සුද්දො බාන් දෙකකින් කුඹුරක් මැඩවූ හැටි
Posted on November 21st, 2018

මතුගම සෙනෙවිරුවන්

         සිංහල ජාතියත් සංස්කෘතියත් විනාශ වන්නට ආරම්භ වුණේ එක්දහස් අටසිය පහළොවේ  මහනුවර මගුල්මඩුව ආසන්නයේ දී සිංහල කොඩිය බිම දමා ඉංග්‍රීසි කතිර කොඩිය  උස්සාපු මොහොතේ සිටයි.  සිංහල නිලමේවරු සමග අත්සන් කළ  ගිවිසුම කඩකරලා බුද්ධ ශාසනයටත් සිරිත් විරිත් වලටත් අපහාස වන විදියට කටයුතු කරන්නට ඉංග්‍රීසීන් කටයුතු  කරන බව දැනුණෙන් ජනතාව කෝප ගැන්වුණා. සිංහල රදළයන්ට අයත්ව තිබූ නිලතල මරක්කලයන්ට දෙන්න වූයෙන් තවත් කුපිත වෙලා රහසේ කතිකා වෙලා යුද්ධ සංවිධාන කරන්නට පටන් ගත්තා මේ කැරලි ඌව වෙල්ලස්ස දිශාවෙ බලවත් ආකාරයට පැතිර යන කොට ඒවා මැඩ පවත්වන්නට එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තර දරාපු ඌවේ දිශාව වන මෙනරවිල කැප්පෙටිපොළට පැවරුවා. ඒත් රටත් ජාතියත් පිළිබඳ ශාද සාක්ෂිය අවදි කර ගත් කැප්පටිපොළ 1817 වසරේ නොවැම්බර් මාසයේදී සිය සේනාංක වල තිබූ අවි ආයුධ ආපසු භාරදීලා කැරලි කරුවන් ට එකතු වුණා. මෙම සිදුවීම ඓතිහාසිකයි. එතැන් පටන් සුදු අධිරාජ්‍ය වෙවුලවන්නට සමත් යුධ තාක්ෂණයක් විදුලි වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. බ්‍රිතාන්‍ය යුධ නිළධාරීන් දන්න තරමක් උපක්‍රම යොදමින් රාජ ද්‍රොහීන් ලෙස නම් කරමින් දේපළ තහනම් කරමින් වෙල්ලස්ස ගිනි තබමින් සැහැසි ක්‍රියා කළත් කැප්පෙටිපොල නවත්වන්නට බැරි වුණා.මේ විමුක්ති අරගලය වසරකට ආසන්න කාලයක් ඇදී ගියත් එන්න එන්නම සිංහල හමුදා තුළ ශක්තිය වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. නමුත් කැප්පෙටිපොළ අතින් වැරැද්දක් වුණා. මෙතෙක් කර ගෙන පැමිණි ගරිල්ලා සටන් නවත්තලා ඔහු ඉංග්‍රීසින්ට මුහුණට මුහුණ ලා ප්‍රහර එල්ල කරන්නට පටන් ගත්තා. මේක තමන් සතු ශක්තිය පිළිබඳ කළ අධිතක්සේරුවක්. තුවක්කු කාල තුවක්කු වෙඩි බෙහෙත් ආදිය ප්‍රමාණවත් පරිදි නැතිවම කළ අනුවණ වැඩෙන් සිංහල හමුදාවට විශාල හානියක් සිදු වෙලා කැප්පෙටිපොළට පසු බසින්නට සිදු වුණා.ඔහු අසනීප වුණා. ඒ අස්සේ මරක්කල ඔත්තු කරුවන්  කැප්පෙටිපොල ගැන සෝදිසියෙන් හිටියා.මේ ඔත්තු වල ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසීන් සත් කෝරළේදී ඔහු අත් අඩංගුවට ගන්නවා. මේක තමයි 1817 ඓතිහාසික අරගලයේ ඛෙදවාචකයේ කතාන්තරය.

         මෙම අරගලයෙන් පස්සෙ වියරු වැටුණු ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට මුල් ගිවිසුම සංශෝධනය කරල ඔවුන්ට වාසිදායක වන ලෙස නව ආඥාවක් නිකුත් කලා.පස්සෙ කොල්බෘක් සහ කැමරන් කියන කොමසාරිස් වරු ලංකාවට ගෙනැල්ල රටේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා වාර්තාවක් සකස් කලා.මේ නිසා තමයි මුඩු බිම් පනත් මගින් රටේ සිංහලයා සතු ඉඩකඩම් මෙන්ම විහාරසන්තක දෙපළත් ඉංග්‍රීසි ආණ්ඩුව සතු වුණේ.ඒ වගේම සිංහලයන්ට දරන්නට බැරි බදු පැනෙව්වා. මේ බදු වලට විරුද්ධව 1848 දී මාතලෙන් කැරැල්ලක් ආවත් එයත් නිහීන ලෙසට මර්දනය කලා. සිංහලයන් තමන්ගේ කුඹුරු වතු පිටි කරගෙන හුදකලාව ජීවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. සුද්දන් සමග එකතුවුණු රටේ රදළ පෙලැන්තිය ධන ලෝභයෙන් කටයුතු කරද්දී වතු ආශ්‍රීත ගම්වල අසරණ වුණ සිංහල ගැමියන් ගැන සොයා බලන්නට කිසිවෙක් හිටියේ නැහැ. මේ නිසා කුඹුරු වතු පිටි පාලු වුණා. වාර්මාර්ග වැව් අමුණු නොසලකා හැරියා. ගංවතුරාවට ඒවා කැඩී බිඳී ගියා. රටේ සම්පත් ඒ කියන්නේ මුතු සහ මිනිරන් නිධි සොයා ගෙන කළ මංකොල්ලයත් මේ සමගම ඇරඹුණා. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ධනය විතරයි. ඒවා තම මව්රටට ගෙන ගියා.ඒ අස්සේ අසරණ ගැමියන්ගෙන් නව බද්දක් අය කරන්න තීරණය කලා. ඒ කට කියන්නේ ධාන්‍ය බද්ද කියලියි.1880 ආඥා පනතකින් තමයි. මේ නීතිය පැනෙව්වේ.ධාන්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලියට පළාතේ ආණ්ඩු ඒජන්තට සහාය වන්නට දිස්ත්‍රික් ඒජනත්ල පත් කලා. බස්නාහිර පලාතේ කළුතර දිසිත්‍රික්කයේ සහකාර ඒජන්ත වූයේ එච්.එච්. කැමරන් කියන සුද්ද බවයි ලියැවී තිබෙන්නේ. ඔහු තමයි තමන්ගේ නිළධාරීන් ලවා ධාන්‍ය බදු එකතු කලේ.

        කළුතර දිශාව ඒ කාලෙ හැඳින්වූයේ පස්දුන් කෝරළය කියලයි. ඉද්දගොඩ පත්තුව මහ පත්තුව ගඟ බඩ පත්තුව සහ වලල්ලාවිටි පත්තුව කියල ගම් දහයේ කොටස් නම් කලේ රජ කාලෙ ඉඳලමයි. සුද්දො මහ පත්තුව පැත්තේ ධාන්‍ය බදු එකතු කරන්නට ගියේ අස්සය පිටෙන් පාරවල් තිබුණේ නෑ. කැලෑ අස්සෙන් පාලම් නැති දිය පාරවල් තරණය කරමින් ගිය මේ ගමන් අතිශයින් දුෂ්කරයි. මහ පත්තුවේ හිටිය බොහෝ දෙනා කෝට්ටේ යුගයේ නිල තානාත්තර දැරූ පවුලේ උදවියයි. වීදිය බණ්ඩාර සෙනවියා පැලදි නුවර කරන කාලෙ සපරගමුවෙන් පැමිණි රණවීර කියල ප්‍රභූ පවුලක් මේ අතර හිටියා. වාසය බදුරලිය අසල කඹුරාවලයි. ගමේ ආරච්චි රණවීර පවුලක කෙනෙක්. ඔහු වැසියන්ගෙන් බදු එකතු කලේ නැහැ. සාම්ප්‍රදායිකව ගැමියන් ගෙන් ධාන්‍ය බද්දක් අය කලේ නෑ. ආරච්චි ට සලාරිස් ගෙව්වා විතරයි. ඒක රජයට අයත් නෑ. කන්න ගණනාවක් ගංවතුරෙන් පීඩාවට පත් වෙලා බත බුලත අහිමි වෙලා අසරණ වෙලා හිටිය ගැමියන්ට ධාන්‍ය වලින් බදු ගෙවන්න  විදියක් නෑ. ගෙදර තියෙන වී ටිකෙන් තමයි පවුල නඩත්තු කලේ. මේ නිසා දිසාපති ගේ අණින් ආරච්චිව අත්අඩංගුවට ගන්න සුද්දො සිවු දෙනෙක් අස්සය පිටින් මහපත්තුවේ කඹුරාවලට පිටත් වුණා.. ගම ආක්‍රමණය කරන්නට පැමිණියාම ගම්මුන් කුපිත වුණා. සුද්දො හතර දෙනා අල්ලලා ගස් බැන්දා. මේ අතර ආරච්චිට නෑකම් කිවූ රණවීර පවුලක ඉලන්දාරියෙක් හිටියා අගෝරිස් කියලා. ඔහු දිව ගිහිල්ලා බෙලි පට්ටා වලින් වියූ කඹයක් ගෙනල්ලා සුද්දො හතර දෙනා බාන් දෙකකට ගැලැත්තුවා. හරියට හරක් බාන් දෙකක් ගලත්තනාවා වගේ . ඒ දිනවල කුඹුරු මඩ වන කාලේ. දණක් ඉඟක් පමණ එරෙන කූඹුරක් මේ අසල තිබුණා. සුද්දො බාන් දෙක ඒකට දැම්මා .කෙවිටක් අරගෙන දක්කගෙන ගියා.වගුරේ ගමන් දන් නැති සුද්දො දෙබාන එරි එරී ඇදෙන හැටි  දැක්ක කොල්ලො කුරුට්ටො හූ හඬ තියලා කෑ ගහන්නට පටන් ගත්තා. මේ සංගෙදිය ආරංචි වෙච්චචි ආරච්චි විගැහින් දුවලා ඇවති මේ සුද්දන් බේරලා කුඹුරේ බුබුලට ගෙනවුත් දිය නා ගැනීමට පහසු කම් සලසලා ආපසු පිටත් කලා කියලයි කියන්නේ.

       සුද්දන්ට දඬුවම් දුන්නු අගෝරිස් සහ ඔහු ගේ සහොදරයන් දෙදෙනෙක් ගමෙන් පැන්නා. ඒකකෙනෙක් පයියාගලට ගියා අනෙකා නෑහින්නට ගියා ඊළඟට අගෝරිස් පුහාඹුගොඩ නැවතුණා. කියලා තමයි කියන්නේ ඔවුහු එතැන් සිට රණවීර නාමය සඟවා ගෙන කඹුරාවල කන්කානම් ගේ විදියට පෙනී සිටියා.  වර්තමානය වන විට මේ පවුල් වැඩි දියණූ වෙලා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙල් විදානේ පොලිස් විදානේ කම් පවා ලබලා දියුණට පත් වලා තිබෙනවා. නමුත් එදා සුද්දන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ අගෝරිස සහ සහෝදරයන් නම් පළාතේ අයට අමතක වෙලා.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress