මහා රූස්ස ගසක් කපා දැමීමේ පාපය
Posted on November 10th, 2018

– උඩවත්තගේ ධම්මික (යූ.ඩී.)

දැනට අවුරුදු 35 කට පමණ ඉහත දී එනම්, අපගේ ආතා ජීවතුන් අතර සිටි කාලයේ අක්කරයකට වඩා මඳක් වැඩියෙන් වූ අපගේ වත්තෙහි කුඹුරු යායට මායින්ව පිහිටා තිබු විශාල පොකුණ අප කුඩා කල අප ගමෙහි ප්‍රසිද්ධම පොකුණ විය. එයට හේතුව කවර ඉඩෝරයක දී වුවත් එම පොකුණෙහි දිය සිඳී නො යාමයි. මුළු ගම ම දිය නෑවේ අපේ එම පොකුණෙන් යැයි කිවහොත් එය අතිශෝක්තියක් නො වේ. තවද, එකල වඳුලක් ලෙස පැවැති අප වත්ත නානාවිධ ගස්වලින් ගහණව පැවතිණ.

දෙදෙනෙකුට එකවර බැදිය නොහැකි ඉතා විශාල කොස්ගසද, පෙතන් කජුගසද, විශාල සියඹලා ගසද, විශාල කොහොඹ ගස ද එම ගස් අතර තිබූ සුවිශේෂී ගස් විය. මීට අමතරව පිණිජම්බු ගස් දෙක, ගොරකා ගස් දෙක, ඇඹරැල්ල ගස, කිතුල්ගස, ලොවි ගස, ලාවළු ගස, සැතපිල්ල ගස, නමිනං ගස, කරාබුනැටි ගස් කිහිපය, අඹ ගස් කිහිපය, අවුරුදු විසි පහක් පමණ වන කොස් ගස් තුන, වැල ගස් දෙක, ගෙඩි වලින් පිරී ගිය රඹුටන් ගස, බෙලි ගස, තවත් කුඩා කජු ගස් කිහිපය, වෙරළු ගස් දෙක, නවසි ගස, පැණි පොල්ග ස, දෙල් ගස අප වත්තෙහි වූ විවිධ ගස් අතර කැපී පෙනුන ගස් විය. වෙල් යායට මායින්ව පිහිටි විශාල ප්‍රදේශයක පැතිර තිබු උණ ගස් පඳුර සහ බටපදුර අප වත්තට විශාල අලංකාරයක් එක් කළේය.

මා ඉහතින් සඳහන් කල පොකුණට යාබඳව අඩි විස්සක් පමණ ඉහළට වැඩුනු කොළ වලින් පිරීගිය රම්පේ ගසක්ද, බිළිං වලින් පිරී ඉතිරි ගිය බිළිං ගසක්ද, බඹ දෙකක් පමණ ගැඹුරින් වූ අප වතුර බොන ළිඳ ළඟ වූ අවුරුදු විසිපහක් පමණ වූ කොස් ගස වටා එතී ගිය විශාල ගම්මිරිස් වැලද, වත්ත පුරාම තැන තැන පිහිටි පොල් ගස් විසිපහක් පමනද, තැඹිලි ගස් පහ හයක් පමනද, අප වත්තෙහි විය. අනෝඳා, කටු ආත්ත ගස් විස්සක් පමණ නිවසට ඉහළින් වූ බෑවුමෙහි පිහිටි අතර තැන තැන සිට වූ ගස් ලබු ගස් වලින්ද,  තැන තැන සිටවූ විවිධ වර්ගයේ කෙසෙල් ගස් විශාල ප්‍රමානයකින් ද, අන්නාසි ගස් ගාලකින්ද, විශාල සහ කුඩා ප්‍රමාන වලින් වූ කරපිංචා ගස් විශාල ප්‍රමාණයකින්ද, මනාව වැඩුනු කතුරුමුරුංගා ගස් දහයක් පමණකින්ද, විවිධ වර්ගයේ දෙහි ගස් ප්‍රමාණයකින්ද, කුරුඳු ගස්ද, කෝපි ගස්ද, පේර ගස්ද, අඩි විස්සක් පමණ උසින් වැඩුනු ඇඹුල් දොඩම් ගසකින්ද, ඉඟුරු සහ කහ ගස් ගාලකින්ද, ගමටම නිවිති බෙදු සාරවත් නිවිති වැලකින්ද, මාදම් ගස් වලින්ද, ඇඹුල් පේර ගස් වලින්ද, දෙළුම් ගස්වලින්ද, අඩි පහළොවේ පහළොවේ  ප්‍රමාණයෙන් යුක්තව වූ බුලත් කොරටුවකින්ද, වත්තේ වටේ මායිම දිගේ පැතිරගිය පුවක් ගස් සියයක් පමණකින්ද, පාරට මායිම්ම වූ වැටේ දිගේ එතී ගිය කුරිඤ්ඤං වැලකින්ද, පැෂන් පුට් වැල් වලින්ද, එකල අප වත්ත පිරී ඉතිරි තිබින. මීටත් අමතව ගහල, බතල, කිරිඅල, මඤ්ඤෝකා සහ කටුඅල ගස් ද අප වත්තෙහි වූ භෝග වර්ග අතර වූ අතර පොල්ගස් අවට සරුවට වැවී තිබු කුඩා කුඩා ගොටුකොළ පඳුරුද ඒ අතර විය.

අද වනවිට අප වත්තෙහි ඉහත ගස්වලින් තැන තැන ඉතිරිව ඇත්තේ පොල් ගස් කිහිපයක්ද, එක් අඹගසක්ද, ලොවි ගසද, ඇඹරැල්ල ගසක්ද, බෙලිගසද, පසුව අප පියා විසින් අලුත් වතුර බොන ළිඳ ළඟ සිටවූ කුඹුක් ගසද, මා විසින් පසුව සිටවූ අවුරුදු විසිපහක් පමණ වන අලිගැටපේර ගස සහ කොස ගස් දෙකද, අලුතින් අපේ අම්වා විසින් සිටවූ කුඩා රඹුටන් ගස් දෙක සහ කුඩා උගුරැස්ස ගසද, මාගේ දෙවෙනි අය්යා විසින් අලුතෙන් සිට වූ කුඩා අඹගස් කිහිපය ද පමණි. ඉතිරි ගස් සියල්ලම අපගේ ආතා මියගිය පසු මාගේ දැඩි විරෝධය නොසලකමින් අපගේ පියා මව විසින් අවට වතුවල පිරිස්ගේ දැඩි ඉල්ලීම ද පරිදි 80 දශකයේ අග භාගයේදී සහ 90 දශකයේ මුල් භාගයේ දී විවිධ අවස්ථාවන් වලදී කපා දමනු ලැබීය. අපගේ වත්තෙහි දැනට ඉඳිකර ඇති විවිධ ගොඩනැඟළි ඉඳිකිරීමට ඉඩ ලබා ගැනීම මෙම ගස් පද්ධතිය කපා දැමීම මාගේ දෙමාපියන්ගේ අරමුණ විය.

වඳුලක්ව පැවැති අපගේ කුඩාකළ ඉඩම අද ඉතා පිළිවෙලකට රට තණකොළ වැවු මල් ගස් වලින් සැරසු වත්තකි. දැන් එහි ඉහත සඳහන් කළ ඉතිරි ගස් ටිකද ඇත්තේ ඉතා දුරිනි. එකල කැප්පෙට්ටියා කොළ, මල්ලිනි කොළ පමණක් පොහොර වශයෙන් යෙදු පොල්ගස්වලට අද රසායනික පොහොර දමති. අද කුඩා පෑවිල්ලකට වුවද පොහොර සහ වතුර නොමැති වීම හේතුවෙන් ගස් වල අතු කහපාට ගැන්වේ. විදුලි පොම්පයෙන් ටැංකියට පිරවූ වතුර නැවතත් බට මඟින් පොල් ගස් වලට දමති. අවම වශයෙන් දිනකට පොල්ගසක් සඳහා වතුර ලීටර් 50 ක් අවශ්‍යය බව පොල් පර්යේෂණ මණ්ඩලයේ ක්‍ෂේත්‍ර නිළධාරීන්ද කියා සිටිති.

මීට වසර 35කට පමණ පෙර පොහොර සහ වතුර ඉල්ලා නොසිටි ගස් අද ඒවා ඉල්ලා සිටින්නේ ඇයි? මෙම ප්‍රශ්නයට පිළිතුර එකල මා විසින් අපගේ පියාට පැවසුවද ඔහු ඒ කිසිවක් එකල මායිම් නොකළේය.

වෘතියෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික නිළධාරීයෙකු වූ අපගේ ආතා සතුව විශාල පරිසර දැනුම් පද්ධතියක් විය. ඔහු විවිධ අවස්ථාවල මාහට කුඩාකල කියාදුන් වැදගත් පරිසර පාඩම් විශාල ප්‍රමාණයක් විය. කොලුවෝ උඹ දන්නවද ඇයි අපේ වත්තේ පොකුණ කිසිම ඉඩෝරයකට වතුර හිදෙන්නේ නැතිව පිටාරගලන තරමට වතුර තියෙන්නේ ඇයි කියලා? යනුවෙන් විමසමින් ඔහු විසින් මා හට විශාල පරිසර පාඩමක් කියා දී තිබින.

උඹට පේනවද මේ දෙදෙනෙකුටවත් බදන්න බැරි කොස්ගහ අන්න ඒ කොස්ගහ හින්දා තමයි අපේ මේ පොකුණෙ හැම තිස්සෙම වතුර තියෙන්නේ. පොකුනේ සිට අඩි 100කටත් වඩා දුරින් පිහිටි කොස් ගසක් නිසා පොකුණක් කිසි දිනක හිස් නොවන්නේ කෙසේද?. පොකුණ විතරක් නෙමේ මේ පොල්ගස් දෙල් ගස් හැම තිස්සේම ගෙඩි වලින් පිරිලා තියෙන්නේ මේ කොස් ගහ නිසයි.

උඹ දන්නවද මේ කොස් ගහ මම පොඩි කාලේ (අපේ සීයාගේ)  හිටවපු ගසක්. මේ වත්තේ තියෙන පොකුණ විතරක් නෙමේ මේ වත්තේ තියෙන අනෙකුත් ගස් සියල්ලම නඩත්තු කරන්නේ මේ කොස් ගසයි. දැන් මේ ගහට අවුරුදු 70ක් විතර වෙනවා කොලුවෝ. දැන් මෙයාගේ මුදුන් මුල බඹ 12කට වැඩිය පොළව යටට ගිහිලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ අනිත් මුලුත් අඩි පන් හයසීයක අරයක අල්ලපු වතු වලටත් දැන් පැතිරිලා ඉවරයි. ඒ නිසා මෙයා දැන් පොළවෙ ලොකු ප්‍රදේශයක තිබෙන ඳිය උල්පත් ඔක්කොම වගේ මෙයාගේ අනසකට අරන් තියෙන්නේ. මෙයාගේ මුල් වලින් විහිදෙන ඇහට පේන නොපෙනෙන කුඩාම කුඩා හීනිම හීනි කේෂ නාලීකා වගේ මුල් ප්‍රකෝටි ගානක් පොළවේ හැමතැමනම පතුරොගෙනයි තියෙන්නේ. දවසකට මෙයා මෙයාගේ කුඩා කේෂ නාලීකා වගේ එක මුලකින් වතුර බිංදුවක් පොළව උඩට අරං ආවොත් මෙයාට පුළුවන් වතුර බිංදු ප්‍රකෝටි ගාණක් දවස ගානේ පොළව මතුපිටට අරං එන්න. ඒ කියන්නේ කොල්ලෝ මෙයා හැමදාම මහා ජල කඳක් පොළව මතුපිටට අරං එනවා. මෙයාගේ තැන ඉදන් අඩි පන් හයසියක අරයකට මෙයා ලොකු ජල කඳක් දවස ගානේ ගෙනත් දෙනවා. ඒ මහා ජලකඳින් කොටසක් පොකුණ පුරෝනවා.  කොටසක් පොල්ගස් වැනි මුදුන්මුල් නැති ගස් වලට දෙනවා. කොටසක් පසේ ඉන්න කුඩා සත්තුන්ට ජීවත් වෙන්න දෙනවා. ඒ සත්තු පස පෙරළ පෙරළා ගස්වලට පොහොර දෙනවා. ඒ නිසා පසේ වයනය පරිසරයට ගැලපෙන ලෙස හැදෙනවා. අන්න ඒකයි කොල්ලෝ අපේ වත්තේ මේ පොකුනේ වතුර කවදාවත් හිදෙන්නේ නැත්තේ. මේ වත්තේ ගස් මේ තරම් සශ්‍රීකත් එකයි. මේ වත්ත මේ වගේ සිසිලුත් ඒකයි. මේ වත්ත විතරක් නෙමේ කොලුවෝ අපේ වත්ත වටේ තියෙන අනෙකුත් වතුවලටත් අවශ්‍යය පොහොර සහ භූගත ජලය ගෙනත් දෙන්නෙත් මෙයාම තමයි. අපේ ආතාගේ එම කොස්ගසේ පරිසර පාඩම මා හට අදටත් මහා විද්‍යාවකි.

පසුව ගෙදරට මුල් අදිනවා යැයි පවසමින් මාගේ දැඩී විරෝධය නොසලකා අපගේ අම්මා, තාත්තා , පවුලේ අනෙකුත් සාමාජිකයින් සහ අවට වතුවල සිටි අයගේද බලපෑම පිට අප වත්තෙන් කපා ඉවත්කර දැමූ පළමු ගස් අතර එම මහා කොස් ගසද  විය. කොස් ගසේ මුල් අවට වතුවලට ඇඳ තිබීම හේතුවෙන් ඔවුන්ගේ වතුද පාළුවන බව කියමින් අපගේ කොස්ගස කපා ඉවත් කිරිමට අවට වතු වලද සහයෝගය ඒ ආකාරයෙන් ලැබිණ. මා තනිවිය. ඔවුන් සියල්ලෝම මහා රූස්ස ගසක් මෙන් වූ එම කොස් ගස කපා දමනු ලැබුයේ එසේය.

කොස්ගස කපා ඉවත්කර ටික කලකට පසුව ගමක් නෑවූ අපගේ මහා පොකුණ සිඳි ගියාය. පසුව එම පොකුණද ඔවුන් ගොඩ කර දැමුවෝය. පොල් ගස් කණාටු විය. අද වත්තෙහි වන පොල් ගස් ටික නඩත්තු කිරීමට ඔවුන්ගේ ව්‍යාපාර වලින් උපයන ධනයෙන් කොටසක් වැය කරති. පොල් ගසක් විසින් පොල් ගසක් නඩත්තු නොකරයි. ඒ සඳහා දැන් රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ කරන කිසිවෙකු විසින් තම ධනයෙන් කොටසක් වැය කළ යුතුය. එයට හේතුව පොල්ගසක් රැකියාවක් කර ලයිට් බිල් ගෙවා නල ජලය සපායාගනිමින් පොහොර ද මිලට ගෙන  තමන්ව නඩත්තු කරගැනීම පොල්ගසේ කාර්යභාරය නොවීමයි.

ඉහත ගස් කපා දැමීමෙන් කලකට පසුව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්ද සිදුවිය. ඒ බඹ දෙකක් පමන ගැඹුර වූ අපගේ පැරැණි වතුර බොන ළිඳ ද කෙමෙන් සිදි යාමයි. අද එය බඹ පහකට හයකට වඩා සෑරූ ළිඳකි. මෙහි අවසානය යම් දිනක මෙම ළිඳ ද සම්පූර්නයෙන් සිදී යාමක් විය හැකිද.?

පසුව අපේ තාත්තා සහ අම්මා විසින් මහා රූස්ස ගහක් මෙන් වූ කොස් ගස අනෙකුත් විශාල ගස් අප වත්තෙන් කපා ඉවත් කිරීම පිළිබඳව ඔවුන් යම් පසුතැවිල්ලකින් පසු වූ බව ඔවුන්ගේ කථාවෙන් පිළිබිඟු විය. අපගේ පියාගේ එම පසුතැවිල්ල නිසාමදෝ වතුර බොන ළිඳ බැම්මේම කුඹුක් ගසක් එකල ඔහු විසින්ම සිටවුවාය. අදවන විට එය අඩි විස්සක් පමන උසකින් යුත් කුඩා කුඹුක් ගසකි. අපගේ මවද පසුව විවිධ ගස් කිහිපයක් අප වත්තෙහි සිටවනු ලැබීය.

කෙසේ හෝ අප වත්තෙහි වූ ඉහත ගස් කපාදැමීම හේතුවෙන් අදවන විට අවට වතුද කේඩෑරී වී ගියාක් මෙනි දිස්වේ. ගමෙහි වන අනෙත් වතුවලද අයිතිකරුවන් විසින් ඔවුන්ගේ වතුවල තිබූ විශාල ගස් කපා දැමීම හේතුවෙන් ගමෙහි සියළුම පොකුණු සිඳී යාම හේතුවෙන් දැන් අප ගමෙහි පොකුණු කිසිවක් නොමැත. සියල්ලෝම නාන්නේ ටැප් වතුරෙනි. පොල් ගස් වලට වතුර ලබා දීමට බඹ ගණනින් ගැඹුරට හෑරු ළිං වලින් නල බට යොදා ලබා ගන්නා වතුරෙන් පිරවූ ටැංකි වලින් වතුර සපයති. පොහොර ලබාදීමට මුදල් වැය කරති. ඒ ආකාරයෙන් වු සැපයුම් සඳහා ලයිට් බිල ගෙවිමටද, පොහොර යෙදවිමටද, ඔවුන්ට දිය නෑමටද ඔවුන් රැකියාවල් කර මුදල් සොයති.

මේ සියළු වියදම් වලට අමතරව එකළ අප එක් අයෙකු විසින් මසකට නොමිලයේ අනුභව කළා වූ අප වත්තෙහි වූ පළතුරු ප්‍රමාණය මෙකළ එක් අයෙකුට අනුභව කිරීම සඳහ රුපියල් දහ පහළොස් දාහක පමණ මුදලක් අවශ්‍යය බව මාගේ වැටහීමයි. අද අප කඩෙන් මිලදී ගන්නා පළතුරු එකළ වූ රසවත් ගුණවත් පළතුරු නොවන බවද සඳහන් කළ යුතුය.

යාබඳ වත්තේ පොල්ගස් හොඳටෝම කණාටු වී තිබු බැවින් මේ ගස් වලට වතුර පොහොර දමන්නේ නැද්දැයි මා ඔවුන්ගෙන් මෑත දී විමසු වීට මල්ලි මේ පාර රට ඉදන් සල්ලි එව්වාම පොහොර දාන්නයි ඉන්නේ. වතුර පොම්පෙත් කැඩිලා ඒකත් ඒ ගමන්ම හදා ගන්නවා. යනුවෙන් ඔවුන් මට පිළිතුරු දුන්නෝය.

අදවන විට අප රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න අතර පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් සෑදෙන්නා වූ බෝ නොවන රෝග ප්‍රධාන ස්ථානයක වේ. සැතපුම් ගණන් ගෙවා පැමිණෙන විස සහිත අපිරිසිදු නල ජලය පානය කිරීම නිසාවෙන් වැළදෙන වකුගඩු රෝගය අප රටේ සෑම නිවසක්ම මේවන විට ආක්‍රමණය කරමින් සිටියි. මෙම නළ ජලය වතුර පිරිසිදු කර ගැනීමට ඇතැම් පිරිස් තමා උපයන වැටුපෙන් බටහිර ක්‍රමවේදයට සැකසූ මෙවලම් තව තවත් මිල දී ගනිමින් සිටිති. අද අපි විශාල පිරිසක් පරිසරයක් නඩත්තු කළ ගසක් කැපීම හේතුවෙන් කෘතිම පරිසරයක් මිලදී ගැනීමට රැකියාවන් කරමින් නොසිටින්නේමුද?.

හිතවත, හිතවතිය ඉහත ජීවන ක්‍රමය ගසක් කපා දැමීමේ පාපය නිසාවෙන් ඔවුන්ට උදා වි නැතැයි පවසන්නේ කෙසේද?. ඊනියා බටහිර විද්‍යාවට හෝ බටහිර සමාජ ක්‍රමයට මේ සඳහා දිය හැකි පිළිතුරක් නොමැත. ඔවුන් පය බරවායට පිටි කර බෙහෙත් බැඳීමේ බොරු වල්පල් විසඳුම් වලින් අපව මුලා කරති. එම විසඳුම් අනුව ජීවත්වන ඉහත පිරිසගේ ඇතැමුන් මල්ලි රට ඉදන් මුදල් එවනකම් පොල්ගස් ටිකට වතුර සහ පොහොර දැමීමට බලා සිටිති. අවුරුදු 80ක් පමණ පැරණි පරිසර පද්ධතියක් (ඔවුන්ටද නිවි සැලසිල්ලේ ජීවත්වීමට ඉඩ ලබාදුන් පරිසරය ද ඇතුළුව) නඩත්තු කළ ගසක් කැපීම හේතුවෙන් ඔවුන්ට මේ භවයේදීම ගෙවීමට පාපයක් සිදු වී නොමැතිද?. අවුරුදු 80ක් පැරැණි ගසක් කපාදැමීමෙන් මෙතරම් පරිසර විපර්යාසයක් වූවානම්, වසර දෙතුන් සියයක් පැරණි මහා රූස්ස ගසක් කපා දැමීමෙන් කෙතරම් පරිසර විපර්යාසයක් වෙත්ද? එය මහා පාපකර්මයක් නොවන්නේද?

– උඩවත්තගේ ධම්මික (යූ.ඩී.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress