ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද උපදෙස් දෙයි
Posted on November 28th, 2018

මාධ්‍ය නිවේදනය රොහාන් වැලිවිටඅග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් 

ධීවර ක්ෂේත්‍රයේ පවතින ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද  (2018.11.27) උපදෙස් ලබාදෙන ලදී.

ගරු අග්‍රාමාත්‍යතුමා අද මෙම උපදෙස් ලබා දුන්නේ අපේ රටේ ධීවර කර්මාන්තයේ දැනට පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා උතුරු නැගෙනහිර ධීවර සංවිධාන, බහුදින යාත්‍රා ධීවර සංවිධාන, කුඩා ධීවර කර්මාන්ත සංවිධාන ඇතුළු සියලු ධීවර සංවිධාන වල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දීය.

එහිදී දැනට ධීවරයින් හට පවතින නිෂ්පාදන වියදම අධික වීම සහ නිෂ්පාදනයට සාධාරණ මූලික යෙදවුම් මිලක් ඇති කිරීම සම්බන්ධව පවතින ගැටලු සහ ධීවර වරායවල් සහ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් පවතින ගැටලු මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය. එමෙන්ම ධීවර බෝට්ටු නිෂ්පාදනය සඳහා අවශ්‍ය ෆයිබර්” ඇතුළු අමුද්‍ර‍ව්‍ය ආනයනය කිරීමේ දී රජයේ ආනයන බදු අඩු කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීම පිළිබඳව ද ගරු අග්‍රාමාත්‍යතුමා විශේෂ අවධානයක් යොමු කළේය.

තවද, දැනට ධීවර සංස්ථාව සතු ශීතාගාර ඉක්මණින් නවීකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යතුමාට උපදෙස් ලබා දෙන ලදී.  එමෙන්ම, ධීවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට සහ අයිස් මිල පාලනයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් රක්ෂණ ක්‍ර‍මයක් සහ මවු නෞකා දෙකක් ලබා දීමටත්, ජීවිතාරක්ෂක පහුරු ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට හිටපු ධීවර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා සහ වත්මන් ධීවර අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා මැතිතුමා, සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිතුමිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, දුලිප් විජේසේකර මැතිතුමා, අරුන්දික ප්‍ර‍නාන්දු මන්ත්‍රීතුමා, සමඟ අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළුව ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.  

රොහාන් වැලිවිට

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress