ජනාධිපතිතුමා රැකිය යුත්තේ එක එක පක්ෂවල ප්‍රතිපත්ති නොව ව්‍යවස්ථාවයි
Posted on November 15th, 2018

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය උපුටාගැණීම  මව්බිම

ජනාධිපතිවරයා මෑත කාලයේදී ගත් තීන්දු හා තීරණ ව්‍යවස්ථාවට අනුකූලව නිවැරැදි ක්‍රියාදාමයන් බව එළිය සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් එරන්ද ගිනිගේ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ (13දා) එළිය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගිනිගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

එරන්ද ගිනිගේ මහතා මෙසේද පැවසීය.

“දැන් අපේ රටේ ඇති වී ඇති තත්ත්වය සමහරු අර්ථකථනය කරනවා ව්‍යවස්ථා අර්බුදයක් ලෙස. මේ කතා කරන බොහෝදෙනා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව කියවලා නැහැ.

ඔබ ව්‍යවස්ථාව අරගෙන කියවන්න. සමහරු කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 තමයි උත්තරීතර කියලා. එය සම්පූර්ණයෙන්ම වැරැදි ප්‍රකාශයක්. ශ්‍රී ලංකා ජන රජයේ උත්තරීතර නීතිය හා ආයතනය ව්‍යවස්ථාවයි. එහි තිබෙනවා ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. මේ රජයේ පාලනය කිරීමේ අවසාන බලය තිබෙන්නේ ජනතාවටයි. මේ ව්‍යවස්ථාවෙන් තරම් බලය බෙදලා නැහැ වෙන කිසිම ව්‍යවස්ථාවකින්. සියලුම ජනතාවට එක හා සමානව බලය බෙදලා තිබෙනවා ව්‍යවස්ථාවෙන්. එයයි ප්‍රජාතන්ත්‍රවාදය කියායි තිබෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බරපතළ වචනයක්. ඒ වචනය ජනතාවට තේරුම් ගැනීමට ටිකක් අමාරුයි.

ජනතා පාලනය කියලා කිව්වා නම් එය නිවැරැදියි. ජනතාව විසින් සිදුකර ගන්නා පාලනයක් විය යුතුයි එය. එය කරන්නේ කොහොමද කියලා ව්‍යවස්ථාවේ පැහැදිලි කරලා තිබෙනවා. එය ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ හා ජනමත විචාරණයකයි. ජනතාවගේ විධායක බලය ජනාධිපති හරහායි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තියෙන්නේ ජනතාවගේ අධිකරණ බලයයි.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සකස් කරලා තිබෙන්නේ 1978 ව්‍යවස්ථාවෙනුයි.

අපිට ඉන්නේ ජනතාව විසින්ම පත්කර ගත් නායකයකුයි. ජනාධිපතිවරයායි රටේ නායකයා. ජනාධිපතිවරයායි රටේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න බැඳී සිටින්නේ.

එතුමා ඉන්නේ එජාපයේ හෝ ශ්‍රී ලනිපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවේ.

ජනාධිපතිතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුයි.

මේ වෙනස හදිසියේ ඇතිවුණේ නැහැ. මේ වෙනස ජනතාව බලාපොරොත්තු වුණේ අවුරුදු 3ක විතර ඉඳලායි.

නොගැළපෙන කඳවුරු 2ක් එකතු වෙලා හදපු අසාර්ථක වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කරමිනුයි සිටියේ. ඒ මහ බැංකුවේ සිදුවුණු මහා සොරකම නිසායි. ඒ නිසා මේ රටේ ව්‍යවසායකයා ඉතා අසරණ තත්ත්වයකට පත් වුණා. ඒ නිසා පොලී අනුපාත වැඩිවුණා. ව්‍යාපාරවලට ක්‍රියාත්මක වෙන්න ප්‍රාග්ධනයක් නැති වුණා.

බදු බර වැඩිවුණා. ජීවන වියදම වැඩි වුණා. ඒ නිසායි මේ වෙනස සිදු වූවායින් පස්සේ මිනිස්සු ප්‍රීති ඝෝෂා කළේ. ඒ අප්‍රසාදය පසුගිය මැතිවරණයෙන් අපි දැක්කා.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය සහ ඔවුන්ගේ එන්.ජී.ඕ. නඩයයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ.

2015දී මේ රටේ වුණු පාලන වෙනස ඇමෙරිකාව ආදී රටවල් ඒ රටවල ජනතාවගේ බදු මුදල් යොදා ගෙන කරපු දෙයක්. එය එදා ජෝන් කෙරී පවා ප්‍රකාශ කළා. ඇයි එහෙම කළේ.

2009දී අපි ලබපු නිදහස ඔවුන්ට දරාගන්න බැරි වුණා. මේ රට දියුණු රටක් බවට පත්වෙනවාට ඔවුන් කැමැති නැහැ. ඇමෙරිකාවට තමන්ගේ ජීවන රටාව පවත්වා ගන්නට නම් අනිත් රටවල් දියුණු නොවී තිබිය යුතුමයි. ඇමෙරිකාව වගේ මුළු ලෝකයම දියුණු වුණොත් පෘථිවියන් හතරක පමණ සම්පත් අවශ්‍ය වෙනවා. එයයි විද්‍යාව.

පසුගිය කාලයේ මේ රටේ ඇත්ත විපක්ෂය විදියට වැඩ කළේ ඒකාබද්ධ විපක්ෂයයි. ජනතා විමුක්ති පෙරමුණට අද මොකක්ද වෙලා තියෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ අද එජාපයේ කුක්කන් වෙලා. 20 වැනි සංශෝධනය ඔවුන් ගෙන ආවේ ඒ නිසායි.

ජ.වි.පෙ. 1977දීත් එ.ජා.ප.ය සමඟ කුමන්ත්‍රණ කළා. 1983 දෙමළ කෝලාහල පිටුපස ජ.වි.පෙ. සිටියේ කොහොමද කියලා අපි දන්නවා. අදත් ජ.වි.පෙ. එ.ජා.ප.ය සමඟ කුමන්ත්‍රණ කරනවා.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress