විශ්වාසභංග තුණ්ඩුවට පසු …
Posted on November 20th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

තුණ්ඩුවෙන් කඩ වහන කාලයක් තිබුණා. ඒ, මීට අවුරුදු 30 කට විතර කලින්. ඒ කාලයේ අපේ රටේ තත්ත්වය බොහෝම අස්ථාවරයි. එක පැත්තකින් කොටි සංවිධානය අවි අමෝරාගෙන උතුරු සහ නැගෙනහිර පළාත්වලට වෙලා හිටියා. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ දියත්කරපු ආයුධ සන්නද්ධ අරගලයක් දකුණු පළාත්වල ක්‍රියාත්මක වුනා. ඒ අරගලය මර්දනය කරන්න කියලා හිතාගෙන ආණ්ඩුවත් හරි හරියට මිනී මැරුවා. ඒ මදිවට සාමසාධක ලේබලයක් අලවගෙන ආපු ඉන්දියන් හමුදාව උතුරු සහ නැගෙනහිර පළාත්වල පැළපදියම්වෙලා හිටියා. ප්‍රා, කළු බළල්ලු වගේ නම් දාගත්ත සංවිධානත් අඩුවක් නැතුව ක්‍රියාත්මක වුනා. ඒ ඔක්කොම මැද්දේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ බල අරගලයකුත් ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ඉතින් 1988 දෙසැම්බර් මාසයේ 19 වැනි දා පවත්වන්න නියමිත වෙච්ච ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගත්තේ නොවැම්බර් මාසයේ 10 වැනි දා උදේ වරුවේ. රණසිංහ ප්‍රේමදාස මහත්තයාත්, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත්, ඔසී අබේගුණසේකර මහත්තයාත් ඒ ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදුන්නා. අන්තිමේ දී වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවලා ඡන්ද 21,810 ක් ලබාගත්ත ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා.

ඒක මහා කලබල කාලයක්. ඉතින් ඇඳිරි නීතිය පනවන එකත් දවල් රෑ නැතුව සිද්දවුනා. ඇඳිරි නීතිය පැනෙව්වේ ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණත් හරි හරියට ඇඳිරි නීති පැනෙව්වා. ආණ්ඩුව ඇඳිරි නීතිය පැනෙව්වේ ජනමාධ්‍ය හරහා නිවේදන නිකුත්කරලා. ජනතා විමුක්ති පෙරමුණ ඇඳිරි නීති පැනෙව්වේ පොඩි පොඩි තුණ්ඩු කෑලි බෙදලා. තුණ්ඩු කෑල්ලක් ලැබිච්ච ගමන් ම බයවෙන මිනිස්සු තමන්ගේ වෙළෙඳසල් වහලා දානවා. බස් දුවන එක නවත්තනවා. කර්මාන්ත ශාලා වහලා දානවා. ඉතින් මිනිස්සු රස්සාවලට යන එකත් නවතිනවා. ඒත් මේ වැඩේ බොහොම සාමකාමීව සිද්දවෙන්නේ නෑ. මොකද මේ තුණ්ඩු කෑල්ලෙන් කඩ වහන වැඩේට ඉඩදෙන්න පුළුවන්කමක් ආණ්ඩුවට නෑ. ඉතින් ආණ්ඩුවට සම්බන්ධ බලය ක්‍රියාත්මක කරපු පිරිස් කඩ අරින්න, බස් දුවන්න, වැඩපොළවල් අරින්න කියලා මිනිස්සුන්ට බලකරනවා. කඩ ඇරියත් වෙඩිකන්න වෙනවා. කඩ වහගෙන හිටියත් වෙඩිකන්න වෙනවා. ඉතින් ඒක මහා භයානක කාලයක්!

1988 අවුරුද්දේ මේ කලබල සිද්දවෙන කාලය වෙද්දි අපේ අනුර කුමාර දිසානායක මහත්තයා ගජ ඉලංදාරියෙක්. හරියට ම වයස අවුරුදු 20 යි. ඉපැදිලා තියෙනවා කියන්නේ 1968 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 24 වැනි දා කියලා කියනවානේ. ඉතින් ඒ වෙද්දි එතුමා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවුනා විතරයි කියලා කියන්නත් පුළුවන්. ඉස්කෝලත් නිතර නිතර ම වහපු හින්දා ඒ වැඩේ වුනත් හරියට කරගන්න අමාරුවෙන්න ඇති. විජිත හේරත් මහත්තයා ඉපැදිලා තියෙන්නෙත් 1968 අවුරුද්දේ ම තමයි. හැබැයි එතුමා අපේ අනුර මහත්තයාට වඩා මාස කීපයකින් වැඩිමහළුයි. මොකද විජිත මහත්තයා ඉපැදිලා තියෙන්නේ මැයි මාසයේ. ඉස්කෝලේ ගමන ඉවරවෙච්ච ගමන් ම හින්දා ඔය තුණ්ඩු බෙදන වැඩවලට මේ දෙන්නා සම්බන්ධ වුනා කියලා හිතන්න අමාරුයි.

දැන් කොහොම හරි මේ මහත්තුරු දෙන්නාගේ වයසත් අවුරුදු පනහක් වෙලා. එකතුව නෙවෙයි. වෙන වෙන ම. විජිත මහත්තයා අවුරුදු 18 ක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වුනාට, අනුර මහත්තයාගේ පාර්ලිමේන්තු ආයුෂ තවමත් අවුරුදු 14 යි. කොහොම වුනත්, දැන් අනුර මහත්තයා තමයි විජිත මහත්තයාගේ ලොක්කා. පක්‍ෂ නායකයා.

මේ අවුරුද්දේ තමන්ගේ ජීවිතයේ රන් ජුබිලිය සමරන විජිත මහත්තයායි, අනුර මහත්තයායි එකතුවෙලා පහුගිය නොවැම්බර් 14 වැනි දා කතානායකතුමාට යෝජනාවක් භාරදුන්නා. 15 වැනි දා තව එකක් භාරදුන්නා කියලාත් කියනවා. ඒවා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනා කියලායි කියන්නේ. ඒත් ඒ ලියැවිලි දෙක විශ්වාසභංග යෝජනා විදිහට ආණ්ඩුව පිළිගන්නේ නෑ. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කරන පිළිවෙලක් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. ඒ වැඩේ කරන්නේ මෙහෙමයි කියලා පැහැදිළි කරලා පියවර 12 ක් තියෙන ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් ප්‍රසිද්ධ කරලා. ඉතින් දැන් සමහරු කියන්නේ අනුර මහත්තයයි විජිත මහත්තයයි එකතුවෙලා තුණ්ඩුවක් දීලා ආණ්ඩුව අයින් කරන්න උත්සාහ කළා කියලා.

ඒ කතාව කොහොම වුනත් මේ ‍සෙල්ලම හින්දා පහුගිය දවස් කීපයේ ම අපේ පාර්ලිමේන්තුව ගිණිගත්තා. සමහරු පාර්ලිමේන්තුවට පිහි ගෙනාවා. ඊට පහුවදා තවත් සමහරු පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාවා. මුන් කට්ටිය එකතුවෙලා පාර්ලිමේන්තුව ඇතුළේ අපිට හොරෙන් අඹ කනවා” කියලා මේක දැකපු සමහර මිනිස්සු කියන්න පටන්ගත්තා. ඒ කතා මොනවා වුනත්, කොහොම හරි ඇතිවෙලා තියෙන්නේ මහා අවුලක්. ජංජාලයක්!

අනුර මහත්තයායි විජිත මහත්තයායි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලාලු. ඒ වැඩේ කරවලා දීලා තියෙන්නේ සුමන්තිරන් මහත්තයාලු. පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝග හඳුන්වලා දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු විනයානුකූලවත් අර්ථාන්විතවත් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කියලා ඒ නියෝග ගැන කරන හැඳින්වීමේ ම කියලා තියෙනවා. එහෙම නම්, මොකට ද ඒවා අත්හිටුවන්නේ? ආණ්ඩුවට විරුද්ධ ඒ යෝජනාව විනයානුකූලව සහ අර්ථාන්විතව” සම්මත කරගන්න උවමනාවක් නැති ද?

කොහොම හරි විනයානුකූල සහ අර්ථාන්විත” නොවන විදිහට සම්මත කරගත්තා කියලා කියන ඒ යෝජනා පිළිගන්න බෑ කියලා ජනාධිපතිතුමා අවසාන තීන්දුවක් දීලා. විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගන්න ඕන පිළිවෙතත් පියවරෙන් පියවරට එතුමා පැහැදිළි කරලා දීලා. ඒ මොනවා කිව්වාත් ඉස්සරහට ආයෙත් විශ්වාසභංග යෝජනා ගේන්න අදහසක් නෑ කියලා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරු දැන් කියනවා. ඒ අය උත්සාහ කරන්නේ රජයේ අගමැතිවරයාට සහ ඇමැතිවරුන්ට අදාළ වියදම් වළක්වන යෝජනා වගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒවා සම්මත කරවාගන්න. ඒත් ආණ්ඩුව කියන්නේ ඒ විදිහේ මුදල් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් ආණ්ඩු පක්‍ෂයට විතරයි කියලා. ඉතින් ඒ හින්දා, මේ ගැන දැනුම්වත් වෙන්න අවස්ථාවකුත් අපිට ඉදිරියේ දී ලැබෙයි. ඒ හින්දා මේ පළහිලව්වට කොපමණ මුදලක් සහ කාලයක් වැය වුනත්, මේ හරහා ඉගෙනගන්න ලැබෙන දේවල් ගැන හිතද්දි නම් ඇතිවෙන්නේ එක්තරා ආකාරයක සතුටක්. මොන විදිහකින් හරි යමක් කමක් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන එකේ වැරැද්දක් නෑනේ.

ස්ථාවර නියෝග අත්හිටුවලා මේ විදිහේ සෙල්ලම් කරපු තවත් අවස්ථා ගැන අපිට ඉතිහාසයෙන් බලාගන්න පුළුවන්. මේ ගැන තේරුම්ගන්න 19 වැනි සංශෝධනය, කතානායක කරු ජයසූරිය මහත්තයා, ඒ වගේ ම අපේ අනුර මහත්තයා සම්බන්ධ වෙච්ච ඉතිහාස කතාවක් කියන්නම්.

මේ පවතින පාර්ලිමේන්තුවට කියන්නේ අටවන පාර්ලිමේන්තුව කියලා. අටවැනි පාර්ලිමේන්තුව කියලා කිව්වා නම් තමයි වඩා නිවැරැදි. ඒත් හැන්සාඩ් වාර්තාවේ පවා තියෙන්නේ අටවන” පාර්ලිමේන්තුව කියලා. මේ කට්ටිය එකතුවෙලා අටවන දේවල් ගැන හිතලා එහෙම කියනවා වෙන්නත් පුළුවන්. මේ අටවන” පාර්ලිමේන්තුව දෙවැනි වතාවට රැස්වුනේ 2015 සැප්තැම්බර් මාසයේ 3 වැනි දා බ්‍රහස්පතින්දා. එදා උදේ 9.30 ට සභාවේ කටයුතු පටන් ඇරගෙන පැයක් විතර කාලයක් වාද විවාද කරගත්තාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉංග්‍රීසි භාෂාවෙන් සභාවට යම් කාරණයක් දැනුම් දෙනවා. ඒ කාරණාව බොහොම කෙටි එකක්. එතුමා කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තිය ප්‍රකාරව එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉන්න හින්දා කැබිනට් ඇමැතිවරු ගණන 48 ක් ඉක්මවන්නේ නැති විදිහටත් කැබිනට් නොවන රාජ්‍ය ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු ගණන 45 ක් ඉක්මන්නේ නැති විදිහටත් පත්කරගන්නවා” කියලා.

මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හුටුවලා. ඒ බව මේ ප්‍රකාශයට විරුද්ධව මුලින් ම අදහස් ඉදිරිපත්කරපු අපේ අනුර මහත්තයාගේ කතාවේ ම සඳහන් වෙලා තියෙනවා. “දැන් මේ කාරණය ශ්‍රේෂඨාධිකරණය හමුවට ගිහින් විසඳාගත යුතු ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ සඳහා අර්ථ නිරූපණයක් ගත යතුව තිබෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ගන්න බැහැ. ස්ථාවර නියෝග අත්හිටුවලා. හෙට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම වෙනුවෙන් අද ඔබතුමන්ලා මෙම යෝජනාව ගෙනැල්ලා තිබෙනවා. ඒ නිසා මෙයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීම සඳහා අපට අවස්ථාවක් නැතිව ගිහින් තිබෙනවා.”

ඒ කියන්නේ, ජාතික ආණ්ඩුවට අදාළ ඒ යෝජනාව ගැන විනයානුකූල සහ අර්ථාන්විත” විදිහට සාකච්ඡා කරලා එකඟතාවකට එන්න තිබුණු ඉඩ වළක්වලා තිබිලා තියෙනවා. කොහොම හරි ඒ වෙලාවේ කට්ටිය වාදකරන්නේ සහ” සහ හෝ” කියන වචන දෙක භාවිත කරලා තියෙන විදිහ ගැන. ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් ජාතික ආණ්ඩුවකට එකතු නොවන හින්දා හෝ” කියන වචනය දැම්මා කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තර්ක කරනවා. ඒත් මේ කාරණයට අදාළ තීරක ස්ථානයේ තියෙන්නේ හෝ” කියන වචනය නොවන බවත් එම ස්ථානයේ තියෙන්‍නේ සහ” කියන වචනය බවත් අනුර මහත්තයා පෙන්නලා දෙනවා.

මේ වැඩේට දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ උදව්වත් අනුර මහත්තයාට ලැබිලා තියෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ජාතික ආණ්ඩු ගිවිසුමක් අත්සන්කිරීමේ වලංගුභාවයත් එතුමා ප්‍රශ්නකරනවා. අනුර මහත්තයාගේ උදව්වට විමල් වීරවංශ මහත්තයාත් එකතුවෙනවා. “ගරු කථානායකතුමනි, ඒ නිසා මෙතැන ව්‍යාකූලත්වයක් තියෙනවා. ඔබතුමා අඩුම තරමින් නීතිපතිවරයාගේ උපදෙස්වත් ගන්න. එහෙම නැතිව මේ යෝජනාව මෙතැන විවාදයට ගන්න දෙන්න එපා. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන රඟමඬලක් බවට පත්කරන්න දෙන්න එපා” කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා. ඒ හින්දා, අපේ අනුර මහත්තයා මේ කාරණය ගැන වාදකරන්නේ ඉතා හොඳ සහයෝගයක් හැම පැත්තෙන් ම වගේ ලබාගෙන කියලාත් අපිට කියන්න පුළුවන්.

මේ තමයි 19 වැනි සංශෝධනය මුල් කරගෙන ඇතිවෙච්ච මුල් ම ආරවුල. ඒ වගේ ම, මේ තමයි අභිනවයෙන් පත් කරගත්ත කතානායක කරු ජයසූරිය මහත්තයාට මුලින් ම පැවැරිච්ච තීරණයක් ලබාදීමේ කාර්යය. මේ කාරණයේ දී කතානායක කරු ජයසූරිය මහත්තයා ලබාදුන්න තීරණය ගැන අපි හොඳින් ම දන්නවා. “පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා ලද පිළිගත් දේශපාලන පක්‍ෂය … සහ පාර්ලිමේන්තුව පිළිගනු ලබන ඕනෑම පිළිගත් දේශපාලන පක්‍ෂයක් … සමඟ ජාතික ආණ්ඩුවක් නිර්මාණයකිරීමට හැකියාව ඇති බව මම නිගමනය කරමි” කියලා එතුමා අන්තිමේ දී තමන්ගේ තීන්දුව ලබාදෙනවා.

ඊට පස්සේ පටන්ගත්තේ ඒ යෝජනාව පිළිබඳ විවාදය. පැය පහක් විතර කතාකළත් ඒ යෝජනාව ගැන කරපු විවාදයක් නම් නෑ කියලා කියන්නත් පුළුවන්. හුඟක් මන්ත්‍රීවරු කළේ තමන්ගේ මංගල දේශනාව. අන්තිමේ දී ප්‍රශ්නය අහලා කටහඬවල් අනුව “පක්‍ෂ” මන්ත්‍රීන්ට ජය බව කතානායකතුමා විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒත් ඒ තීන්දුව ගැන ලක්‍ෂමන් කිරිඇල්ල මහත්තයා සෑහීමකට පත්වුනේ නෑ. ඒ හින්දා නම අනුව ඡන්දය ගැනීමකුත් කරන්න කතානායකතුමාට සිද්දවුනා.

මේ තමයි කරු ජයසූරිය මහත්තයා කතානායක විදිහට පවත්වපු මුල් ම විවාදය සහ ඡන්ද විමසීම. මේ වැඩේ සිද්දවෙලා දැනට අවුරුදු තුනකට වඩා ගතවෙලා. දැන් ආපහු හැරිලා බලද්දි අපිට පැහැදිළිවෙනවා මේ අටවන” පාර්ලිමේන්තුව වැඩ පටන් ඇරගෙන ම තියෙන්නේ 19 වැනි සංශෝධනය මුල් කරගත්ත අවුලකින්. දැන් මේ අටවන” පාර්ලිමේන්තුවේ වැඩ අවසන්වෙමින් තියෙන්නේත් 19 වැනි සංශෝධනය මුල් කරගත්ත තවත් අවුලකින්. එදා ඇතිවෙච්ච ඒ අවුල ගැන කරුණු කියන්න අපේ අනුර මහත්තයා සෑහෙන්න මහන්සි වුනා.

දැන් 19 ත්, කතානායකතුමාත්, අනුර මහත්තයාත් ආයෙත් ඉස්සරහට ඇවිල්ලා. තව අවුරුදු තුනක් ගතවුනාට පස්සේ මේ දේවල් ගැන, මේ අය ගැන අපිට මොනවා නම් කියන්න පුළුවන් වෙයි ද?

2018 නොවැම්බර් 20

One Response to “විශ්වාසභංග තුණ්ඩුවට පසු …”

  1. NeelaMahaYoda Says:

    වරුණ

    1988 දී වගේම මේ පාරත් ජැප්පෝ තුංඩු කෑල්ලෙන් ආන්ඩුව පෙරලන්නයි හැදුවෙ. මේක ලෝකයාටම ඇසෙන්න කිව්ව එකට බොහොම ස්තුතියි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress