අගමැතිකම දෙනවා කියා කථානායකව අන්දලා
Posted on November 20th, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

අගමැති තනතුර හිමිවන බවට ඇතැම් පිරිසක් විසින් කථානායක කරු ජයසූරිය මහතාව ‘අන්දවා’ තිබූ නිසා ඔහු ස්ථාවර නියෝග නොතකා පාර්ලිමේන්තුවේ අත්තනෝමතිකව කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඔහු එසේ කීවේ ඊයේ (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

දවස් තුනක කුණාටුව අවසන් වී නිශ්චල තැනකට පාර්ලිමේන්තුව ඇවිත් තිබෙනවා. කථානායකතුමා ගෙනගිය අත්තනෝමතික ක්‍රියාපිළිවෙත නිසා පාර්ලිමේන්තුවේ අඳුරුතම දින 3ක් අපි පසු කළා. රට අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය යම් තැනකට පැමිණ තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා.

අගමැතිවරයකු ඉවත් කරලා නව අගමැතිවරයකු ඇතුළු ආණ්ඩුවක් පත් වෙලා පාර්ලිමේන්තුව වාරාවසාන කරලා අලුතින් රැස්වන අවස්ථාවේ ස්ථාවර නියෝග 114 අනුව තේරීම්කාරක සභාවක් පත් කළ යුතුයි. එම තේරීම් කාරක සභාව විසින් කාරක සභා 12ක් පත් කරනවා. එම 12න් පළමුවැන්න පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවයි. එමෙන්ම ආචාරධර්ම පිළිබඳ වරප්‍රසාද කාරක සභාවකුත් පත් කළ යුතුයි.
මීට පෙර වත්මන් කථානායකතුමා ඒ සියල්ල හරියට කළා. ඒත් පසුගිය දින කිහිපයේදී පමණක් එසේ නොකොට අනුගමනය කළ අත්තනෝමතික ක්‍රියාදාමය නිසා පාර්ලිමේන්තු ඉතිහාසයේ අඳුරුතම දින තුනක් උදා වුණා.

විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ක්‍රමවේදයක් ස්ථාවර නියෝගවල තිබියදී ඒ අනුව කටයුතු නොකර 22 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු කළා. එහෙත් ඒ අනුව කටයුතු කිරීමේදී පවා ජනාධිපතිගේ නිවේදන කියෙව්වේ නැහැ.

පසුගිය කාලයේ ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනා නිසි ක්‍රමවේදයකට අනුවයි ඉදිරිපත් වුණේ.

2016 මාර්තු 24දා රවි කරුණානායකට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව මාස දෙකකට පසුව ජුනි 9දා තමයි විවාද කළේ. 2017 අගෝස්තු 24දා රාජිත සේනාරත්නට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවත් 2017 අගෝස්තු 3 රවි කරුණානායකට ඉදිරිපත් වූ දෙවැනි විශ්වාසභංග යෝජනාවත්, විවාදයට ගත්තේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහට 2018 මාර්තු 21දා ගෙනා විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනිදා එනම් සති 2න් විවාද කරලා ඡන්දය තැබුවා. ඒත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට 2018 නොවැම්බර් 14දා ගෙනා විශ්වාසභංගය විනාඩි 10න් ඡන්දය විමසා අවසන් කළා. ප්‍රජාතන්ත්‍රවාදය පයිසයකටවත් ගණන් නොගෙනයි කරු ජයසූරිය මහතා කටයුතු කළේ.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගණන් නොගෙන ජයම්පති සහ සුමන්තිරන් 14දා දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ජවිපෙත් සහාය පළ කළා. ස්ථාවර නියෝග අත්හිටුවන්න පවා ජවිපෙ කැමැති වුණා. අගමැති වෙන්න හිතාගෙන තමයි කරු ජයසූරිය මහත්තය එහෙම කළේ. රනිල් වික්‍රමසිංහ අගමැති නොකරන බව ජනාධිපතිතුමා කියූ නිසා කවුරු හරි විසින් කරු ජයසූරිය මහත්තයා අන්දලා තිබෙනවා. ඒකයි එහෙම සිදු වුණේ. එම නිසා පාර්ලිමේන්තුවත් රටත් අස්ථාවර වුණා. පොලිසිය පිරිවරාගෙන ඇවිල්ලා එෆ්.එම්. මයික් එකකින් තමයි පාර්ලිමේන්තුවේ වැඩ කළේ. මේ විදියට හිතුවොත් කාටහරි සෙංකෝලය උස්සගෙන ඉන්න කියලා මහියංගණයේදී පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ටොයිලට් එකෙත් රැස් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ, සුමන්තිරන් හා ජයම්පති ඇතුළු පිරිසේ කඩිකුලප්පුව නිසා තමයි මෙහෙම වුණේ.
කරු ජයසූරිය මහත්තයා අද (19දා) පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔහුට තමාගේ වැඩපිළිවෙළ වැරැදියි කියලා හිතෙන්න ඇති.

කරු ජයසූරිය මහතා පසුගිය 16 වැනිදා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයකුටත්, තවත් හිටපු මන්ත්‍රිවරයකුටත් කතා කරලා තමන් අගමැති විධියට දිවුරුම් දෙන්න ලෑස්ති බව පවසා සහාය දෙන්න කියලා ඉල්ලා තිබෙනවා. අගමැති ධුරය ලබා ගැනීම සඳහා වහා පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකට කරු ජයසූරිය මහත්තයා අන්දලා තිබෙන බව හොඳටම පැහැදිලියි. එහෙම නැත්නම් ඔහු මේ විධියට හැසිරෙන කෙනෙක් නෙවෙයි. එතුමාගේ බෑණනුවන් ඇතුළු පිරිසක් එතුමා අන්දලා තියෙනවා.

ඉතිහාසයේ රජවරුන් බොහෝමයක් පත් වුණේ හිටපු රජු මරලා. ඒ වගේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්නේ නැත්නම් කරු ජයසූරිය මහතා අගමැති වෙන්නයි බැලුවේ. එම නිසා පාර්ලිමේන්තුවත්, රටත් අස්ථාවර වුණා.

ජනාධිපතිතුමා පක්‍ෂ නායකයන් කියපු දේ අනුගමනය කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සත පහකට ගණන් ගන්නේ නැති මී හරකුන් ගානට දමා ජනතාවත්, ලෝකයාත් කියන්න පටන් ගනීවි.
මන්ත්‍රිවරුන් පිහි ගෙනෙනවා. පහර දුන්නා වැනි කතා තියෙනවා. ඒවා විමර්ශනය කළ යුත්තේ වරප්‍රසාද කමිටුවයි. ඒත් එවැනි කමිටුවක් පත් කරලා නැහැ. එවැනි පසුබිමක කතානායකතුමා සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන බව කියනවා. ඒත් සර්ව පාක්‍ෂික සමුළුවකින් වරප්‍රසාද ගැන කතා කරන්න බැහැ.

කරු ජයසූරිය මහත්තයා ඊයේ (19දා) පාර්ලිමේන්තුවට ආව නම් පොලිසිය එක්කයි එන්නෙ. එහෙම වුණා නම් ඇතිවන්නේ එදා ඇතිවුණු තත්ත්වයමයි. ඒත් ජනාධිපතිතුමා පෙන්වා දුන් මාර්ගයේ ගිය නිසා ඊයේ (19දා) ගැටුමක් නැතිව ඒක අවසන් වුණා. කරු ජයසූරිය මහත්තයා සිටියා නම් පාර්ලිමේන්තුවේ තවම මරා ගන්නවා.

නැවත ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව මඟිනුත් ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය අභියෝගයට ලක්කරනවා. එහෙම නැතිව අධිකරණයට යන්න පුළුවන්.

මන්ත්‍රිවරුන් 122ක් ඉන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිවයි. ඒත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉන්නේ 98යි. මහින්ද රාජපක්‍ෂට 104ක් ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට තිබෙනවා.

අලුතින් ගෙනා විශ්වාසභංග යෝජනාවට ජවිපෙ අස්සන් කරලා නැහැ. ඔවුන් කලින් නම් උගුලකට හසුවී තිබෙනවා. ඔවුන්ගේ ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්ද දන්නේ නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress