යා දෙක නොරත රත; වත්මන් දේශපාලන අර්බුධය විනිවිද දකිමු – 1
Posted on November 15th, 2018

ආචාර්ය චමිල ලියනගේ

මේ පබැඳුම අලගියවන්න මුකවෙට්ටිතුමාගේය. කාලත්‍රය දැකීමට සමත් පඬිවරුන්ගේ සංකල්පනාවන්හි අදාළත්වය සර්ව කාලීන වන්නේය; සර්ව භෞමික වන්නේය. ලාඞකේය දේශපාලනයේ අද උද්ගත වී ඇති තත්ත්වය විග්‍රහ කරගැනීමෙහි ලා මේ සංකල්පය වෙසෙසින්ම  ගැලපෙන බව අපගේ අදහසයි. ඊට හේතුව පසුගිය 2018.10.26 දින අපේ රටේ දේශපාලනතන්ත්‍රයේ සිදුවූ අනපේක්ෂිත ‘විප්ලවයට’ පාදක වූයේ ‘නොගැලපීමක්’ නිසාය. එම පරිවර්තනය මෑත කාලීන දේශපාලනික හෝ දේශපාලනික නොවන ප්‍රවෘත්ති අතර උණුසුම්ම පුවත බව අප අවිවාදයෙන් පිලිගන්නේ තවමත් එම උණුසුම පහව ගොස් නොමැති බැවිණි.

එහෙත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඊනියා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමද, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමද,  පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කිරීමද යන ප්‍රධාන සිද්ධීන්ද, අමාත්‍යවරුන් පත්කිරීම වැනි අවශේෂ ජවනිකාද පදනම් කරගත් ඒ තරමක් ත්‍රාසජනක අත්දැකීම සම්බන්ධයෙන් නිවැරදි විග්‍රහයක් සමාජගතවී ඇත්ද? ජනාධිපතිවරයා ගත් තීන්දුව වැරදියැයි කියන්නට ව්‍යවස්ථාව පෙරලන එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන්ගේ හා එම පක්ෂයට හිතවත් සමාජ ක්‍රියාකාරීන්ගේ අවලාද එක් අතකින්ද, එම ව්‍යවස්ථාවම පෙරළා, ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි බව හඬගා කියන වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින්ගේ තර්ක අනිත් අතින්ද ඇසෙන පොර පිටියක ස්වරූපය සමස්ත ජනමාධ්‍ය භූමි දර්ශනය තුළ පෙනෙන්නට තිබේ. ඊට අමතරව යමක් ඇත්නම්, ඒවා අමාත්‍යාංශ වල වැඩ භාරගැනීම්ය; දිව්රුම්දීම්ය. මෙවන් සංධර්භයක් තුළ මීට වැඩි යමක් අපේක්ෂා කරන, සබුද්ධික පුරවැසියකු මේ රටේ නැද්ද? අප සිතන්නේ කවුරුන් කෙසේ තක්සේරු කළත්, උද්ගත තත්ත්වය පිළිබඳ නිවැරදි විග්‍රහක්  අපේක්ෂා කරන ප්‍රජා-තන්ත්‍රයේ පරමාධිපත්‍යය බලය හිමි  බුද්ධිමත් පුරවැසියන් බොහෝ පිරිසක් සිටිනා බවය.   

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමෙන් පසු ඔක්තෝබර් 28 වනදා ජාතිය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාවෙන් හා පසුගිය නොවැම්බර් 5දා පාර්ලිමේන්තු වටරවුමේ ‘ජනමහිමය’ රැළිය අමතා එතුමා කළ කතාවෙන් මතුවන කාරණා හුදු දේශපාලන ප්‍රලාප අභිබවා ගිය කරුණු කිහිපයක් මතු කරයි. මෙම අවස්ථාවන් ද්වයෙහීදීම එතුමාගෙන් කියවුනු ප්‍රධාන කරුණ වන්නේ ඊනියා ජාතික ආණ්ඩු වසර තුනහමාර තුළ එක්සත් ජාතික පක්ෂය තම පක්ෂයටත්, විධායකයේ ප්‍රධානියා ලෙස තමන් හා ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර වූ වෙනසයි. ජනාධිපතිතුමාගේ වදන්ම උපුටා දක්වන්නේ නම්, ඒ වෙනස ප්‍රතිපත්තිමය හා සංස්කෘතික වෙනසකි! එපමණක් ද නොව, ඒ වෙනස, පරස්පරය අවම කිරීම සඳහා ගනු ලැබූ සෑම උත්සාහයක්ම අසාර්ථක වී ඇත. මේ රටේ පුරවැසියා ඉදිරියේ දිව්රා සමාරම්භ කරනු ලැබූ ‘යහපාලනය’ මාස තුනක් වැනි කෙටි කාලයකදී බිඳවැටුන බවද ජනාධිපතිතුමා පවසයි. ඉහත කී අවස්ථාවන් දෙකට අමතරව, 2017 වසරේ දෙසැම්බරයේ මගේ කඩුවට කවුරු කැපෙයිද කියන එක මා දන්නේ නැහැ. මොන පක්ෂයේද, මොන වර්ණයේද, කාගේද, මගේ ඥාතීන්ද, කවුද කියන ප්‍රශ්නය මට නැහැ. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා රටේ ජාතියේ අනාගතය උදෙසා කඩුව අතට ගන්නවා” යැයි කළ ප්‍රකාශයද, ඔක්තෝබර් 26 දාට හරියටම මාසයකට ප්‍රථම එක්සත් ජාතීන්ගේ 73 වන සමුළුව අමතා කිසිදු විදේශ බලපෑම්, විදේශ තර්ජන ස්වාධීන රටක් විදියට අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අප සෑම අතින් ම ශක්තිමත් රටක් විදියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, අපට තියෙන ප්‍රශ්න විසඳගන්න අපට ඉඩ දෙන්න” යැයි කළ ප්‍රකාශයද මේ සන්ධර්භය තේරුම් ගැනීමේදී වැදගත් බව අපි සිතන්නෙමු.

මහ බැංකු මහ කොල්ලය පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ හා හිටපු මුදල් අමාත්‍යවාරයාගේ භාවිතාව හා ස්ථාවරය,  ජනාධිපති කොමිශන් සභාවක් පත්කිරීම එ.ජා.ප ප්‍රධානින්ගේ බලවත් අප්‍රසාදයට ලක්වූ ආකාරය, ඒ පිළිබඳ නිසි පියවර ගැනීමට සිදුකළ අල්ලස් හා දූෂන අණපනත් සංශෝධන පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ හමස් පෙට්ටියට ගිය අයුරු,  එම පනත් සම්මත කිරීම් දින නියමයක් නොමැතිව කල්යෑම, ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය විකුණා දැමීම පිළිබඳ කුප්‍රකට ගණුදෙනුව ආදිය පිළිබඳ සිද්ධීන් උක්ත නොගැලපීමට පදනම් වූ හේතු සමහරක් ය. ස්ථාපනය කර තෙමසක් ගතවෙද්දී, වියවුල් වන්නට පටන්ගත් යහපාලන ‘දිගය’ කෙසේ හෝ හරිමගට ගැනීමට ජනාධිපතිතුමා බොහෝ කරුණු දැඩිව ඉවසා දරාගෙන තිබේ. ඒ අතරතුර, 2018 මුළදී පැවැත්වූනු පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් ප්‍රතීයමාන වන පණිවුඩය තේරුම්ගැනීමට එ.ජා.ප නායකත්වයට බලපෑම් කිරීමටද, කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස වැනි විකල්පයක් අග්‍රාමාත්‍ය තනතුරට පත්කර නොගැලපීමේ පරතරය අවම කරගන්නටද එතුමා උත්සහ දරා තිබේ. තමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ඔක්තෝබර් 26 දින  තමා විසින් ගනු ලැබූ දැඩි තීරණයට ආසන්නතම හේතුව බවද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

එම නොගැලපීම් සඳහා හේතුව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන දෘෂ්ටිවාද, දිශානතීන් අතර ඇති ඓතිහාසික පරස්පරතාව යැයි ඇතැම් දේශපාලන විචාරකයෙක් පෙන්වා දෙන්නට පිළිවන. එහෙත් අප දකින්නේ ජනාධිපතිතුමා විස්තර කළ නොගැලපීමද ඇතුළත් පසුගිය දශක ගණනාවේ අප අත්දුටු සියලු දේශපාලනික ත්‍රාසජනක ජවනිකා, අපේ රටේ ජනමතය පාලන තන්ත්‍රය තුළ නියෝජනය කරන්නට හා පුරවැසියාට වගකියන්නට,  උත්තරාරෝපිත මෙම දේශපාලන ක්‍රමය හා එහි නිමග්න සාතිශය බහුතරයක් කළු සුද්දන්ද අනාර්යයන්ද, දක්වන පූර්ණ අසමාර්ථ්‍යතාව නිසා උපන් ආසාත්මිකතාව නිසා වරින් වර උද්ගත වී උත්සන්න වන රෝගී තත්ත්ව ලෙසිනි. මහා සම්මත ප්‍රජා-තන්ත්‍රයක පුරවාසීන් වූ අප, පැරණි ග්‍රීසියේ 72%ක් කම්කරුවන් රවටා දුර්දාන්ත ලෙස පාලනයට 28%ක් වු ධනපතියන් විසින් අටවාගත් ‘ඩිමොක්‍රසි’ නම් න්‍යායවාදය හා බ්‍රිතාන්‍යය වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ගිලදමා දිරවාගත නොහැකිව සිටිමු.

ඒ දේශපාලන අජීර්ණයද, විවෘත ආර්ථිකය නම් වූ කොඩිවිනය ද නිසා  ඊනියා ලෝක බලවතුන්ගේ අත්රූකඩයක් බවට පත්වූ (බොහොමයක් තුන්වන ලෝකයේ රටවල් මෙන්ම) අපේ රටේද පුරවැසියා, පරම්පරා ගණනාවක් යනතුරු ජාත්‍යන්තර මූල්‍ය සංගතයන්හි ණයගැතියකුද, අභ්‍යන්තර වශයෙන් වාර්ගික, පක්ෂ ආදී අනවරත ගැටුම් ඇතිකරගත් විපිළිසර වින්දිතයකුද වී සදාකාලික වහලකු ගේ තත්ත්වයට පත්ව සිටී. අපේ පාලකයින් අප පත් කරන්නේ යැයි සිතුවද, එය හුදෙක් එක් භ්‍රාන්තියක් පමණි. අපේ පාලකයින් යනු යථෝක්ත ඊනියා බලවතුන්ගේ හා ආයතනයන් අප සූරාකෑම නියාමනය කිරීමට උන්ගේ අනුසරණින් නම් කර ඇති ඒජන්තයකු පමණකි. ඔහු උඩමලුවට යන්නේ, දළදා වහන්සේ වන්දනා කරන්නට යන්නේ කෝවිලයක කට්පූර තට්ටුවකට අත ගසන්නේ පලිල්යක යාඥා කරන්නේ ස්වකීය යටත්වැසියා රැවටීමට පමණි. ඔහු, ඔහුගේ ගැලවීමද, පැවැත්මද, ආරක්ෂාවද අපේක්ෂා කරන්නේ අයදීන්නේ තානාපතිවරුන්ගේ ඉදිරිපිට දණින් වැටීගෙන දුක කියමින් ය.

අපේ රටේ බලය වෙනස් වූ සුසමාදර්ශීය තත්ත්වයන් විග්‍රහ කරන්නේ නම්, අපි පලමුව එය මහා සම්මත යුගයක්ද, පසුව සේනා සම්මත යුගයක්ද, ඉන් අනතුරුව රාජ සම්මත යුගයක්ද, අවසාන වශයෙන් 1800න් පමණ පසු ප්‍රභූ සම්මත යුගයකටද අවතීර්ණ වූයේ වෙමු. ඉංග්‍රිසි යටත් විජිත සමයේ මතුව එන ප්‍රභූ සම්මත යුගයේ පසුකාලීන අත්දැකීම් අනුව ඒ ප්‍රභූ සම්මත යුගයේ පරාධීන ප්‍රභූන්ද ස්වාධීන ප්‍රභූන්ද හඳුනාගත හැකිවේ. ඉහත විස්තර කළ පරිද්දෙන්, විදෙස් බලවේග ඉදිරිපිට දණින් වැටීම සිය ප්‍රතිපත්තිය කරගන්නා වූද, ඒ ප්‍රවාහයන්හි ප්‍රතිපත්ති සංස්කෘථික පාදඩකම් අනුගමනය කරමින් ඒවා ව්‍යාප්ත කරළීමට කැපවූ තමන්ට හසුරුවාගත හැකි පාලකයින් පරාධීන ප්‍රභූන් වන අතර, ඒ අධිරාජ්‍යවාදී බලවේග නොතකන්නා ස්වාධීන ප්‍රභූවරයකු වේ. අප දකින ආකාරයට ජනාධිපතිතුමාගේ තීරණය පිටුපස ඇත්තේ මේ ස්වාධීනත්වය හා පරාධීනත්වය අතර පරස්පරය යි. එ නිසාම, යහපාලනය සඳහා ජනතාවට වූ පොරොන්දුව මහා මූල්‍ය සොරකම් වලින් හා තවත් බොහෝ නොපනත්කම් වලින්, නීතියේ අධිපත්‍යය බිඳවැටීමෙන් විනාශවත්ම ජනාධිපතිතුමාගේ හෘද සාක්ෂිය අවදි වූයේ ය. නව ව්‍යවස්ථා මර උගුල වැනි මාතෘභූමියේ ස්වෛරීත්වය විනාශ කරදමන්නා වූ මන්ත්‍රණ  හා පාදඩ සංස්කෘතික  වසංගතයන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වැනි නොපනත්කම් නිසාද රට ජාතිය හා ශාසනය වෙනුවෙන් ස්වකීය යුතුකම ඉටු කරන්නට එතුමා අවශ්‍යම අවස්ථාවේදී විධායකයේ කඩුව අතට ගත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගනොකියා ජනතා පරමාධිපත්‍යය තුට්ටුවකට මායිම් නොකරන, තම පක්ෂයේ ව්‍යවස්ථාවට වගකියන දේශපාලනඥයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිහිපත් වන්නේ බලය අහිමි වෙද්දී ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් ලියා තිබුනද, රටේ සිදුවන දේ ඇත්ත ඇතිසැටියෙන් දැක ඒ අනුව තීන්දු ගැනීමේ හැකියාව හා අයිතිය එළඹ සිටි සිහියෙන් සිටින රාජ්‍ය නායකයා සතු බව අපි විශ්වාශ කරන්නෙමු. තම ජීවිතයද අනතුරට පාත්‍ර වෙමින්, රටද ආගාධයට යනු දැනෙන්නේ නම් ඒ සඳහා වහා ක්‍රියාකිරීම සබුද්ධික පාලකයාගේ වගකීමයි. එය නීතිමය වශයෙන් අභියෝගයකට ලක්කිරීම, මුත්තා එරුණු පසු පොත පෙරළන පොල්බෑ මූණලාගේ, රබ්බඩ අයියලාගේ, කෝටු කිතයියලාගේ වැඩකි. නව තත්ත්වය සම්මත කිරීම හා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ බහුතරය සෙවීමද අප දකින්නේ විහිලුවක් ලෙසය. එයද යටකී මහදැන මුත්තාගේ උපාය තේරීමකි. පාර්ලිමේන්තුවේ බහුතරයට පෙර මෙම වසර මුළදී පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තුළ ප්‍රකාශිත ජනමතය තේරුම් ගතයුතුය. ඉන් තෝරාගත්තේ පලාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් වුවද, පක්ෂ වෙත ලැබුනු ඡන්ද ප්‍රමාණය අනුව, ජනාධිපතිතුමා මෙම තීර්ණය පෙබරවාරි මස 12, 13 වැනි දිනකදී ගත්තා නම් එයද සාධාරණ බව අපගේ අදහසයි.  

පළාත් පාලන මැතිවරණය වැනි අවස්ථාවකින් ජනමතය ප්‍රකාශ නොවූයේ වුවද, රාජ්‍යයේ ප්‍රධානියා වශයෙන් රටෙහි පාලන තන්ත්‍රයේ සංස්කෘතිකමය ඉදිරි දර්ශනය හා රාජ්‍ය පාලනය, ආර්ථික කළමනාකරණය වැනි කාරණා සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ අනුව රාජ්‍යයේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය මෙන්ම ශ්‍රී ලඞකාව වැනි සංස්කෘතිකමය වශයෙන් සංවේදී රටක සංස්කෘතික අනන්‍යතාව සළකා විධායක තීන්දුවක් ගැනීමට කොන්ද පන ඇති නායකයකුට හැකියාව තිබිය යුතුය. ඇත්ත වශයෙන්ම මේ රටේ සාතිශය බහුතරය ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 අපරභාගයේ ගනු ලැබූ තීරණය අගය කරන්නේ (රතිඤ්ඤා පත්තු කිරීමෙන් හා කිරිබත් කෑමෙන් ඔබ්බට) තම තම නැණ පමණින් වටහා ගත් අනතුරින් ගැළවීම නිසාය. (ඒ අනතුර පශ්චාත් නූතනවාදී, ලිබරල්, කල්ලතෝනීන්ට නොතේරෙන බව අපි දනිමු). එම දේශපාලන තීන්දුව සාධාරණීකරණය කෙරෙන ප්‍රධානතම සාධකය ජනතා ආශීර්වාදය නොහොත් ජනමතයේ බහුතර ඉච්ඡාව මිස පාර්ලිමේන්තුවේ පක්ෂ කරපින්නා ගත්තවුන්ගේ 113 නොවන බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

මහා පරිමාණ මූල්‍ය වංචා, බදු බර, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාන්ඩ හා ඉන්ධන මිල ඉහලයෑම ආදී තත්ත්වයන් ජනතාව අත්විඳී පීඩනයේ ද්විතීයක තත්ත්වයන් වූ අතර, සියල්ලන්ට දැඩි ලෙස දැනුනේ, ව්‍යවස්ථා මර උගුල, ථේරවාදී කතිකාවත් පනතින් ශාසනය පාලනය කිරීමේ උත්සුකතාව, රණ විරුවන් දඟගෙයි ලෑම හා දෙමුහුම් අධිකරණ පෝරකයට දක්කමින්, කොටි ත්‍රස්තයින්ට වන්දි දීමේ පිළිවෙත, උතුරු නැගෙනහිර  හා සමස්ත දේශයේම ජාතික හා රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළීම, බෞද්ධ සිද්ධස්ථාන ප්‍රමුඛ ජාතික උරුම සංහාරය, ජාතික සම්පත් කුණු කොල්ලයට විකුනා දැමීම, මේ රටේ සාතිශය බහුතරය වන සිංහලයන්ගේ සමාජ දේශපාලනික ස්ථාවරත්වය සොලවාලන අණපනත් සම්මත කිරීම, සමලිංගික සමුළු සම්මන්ත්‍රන කොළඹ පැවැත්වීම ආදී මරු පහරවල් ය. මේ දේශපාලන තීන්දුව යුක්ති යුක්ත වන්නේ ඒ පීඩාවන් තීව්‍ර ලෙස දරාගෙන සිටි ජනතාව මේ පරිවර්තනය ඉක්මනින් අපේක්ෂා කළ නිසාය. ජනතා ඉච්ඡාවෙන් තොර ව්‍යවස්ථාව කඩදාසි ගොන්නක් පමණි.

කවුරුන් කුමක් කීවද, දශක දෙකහමාරක් තිස්සේ විවිධ සාවද්‍ය හේතු ගෙනහැර පාමින් හිඟන්නාගේ තුවාලයක් බවට පත් කරගත් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය මිලිටරිමය වශයෙන් නවතාලන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකිවිය. එනිසාම එතුමාට ඉතිහාසය තුළ හිමිවන තත්ත්වය කිසිවකුටත් අභියෝගයට ලක් කළ නොහැක. නමුත් 2015 වසර සමාරම්භයේ සිදුවන දේශපාලනික පර්වර්තන සමගින් උදා වන්නේ 2009 මිලිටරිමය වශයෙන් සමාප්ත කළ බෙදුම්වාදී ක්‍රියාකාරීත්වය දේශපාලනිකව, හා ජාත්‍යන්තර මැදිහත්වීම සමග රාජ්‍යතාන්ත්‍රිකව වඩාවර්ධනය වන යුගයකි. ඒ අති බිහිසුනු දේශපාලනික සංග්‍රාමය කරන්නට 2015දී පරාජය වන රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්ථානයවත් හිමි නොවේ. ඒ වෙනුවට විපක්ෂ නායකත්වය හිමිවන්නේ හොරාගේ අම්මා වූ සම්පන්දන්ට ය. එක්සත් ජාතික පක්ෂයේත් ද්‍රවිඩ ජාතික සන්ධානයේත් දේශපාලන මංගල්ලයට පිරුවට රෙදි වියන් පාවාඩ සපයන්නා වන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකත්වය හිමිවන වන ජනතා විමුක්ති පෙරමුණයි. ඒ ආකෘතිය සකස් කරගැනීමට එක්සත් ජාතික පක්ෂය ඔස්සේ ක්‍රියාත්මක වුනු බෙදුම්වාදයේ බලල් අත් සූක්ෂම විය. එහෙත් 2009 දී බෙදුම්වාදය ප්‍රාන දාන, කාය දාන, සේවා දාන දී මිලිටරිමය වශයෙන් පරාජය කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත් වූවා සේම, රටේ අනාගතය සම්බන්ධයෙන් වූ ඊළග දේශපාලන පරමානු බෝම්බය නිශ්ක්‍රිය කරන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමත්විය. ඒ ඓතිහාසික තීරණයෙන් එතුමාට ඉතිහාසයේ හිමිවන ස්ථානයද කිසිවකුටත් අභියෝගයට ලක්කල නොහැකි බව අපගේ අදහයි. ඔක්තෝබර් 26 දායින් පසුව ඉතා නින්දිත අයුරින් ජනාධිපතිතුමාට පරිභව කළ දේශපාලනඥයින්ගේ වේදනාව රටපාවාදී තම බඩ වඩාගැනීමේ බලාපොරොත්තුව ඉටු නොවීමේ වේදනාව හා ඉන් උපන් වෛරය මිස අන් කිසිවක් නොවේ. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සිටින සුවහසක් දේශප්‍රේමී ශ්‍රී ලාඞකිකයන් තේරුම් ගත යුත්තේ, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අසුනේ හිඳුවාලීමට දායක වූ එක්සත් ජාතික පක්ෂයට එතුමා ද්‍රොහී වූ බව නොව, අන් සියලු සාධක පසෙකලා තම මාතෘ භූමියේ ස්වෛරීත්වය ගැන සිතූ බවය.

පාර්ලිමේන්තුවට පිහි ගෙන ඒමේ ප්‍රජාතන්ත්‍රවාදය ඊළග කොටසින්…

ආචාර්ය චමිල ලියනගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress