කතානායකගේ කල-බලය
Posted on November 12th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අපේ රටේ විධායක බලය වගේ ම ව්‍යවස්ථාදායක බලයත් අයිති ජනතාවට. ඒත් අපට එකතුවෙලා ඒ බලය ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ හින්දා, අපි ඒ වැඩේ කරවගන්න කට්ටියක් පත් කරගන්නවා. ඒ කට්ටියට අපි කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා. මේ කාරණය අපි නැවතත් හොඳින් හිතලා තේරුම්ගන්න ඕන. ව්‍යවස්ථාදායක බලය අයිති ජනතාවට. අපි ඒ බලය පාවිච්චිකරලා අපිට ඕන නීති සම්පාදන වැඩ කරවගන්න තෝරාපත් කරගන්න කට්ටිය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා කියන්නේ. අපි මේ අයට භාරදෙන්නේ නීති අණ පනත් පනවන වැඩේ. අපේ විධායක බලයට අදාළ වැඩ කරලා දෙන්න කියලා අපි මේ කට්ටියට කියලා නෑ. අපේ විධායක බලයට අදාළ වැඩ කරවාගන්න අපි වෙනත් කෙනෙක් පත් කරගන්නවා. ඒ තමයි අපේ රටේ ජනාධිපතිවරයා.

අපේ විධායක බලය තනියෙන් ක්‍රියාත්මක කරවන්න බැරි හින්දා ජනාධිපතිවරයා තමන්ගේ හවුලට කට්ටියක් පත් කරගන්නවා. ඒ අයට අපි කියන්නේ අමාත්‍යවරු කියලා. ඊට අමතරව අගමැතිවරයකුත් පත්කරගන්නවා. අගමැතිව පත්කරනවා කියන්නේ, අමාත්‍යවරු පත්කරනවා කියන්නේ නීති රීති සම්පාදනයට අදාළ ව්‍යවස්ථාදායක කටයුත්තක් නෙවෙයි. ඒක විධායක කටයුත්තක්. ඒ හින්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වැඩේ කරන්න පුළුවන්කමක් නෑ. ඒක කරන්න ඕන අපි අපේ විධායක බලය නියෝජනය කරන්න පත් කරගත්ත තැනැත්තා. ඒ කියන්නේ විධායක ජනාධිපතිවරයා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංග්‍රහ කරලා තියෙන්නේ මේ කටයුතු අවුලක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් විධායක ජනාධිපතිවරයා අපේ බලය නියෝජනය කරමින් කරන්න ඕන කටයුතුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපේ ව්‍යවස්ථාදායක බලය නියෝජනය කරමින් කරන්න ඕන කටයුතුත් බොහොම පැහැදිළිව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා.

ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක වෙන්නේ ඉහළ සිට පහළට. ඒ කියන්නේ අපි ජනාධිපතිවරයාට පවරපු විධායක බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන් යටතේ පත් කරගන්න නියෝජිතයන්ට පවරන්න ඔහුට පුළුවන්. ඇමැතිවරු තමයි ඒ විදිහට පත් කරගන්න නියෝජිතයෝ. මේ අයට ජනතාවගේ විධායක බලය පැවරෙන්නේ ජනාධිපතිවරයා හරහා. ඒ කියන්නේ ඉහළින් පහළට.

එතකොට කතානායකවරයා?

කතානායක කියලා කියන්නේ අපේ විධායක බලය ක්‍රියාත්මක කරවන්න අපි පත් කරගන්න කෙනෙක් නෙවෙයි. කතානායක තනතුරට පත්වෙන්නේ ජනතාවට අයිති ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවන්න පත් කරගන්න අයගෙන් එක් කෙනෙක්. ඔහු විසින් කරන්න ඕන ප්‍රධාන ම කාර්යය වෙන්නේ පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම. මේ ගැන කියන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 64. (5) වගන්තියේ.

එතකොට කතානායකට ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්න බැරි ද?

කතානායකට ඒ තනතුරේ ඉඳගෙන ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන්න බෑ. හැබැයි කතානායක තනතුරට පත්වෙච්ච කෙනාට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න යම් ඉඩකඩක් ව්‍යවස්ථාවේ නැහැයි කියලා කියන්න නම් බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31. (3), 31. (4), 37. (1), 37. (2), 37. (4), 38. (1), 38. (2), 39. (2), 40. (ඇ) කියන වගන්තිවල මේ ඉඩ ගැන විස්තර පැහැදිළි කරලා තියෙනවා.

කතානායකවරයාට මේ වරම ලැබෙන්නේ ජනාධිපති ධූරයත් අගමැති ධූරයත් දෙක ම හිස්වෙලා තියෙන අවස්ථාවක. එහෙම වෙලාවට කතානායකට පුළුවන් ජනාධිපති ධූරයේ වැඩ බලන්න. ජනාධිපති ධූරයේ වැඩ බලනවා කියලා කියන්නේ අපේ විධායක බලය ක්‍රියාත්මක කරන වැඩේට කරගහනවා කියන එකනේ. ඉතින් අන්න ඒ වෙලාවට මේ විදිහට ජනාධිපති ධූරයේ වැඩබලන කතානායකවරයාට පුළුවන් අගමැතිවරයෙක් පත් කරගන්න. ඇමැතිවරු ගැන තීරණගන්න.

හැබැයි මේ සෙල්ලම කරන්න අර විදිහට තමන්ට ඉහළින් තියෙන තනතුරු දෙක ම හිස්වෙලා තියෙන්න එපායැ. ඒ හින්දා කලබල වෙලා බෑ. ටිකක් ඉවසන්න ඕන. මොකක් හරි චාන්ස් එකකින් ඒ තනතුරු දෙක ම හිස් වුනොත් කතානායකටත් පුළුවන් අපේ විධායක බලය ක්‍රියාත්මක කරවන්න.

පහුගිය දවස්වල කලබැගෑනියක් ඇතිවෙච්ච වෙලාවේ මෙහෙම ඉඩක් ඇතිවුනේ නෑ. ජනාධිපති ධූරය දරන කෙනෙක් හිටියා. ජනාධිපතිවරණයේ දී ජනතාව පවරපු විධායක බලය ක්‍රියාත්මක කරලා ඒ පුද්ගලයා හිටපු අගමැතිවරයාව ඉවත්කළා. අලුතින් අගමැතිවරයෙක් පත්කළා. මේක දැක්ක ගමන් අපේ කතානායකතුමා කලබල වුනා. එතුමා හිතුවා අගමැති පත්කරනවා කියලා කියන්නේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයට අයිති කටයුත්තක් කියලා. අගමැතිවරයෙක් පත්කරනවා කියලා කියන්නේ, ඇමැතිවරු පත්කරනවා කියලා කියන්නේ නීති සම්පාදනය කරන වැඩේට අදාළ වැඩක් නෙවෙයි කියන එක ඒ මහත්තයාට අමතක වුනා. අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ ඇමෙරිකානු ජනපද සංගමයේ, යුරෝපා සංගමයේ, ඕස්ට්‍රේලියාවේ කට්ටිය මේ අවුලට පොහොර දාන්න පටන්ගත්තා.

අන්තිමට ජනාධිපතිවරයා කළේ ජනතාව පවරපු විධායක බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසුරුවලා දාන එක. දැන් ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයකට කාලය උදාවෙලා. මේ මැතිවරණයේ දී තමන්ගේ ව්‍යවස්ථාදායක බලය නියෝජනය කරන්න පිරිසක් තෝරා පත්කරගන්න ජනතාවට පුළුවන්.

අපේ ඡන්දය ලබාගෙන තේරි පත්වෙන අය ඒ පමණකින් ම මන්ත්‍රීවරු බවට පත් වෙනවා ද? මේ කාරණය නම් ටිකක් අපැහැදිළියි. යම් අපේක්‍ෂකයෙක් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වෙන්න අවශ්‍ය වරම ලබාගන්නවා. ඒත් ඔහු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයෙක් බවට පත්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිඥාව (දිවුරුම) පාර්ලිමේන්තුව ඉදිරියේ ලබාදීලා ඒකට අත්සන් තිබ්බාට පස්සේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වැනි වගන්තියේ මේ ගැන කියනවා. මේ ප්‍රතිඥාව (දිවුරුම) ලබාදීලා අත්සන් කරන තාක් කල් අපි තෝරා පත්කරගත්ත අයට කරන්න පුළුවන් කතානායක තෝරා පත්කරගන්න වැඩේට සම්බන්ධ වෙන්න විතරයි. ඒ හැරෙන්න “පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හෝ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීම” මේ අය විසින් “නොකළ යුත්තේ ය” කියලා 63 වැනි වගන්තියෙන් කියනවා.

ඉතින් 2015 අගෝස්තු 17 වැනි දා පවත්වපු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තු ආසන හිමි කරගත්ත අය 2015 සැප්තැම්බර් 1 වැනි දා පාර්ලිමේන්තුවට එක් රැස්වුනා. එහෙම රැස්වෙලා මුලින් ම කළේ කතානායක තනතුරට කරු ජයසූරිය මහත්තයාව තෝරා පත්කරගන්න වැඩේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා එක්ක එකතුවෙලා කරූ ජයසූරිය මහත්තයාව මූලාසනයට එක්කරගෙන ගියා. මූලාසනයේ වාඩිවෙලා එතුමා මුලින් ම කළේ තමන්ව කතානායක තනතුරට තෝරා පත් කරගත්ත එක සම්බන්ධයෙන් හැම දෙනාට ම ස්තූති කරන එක.

ඊටත් පස්සේ තමයි සභාවේ හිටිය අපේ ඡන්දයෙන් තේරුණු අයට ප්‍රතිඥා (දිවුරුම්) දෙන්න අවස්ථාව ලබාදුන්නේ. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු දෙසිය විසි දෙන්නෙක් (222 ක්) මන්ත්‍රී තනතුරුවල දිවුරුම් දීලා තියෙනවා. සහභාගී නොවූ දෙන්නා ගැන සඳහනක් හැන්සාඩ් වාර්තාවෙන් හොයාගන්න අමාරුයි. ඒකට කමක් නෑ.

කොහොම වුනත් මෙතැන නොතේරෙන කාරණයක් තියෙනවා. සමහර විට මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයිති කටයුත්තක් වෙන්න පුළුවන්. ඒ මේකයි. 2015 සැප්තැම්බර් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊට දවස් 11 කට කලින් – ඒ කියන්නේ 2015 අගෝස්තු 21 වැනි දා; අගමැති තනතුරේ දිවුරුම් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වපු උත්සවයේ දී විදේශ කටයුතු ඇමැතිවරයා විදිහට මංගල සමරවීර මහත්තයාත් අධිකරණ ඇමැතිවරයා විදිහට විජේදාස රාජපක්‍ෂ මහත්තයාත් පුනරුත්ථාපන සහ නැවත පදිංචිකිරීමේ ඇමැතිවරයා විදිහට ඩී එම් ස්වාමිනාදන් මහත්තයාත් දිවුරුම්දීලා තියෙනවා. ඊට පස්සේ ඒ උත්සවය අවසානයේ දී එක්සත් ජාතික පක්‍ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න ඕන කරන අවබෝධතා ගිවිසුමට අත්සන් කරලා තියෙනවා.

දැන් ගැටලුව මේකයි. අලුතින් කතානායක තනතුරට පත්වෙච්ච කරූ ජයසූරිය මහත්තයා තමන්ගේ ඇස් දෙකෙන් ම දැක්කා තමන් ඉස්සරහා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු 222 දෙනෙක් මන්ත්‍රී තනතුරුවල දිවුරුම් දෙනවා. ඒත් එහෙම දිවුරුම් දෙන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරේ දිවුරුම් දීලා. හැබැයි අපේ ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත් කරගනු ලැබිය යුත්තේ තමන්ගේ මතයේ හැටියට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. මේ ගැන කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42. (4) වගන්තිය.

පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්න මන්ත්‍රීවරු එක් කෙනෙක්වත් 2015 අගෝස්තු 21 දා වෙද්දි හිටියේ නෑ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු 222 දෙනෙක් මන්ත්‍රී තනතුරුවල දිවුරුම් දීලා තියෙන්නේ 2015 සැප්තැම්බර් 1 වැනි දා.

මේ කාරණයෙන් පැහැදිළිවෙන්නේ මොකක්ද?

අගමැතිවරයෙක් පත්කරද්දි කතානායකවරයෙක් ඉන්නවා ද නැති ද කියන එක ගැනවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දිවුරුම් දීලා ද නැති ද කියන ගැනවත් හිතන්න ඕනකමක් ජනාධිපතිවරයාට නෑ කියන එක නෙවෙයි ද?

එහෙම නම් මේ වෙලාවේ අගමැතිවරයෙක් පත්කරද්දි කතානායකතුමා කලබල කළේ ඇයි? ඒක ඉතින් ඒ මහත්තයාගෙන් ම තමයි අහන්න ඕන.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

[email protected]

2018 නොවැම්බර් 12

One Response to “කතානායකගේ කල-බලය”

  1. Lionel Says:

    Good writing. But the question is, who created all this mess? Also, we should not forget this “man” declared at the UN, he gave up most of his powers in the sake of democracy (or some one else). So, let us wait and see what the court ruling going to be on the dissolution of the parliament.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress