කථානායක තුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අගමැති 113 පෙන්වීම අවශ්‍ය නැහැ
Posted on November 9th, 2018

සටහන : හර්ෂ කුමාර් සුරියආරච්චි

කැළබුණු දේශපාලන වාතාවරණයක එක ලිපියක් ලියා පල කිරීමට ප්‍රට්ම තවත් බොහෝ සිද්ධි මතුවේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනපති ට හා අගමැති ට පසුව රටේ ප්‍රධාන පුරවැසියා වන්නේ කථානායක තුමා වේ. එවන් ස්ථානයක් ඔහුට ලැබෙන්නේ ජනතාව විසින් එම තනතුරෙන් විශාල වගකීමක් හා දේශපාලන අපක්ෂපාති හැසිරීමක් බලාපොරොත්තු වන බැවිනි. එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකම සිද්ධාන්තය වන ජන මතය ගරු කිරීම සහ ජන කැළබීම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීම ඔහුගෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව අපේක්ෂා කරන බව එතුමාට රහසක් නොවන බව නිසැකය. විශේෂයෙන්ම රටේ ප්‍රධාන පුරවැසි අනුපිළිවෙලේ දේශපාලන අපක්ෂපාතිත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු ප්‍රධානම පුරවැසියා වන්නේ කථානායක තුමයි.

අගමැති පත්කිරීම මැයෙන් මීට කලින් ලිපියකින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ජනපති තුමා විසින් අගමැති ඉවත් කිරීම සහ පත් කිරීම අතර සම්බන්ධතාවයත් ජනපති තුමාට ඒ සම්බන්ධව ඇති බලතලත් සාකච්ඡා කල අතර මේ ලිපියද ඊට වැඩිමනත්ව වේ. ( http://jayawewa.lk/?p=news&s=political&s=political&id=280 )

එහිදී සදහන් කර ඇති ආකාරයට වර්තමාන ජනාධිපති තුමාව 2015 ජනවාරි මස ජනතාව විසින් මුළු රටම් එක් ඡන්ද කොට්ටාශයක් ලෙස සියළු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදිව, එවකට බලපැවැත්වූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර තමන්ගේ පාලකයා ලෙස පත් කර ගන්නා ලදී. එතෙක් ව්‍යවස්ථානුකුලව ජනතාවට තිබුණු ජනතා පරමාධිපත්‍ය මුලික වන හා එමගින් ලැබුන පාලන බලතල අනුව මෙසේ තම දේශයේ පාලකයාව, විශේෂ  බලතල සහිතව පත් කර ගන්නා ලදී.

ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ප්‍රධාන වන අතර එය වෙනස් කිරීමට කිසිවෙකුට බලයක් නැත. කිසිවෙකු යනුවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කණ්ඩායම් ත්‍රිත්වයම අයත් වේ. එම ආයතන වලට තනි තනිව හෝ එක්ව හෝ ජනතා පරමාධිපත්‍ය වෙනස් කල නොහැක. විශේෂයෙන්ම අඩු කල නොහැක. එවැන්නක් කල හැක්කේ ජනතාවටම පමණි, එයද ජනමත විචාරණයක් මගීනි. අධිකරණය සතුව ඇති බලයක් වන්නේ ව්‍යවස්ථාව හා එමෙන්ම ජනතා පරමාධිපත්‍ය අර්ථ දැක්වීමයි. පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ දැක්වීම අවශ්‍යනම් නොසලකා හැරීය හැකිදැයි නොදනිමි. නමුත් එසේ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී  වීමට ඇති  ඉඩකඩ අල්පය.

කෙසේ නමුදු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ජනතා පරමාධිපත්‍යට හානි කර වුවහොත් හෝ පාර්ලිමේන්තුව විසින් එවැනි තීරණයක් ගතහොත් හෝ ජනතාවට නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ව්‍යවස්ථාවේ සමස්ත අරුත අනුව හැකි වුවත් ඊට ප්‍රථමව ජනාධිපති තුමාට ඊට මැදිහත් විමේ අවස්ථාවක් ජනතා ව විසින් ලබා දී තිබුණි. පාර්ලිමේන්තුව හෝ ආණ්ඩුව විසින් රටට අහිතකර වන තීන්දු ගන්නා විටදී තම ඍජු නියෝජිතයා වන ජනාධිපතිට ක්ෂණිකවම ඊට මැදිහත්වී ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව විසිරවිමේ බලයත්, අගමැති ඉවත් කිරීමේ බලයත් ජනතාව ලබා දී තිබුණි. මෙසේ ක්‍රියාකිරීමට ජනාධිපතිට බලය ලබාදීමට ජනතාවට බලය තිබුණු බැවින්, එම ජනතා පරමාධිපත්‍ය බලය ජනතාවට අහිමි කිරීමට පාර්ලිමේන්තුවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව හැකි වන්නේ ජනමත විචාරණයක් මගින් එය අනුමතවුවහොත් පමණකි. එසේ ජනමත විචාරණයක් පවත්වා නැති අවස්ථාවක අවම වශයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුල ඇති ජනතා පරමාදිපත්‍යට හානි කර වන වගන්ති ව්‍යවස්ථානුකුල නොවේ. 19 වන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තුන්වන වර කියවීමේදී බොහෝ කොටස් එකතු කර ඇති බවත් ඒ කිසිවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර නොතිබූ බව ද අප දනිමු.

අගමැති ඉවත් කිරීම

ජනාධිපති තුමා සිය අත්සනින් ඔක්තෝබර් 26 දින දරන ලිපියකින්  අගමැති තුමා ඉවත් කරන ලදී. ඒ සදහා එතුමාට ජනතාව ලබාදුන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 47 වන වගන්තියෙන් බලතල ඇත.( එම 47 වගන්තිය ලිපිය අවසානයේ  උපුටා දක්වා ඇත). 47 (අ) හි අනුව ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියකින් අගමැති ඉවත් කල හැක

ජනාධිපති තුමාගේ ලිපියෙහි කොටස් දෙකකින් යුත් එක වාක්‍යයකින් හිටපු අගමැති ඉවත් කිරීම දන්වා ඇත. (මෙම ලිපිය මෙහි අවසානයේ උපුටා ඇත). එහි පළමු කොටසින් අගමැති තුමාව පත් කලේ කෙසේද යන්නත්, දෙවෙනි කොටසින්  තමා සතු බලතල අනුව අගමැති ධුරයෙන් ඉවත් කරන  බවත් සදහන්ය. ජනාධිපති තුමා සතු බලතල වන්නේ මෙතෙක් විස්තර කල පරිදි 18 වන ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව 47 වන වගන්තියේ සදහන් බලතලය. පළමු කොටසින් දක්වා ඇත්තේ අගමැති පත් කෙරුනේ 42(4) වගන්තිය අනුව බවය.  එසේ සඳහන් වීම ගැටළුවක් ලෙස දැකිය නොහැක්කේ ජනාධිපති තුමාට අවශ්‍යනම් අඩු බලතල සහිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යට හානියක් නොවන පරිදි භාවිතා කල හැකි බැවිනි. කෙසේ වෙතත් එම කොටසෙන් දක්වා ඇති කරුණ අනුව ජනාධිපති තුමා තමාට ඇති 18 වන සංශෝධනයේහි  බලතල වෙනුවට 19 සංශෝධනයේ බලතල අනුව අගමැති තුමා පත් කිරීම වැරදියයි තර්ක කරන්නේනම් හිටපු අගමැති තුමාගේ පත්වීමම අවලංගු වේ. එවිටද එම ලිපියේ අරමුණ වන අගමැති ධුරයෙන් පහ කිරීම ඉෂ්ට වේ.

ඉහත ලිපියෙන් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථානුකුලව සිදු කර ඇති බැවින් ඉන් අනතුරුව සිදු කල අගමැති පත් කිරීම හා ඇමතිවරුන් පත් කිරීමද නිවැරදි වේ.

113 පෙන්වීම අනවශ්‍ය මෙන්ම බල රහිතද වේ.

19 වන හා 18 වන ව්‍යවස්ථා සංශෝධන දෙකටම අනුව අගමැති පත් කිරීමේ අනිවාර්යය අවශ්‍යතාවක් වන්නේ එසේ පත්වන අගමැති ට පාර්ලිමේන්තුවේ විශ්වාශය තිබෙන බව ජනාධිපති විශ්වාස කිරීමය. ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති එම කාරණයට ගරු කිරීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු සෑම පුරවැසියෙකුගේම ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම හා වගකීම වන්නේය. එය සෑම විදේශීය රාජ්‍යයන්ගේ ද යුතුකම වන්නේය. දැන් ජනාධිපතිතුමා විශ්වාස කරන්නේ පර්ලිමෙන්තුවේ විශ්වාසය ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බවයි.

යම් පාරිලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේ ඇති විශ්වාසය යම් සේද යැයි ව්‍යවස්ථාවට අනුව සහමුලින්ම ජනාධිපතිතුමාගේ පෞද්ගලික අභිමතය අනුව ඇති කර ගත යුතුය. එම විශ්වාසය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගේ  චන්දය පෙන්වීමෙන් ඇති කර ගත යුතු යැයි ව්‍යවස්ථාවේ සදහන් නොවේ. එසේ යුතු ද නොවේ. මක් නිසාද යත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අත් එසෙව්වත් ඒ විශ්වාසය මත පමණක්ම නොව අල්ලස් දීම් බිය වැද්දීම් තනතුරු අහිමි කිරීම් ආදී හේතුන් මත ද විය හැකි බැවිනි.

එවන් වාතාවරණයකින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා ජනතාව විසින් තමන්ම තෝරා පත්කරගත් ජනාධිපතිතුමාට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ව්‍යවස්තනුකුලවම (19 වන ව්‍යවස්ථා සංශෝධනයේත්  ඊට පෙරත්) බලය දී ඇත.

මේ අනුව අළුතින් පත්වන අගමැතිවරයෙකු තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබේයැයි පෙන්වීම අවශ්‍ය නොවන අතරම වෙනත් මන්ත්‍රීවරයෙකු එසේ තමාට බහුතර තිබේයැයි පෙන්වීමෙන් ජනාධිපතිතුමා සිය අභිමතය පරිදි ගොඩනගාගත් විශ්වාසය වෙනස් කර ගත යුතු යැයි ව්‍යවස්ථාවේ සදහන් ද නොවේ. යම් පිරිස් විසින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වීම නිසා හෝ තානාපතිවරුන් කියන නිසා හෝ පිරිස් රැස් කිරීම නිසා හෝ වෙනත්  බලපෑමකින් නිසා හෝ ජනාධිපති තුමා තමාට ජනතාව විසින් පවරා ඇති තම අභිමතය මත කටයුතු කිරීමේ බලය අත් හරින්නේනම් එය ව්‍යවස්ථා විරෝධී වේ.

ජනාධිපතිතුමට ව්‍යවස්ථාව අනුව මෙහිදී පැවරී ඇති ජනතාවගේ  ශුභ සිද්ධිය සදහා තම අභිමතය අනුව කටයුතු කිරීමට ඇති අයිතියට බලපෑම් කිරීමට විදේශීය තානාපතිවරුන් යොදා ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බලපෑම් කිරීම්  තුලින් බහුතරය පෙන්වීමට උත්සාහ කිරීම, පාක්ෂිකයින් රැස්කිරීම ආදී ක්‍රියාවන් ව්‍යවස්ථා විරෝධී යැයි පැහැදිලි වනු ඇත.

මේ අනුව කටයුතු කිරීමෙන්  නොයෙක් අවස්ථාවාදී දේශපාලන පක්ෂ හා එවන් දේශපාලකයන්ගේ අනිසි බලපෑම් වලට යට නොව් කටයුතු කිරීමට සෑම අගමැතිවරයෙකුටම හැකි වනු ඇත.

අප රටට සාමය හා සෞභාග්‍යය උදා වේවා!

සටහන : හර්ෂ කුමාර් සුරියආරච්චි

අගමැති තුමා ඉවත් කරන ලද ලිපිය

http://lankacnews.com/wp-content/uploads/2018/10/4576.jpg

One Response to “කථානායක තුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අගමැති 113 පෙන්වීම අවශ්‍ය නැහැ”

  1. Randeniyage Says:

    ජනතාවගේ ශුභ සිද්ධිය ? my foot !
    Where is the 118 and more you have lied to the country about few days ago ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress