ෂණය මේ ආදී සෑම ක්ෂේත්‍රයකම ගමන් මඟ තීරණය කරන්නෙ දේශපාලනයයි. මේ දේශපාලනය කරන පිරිසට බලය ලබාදෙන්නෙ ජනතාවයි. මැතිවරණවලදී තමන් සතු පරමාධිපත්‍ය බලය තමන්ගෙ නියෝජිතයන් අතට පත් කරන්නෙ ජනතාවයි. ඉතිරිය කුඩා ඉරි කෑලි දෙකක් වුණාට එමඟින් පවරන පරමාධිපත්‍ය ඉතා විශාල එකක්. අනුලංඝනීය බලයක් එමඟින් ලැබෙනවා. ඒ නිසා මන්ත්‍රිවරු ජනතා නියෝජිතයන් වෙනවා. ජනතා නියෝජිතයන් මඟින් නිරූපණය වෙන්නෙ ජනතාවයි. පාර්ලිමේන්තුවට අරගෙන යන්නෙ අපට කතිරය ගහපු ජනතාවගේ හෘද සාක්ෂියයි.

රුපියල් කෝටි පනහට – හැටට එහෙට මෙහෙට පනින මන්ත්‍රිවරුන්ගෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙනවාද කියන එක ප්‍රශ්නයක්. විධායක ඔටුන්න බිම තියන්නම්, අලුත් ඡන්ද ක්‍රමයක් ගේන්නම්, අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්නම් කියල ආව සිරිසේන මහත්තයා ඉඳිවල්ල පොළොවෙ ගැහුව වගේ රටේ මිනිසුන්ගෙ බලාපොරොත්තු සීසීකඩ වීසි කළා. එදා රාජපක්ෂ භීෂණයට මුහුණ දෙමින් ආණ්ඩුව පරාජය කරන්න කටයුතු කළ ජීවිතවලට වග කියන්න සිරිසේන මහතා සූදානම්ද? 2014 නොවැම්බර් වෙනකොටත් රටේ ජනතාවට තිබුණු දැවැන්ත රාජපක්ෂ විරෝධය සිරිසේන මහත්තයාට තිබුණෙ නැහැ. ඔහුට තිබුණෙ තමන්ට අගමැතිකම නොලැබීමේ ප්‍රශ්නය පමණයි. අද මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට තියෙන්නෙ ඊළඟ ජනාධිපති අපේක්ෂක කම ගැනීමේ ප්‍රශ්නයයි.

තමන්ගෙ බල වුවමනාව වෙනුවෙන් ලක්ෂ ගාණකගේ ජනවරමට පස්ස හරවන්න පුළුවන් අය රටක නායකයා නෙමෙයි. මිනිස්සු හැටියටත් ඒ අයට සලකන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වෙන්නෙ මේ දේශපාලන කුමන්ත්‍රණයට හා මේ ජඩ දේශපාලන සංස්කෘතියටයි. විධායක ජනාධිපති කමේ තියෙන කැතම කැත බලතල පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාර විරෝධී, ව්‍යවස්ථා විරෝධී ලෙස වැඩ කරන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ අගමැතිකම ගැන ප්‍රශ්නයක් නොවෙයි. ඔහු කළ දේවල්වල හැටියට රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමේ සිටිය යුතු අයකු නෙමෙයි. හොරු ආරක්ෂා කළා.

මහ බැංකුව බිඳින්න මුල්වූ, හම්බන්තොට වරාය විකණ­ූ, ජනතාව මත අධික බදු බර පැටවූ වික්‍රමසිංහ මහතා ගෙදර යා යුතුමයි. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් ඒක සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ව්‍යවස්ථාවට අනුකූලවයි.

හෙට දවස වනවිට මෛත්‍රි – මහින්ද දීගය අවසන් වෙලා සිරිසේන ජනාධිපතිවරයා අගමැතිකමට වෙන කෙනකු පත් කළොත් අද කෑගහන රාජපක්ෂ හිතවාදීන් මොකද කියන්නෙ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එහෙම කරන්න බැරි කෙනකු නොවෙයි.

පොහොට්ටුවෙ කට්ටිය තමන්ගෙ පින්තූරය කටවුට්වලට නොදා මහින්ද රාජපක්ෂ මහතාගෙ පින්තූරය විතරක් කටවුට්වලට දැම්මොත් ඒ කාරණය වුණත් මහින්දගෙ අගමැතිකම අහවර කරන්න මෛත්‍රිපාල සිරිසේනට හොඳටම ඇති. සිරිසේන ජනාධිපතිවරයාට හුරේදාන, පාර්ලිමේන්තුව වහපු එක පරම ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන දිනේෂ්, වාසු, වීරවංශලාට තරු පේන්නෙ අන්න එදාටයි. ජනතා විමුක්ති පෙරමුණේ සටන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි. රටේ දේශපාලන සදාචාරය වෙනුවෙනුයි. රාජපක්ෂ පරාජය කරන්න ඡන්දය දීපු ලක්ෂ 62ක ජනතාව වෙනුවෙන් පමණක් නොව රාජපක්ෂට ඡන්දය දීපු ලක්ෂ 58 ඇතුළු කෝටියකට අධික ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි.

මතුගම – වසන්ත කුමාර

2 Responses to “මහ බැංකුව කඩපු හොරුන්ව රැක්ක රනිල් අගමැති ධුරයට සුදුසු නෑ”

  1. Christie Says:

    What about Sirisena who appointed Mahendran?

  2. Christie Says:

    Jeppos’ want to be the administrators of the Sinhala areas and we will be another Cambodia; they will only kill Sinhalese as they have done before.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress