අපගේ නිදහස් චතුරශ්‍රය සැබෑ නිදහසේ සංකේතය වන්නේ කවදාද?
Posted on November 13th, 2018

Keerthi Godayaya

ශ්‍රී ලංකාවේ නිදහස් චතුරශ්‍රය පිහිටා තිබෙන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේය. එහි විශාල ප්‍රමාණයේ දොන් ස්ටීවන් සේනානායක මහතාගේ පිළිරුවක් තිබේ. අප කුඩාකල පාසල් සවාරියක් සඳහා නිදහස් චතුරශ්‍රය වෙත ගිය කල අප සමග අපට වඩා පහල පන්තිවල සිටි එක්  කුඩා ශිෂ්‍යයෙක් අර සුද්දා කවුදැයි සේනානායක පිළිරුව පෙන්වා ගුරුවරියකගෙන් ඇසුවා මට මතකය. එවිට “ඒ සුද්දෙක් නෙවෙයි ළමයෝ, එයා තමයි අපේ නිදහසේ පියා යැයි ගුරුවරිය පිලිතුරු  ලෙස පැවසුවාය.”

“එහෙනම් ඇයි එයා සුද්දෙක් වගේ ඇඳගෙන ඉන්නේ” යැයි අර සිසුවා පෙරලා ඇසු කල ගුරුවරිය සැර  වුවා මිස කිසිදු පිලිතුරල් නොදුන් බව මට මතකය.

අධික ශීත දේශගුණයෙන් පරිපීඩිත බටහිර ජනයාට ටයි කෝට් එක  යනු ඇඳුමක් වුවද, ෆැරන්හයිට් අංශක 100 ක  උෂ්ණත්වයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකදී ටයි කෝට් යනු යටත්විජිතවාදී සංස්කෘතික සංකේතයක් බවට පත් වන බව වටහා ගැනීම මෙහිදී වැදගත්ය. අපගේ නිදහස උදුරා ගත් ආක්‍රමණික ජනඝාතකයාගේ ඇඳුම වන ත්‍රී පීස් සුට් එකකින් සැරසී සිටින මේ පිළිරුව එම ආක්‍රමණිකයාගෙන් නිදහස් වීම සැමරීම සඳහා ගොඩ නැගු මෙම නිදහස්  ස්මාරකය ඉදිරියේ පිහිටුවීමත්, එම පිළිරුව නිදහසේ පියා ලෙස නම් කිරීමත් කෙතරම් හාස්‍ය ජනක විහිලුවක්ද  යන්න කිසිවකු නොසිතු බව පෙනී යයි. මෙය වැරදීමකින් සිදුවූ දෙයක්ද එසේ නැතිනම් නිදහසින් පසු බලය ලභාගත් කොළඹුන්  විසින් ගැමි සිංහල ජනයා වෙත එල්ල කල තවත් එක් ඔලොක්කුවක් දැයි අප සිතා බැලිය යුතුය.

අපගේ නිදහස් ස්මාරකය මෙලෙස සැලසුම් කිරීම අත් වරදක් නොවන බවත්, සුද්දාගෙන් නිදහස් වීම සඳහා දිවි පුදා සටන් කල සිංහල ජනතාවට හිතා මතා කල අවමානයක් බවත් මට සිතෙන අනෙක් කරුණ වන්නේ අපගේ නිදහස් ස්මාරකය පිහිටුවා තිබෙන්නේ සුදු ආණ්ඩු කාර වරුන් අතරින් එක් අතිශය ම්ලේච්ඡ ජනඝාතක ආණ්ඩුකාර වරයෙකුගේ නමින් ඇති චතුරශ්‍රයේ වීමය.  ජෝජ් ටොරින්ටන් George Byng, 7th Viscount Torrington (9 September 1812 – 27 April 1884) යනු 1848 මාතලේ නිදහස් සටන අතිශය ම්ලේච්ච ජනඝාතනයකින් කෙළවර කල ආණ්ඩු කාර වරයෙකි.

වසර 400 ක් යටත්ව පැවති රටක ප්‍රධාන දේශපාලන ස්මාරකය සැලසුම් කරනවුන් මෙතරම් අසංවේදී විය හැකිද? තම නිදහස වෙනුවෙන් සටන් කල ජන නායකයින් ඝාතනය කල ජන ඝාතකයාගේ නමින් පවත්නා චතුරශ්‍රයක නිදහස් ස්මාරකය පිහිටුවීම කල හැකි දෙයක්ද? නිදහස් ස්මාරකය පිහිටුවීමෙන් පසුව වත් ටොරින්ටන් නම වෙනස් නොවුයේ කාගේ උවමනාවටද?

ජනාධිපති සිරිසේන මහතා පැවසූ පරිදි සංස්කෘතික විභේදනයක් රජය තුල පැවතියානම්, එතුමා වටහා ගතයුතු කරුණ වන්නේ එම විභේදනය මුළු රටේම සෑම ක්ෂේත්‍රයකම පවතින බවය. එම පිළිකාව ඉවත් නොකර කිසිවිටෙක ප්‍රශ්නය නිරාකරණය නොවන බවද වටහා ගත යුතුය. ශ්‍රී ලංකා දේශපාලන හා සංස්කෘතික දේහය වෙත කොලඹුන් විසින් ගෙනවිත් ඇති මෙම පිළිකාව සදාකාලිකව කපා ඉවත් කිරීම මෙවර වත් කල යුතුව ඇත්තේය. එම කාර්යය ආරම්භ කලයුතු වන්නේ කොලඹුන් පැටව්  ගසන අධ්‍යාපන ආයතන වෙනස් කිරීමෙනි.  රටේ ඉතිහාසය, භාෂාව  හා සාහිත්‍යය ඉගැන්වීම නැවත අධ්‍යාපනය තුලට ගෙන ඒමෙනි.

One Response to “අපගේ නිදහස් චතුරශ්‍රය සැබෑ නිදහසේ සංකේතය වන්නේ කවදාද?”

  1. Christie Says:

    1. කලිසම චීනය පැත්තෙන් ආ දෙයක්, සුද්හගෙ නෙමෙයි.

    2. නම වෙනස් කිරීමෙන් පිලිකාව හොඳ වන්නේ නැත.

    3. මරාටී හා දෙමල සෙපය්යො වෙල්ලස්ස විනාස කලෝය.

    4. නම් වෙනස්කිරීමෙන් ඉතිහාසය වෙනස් වන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress