සුභාශිංසන පණිවුඩය
Posted on November 29th, 2018

මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

2018 නොවැම්බර් 30

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර මූලමහා විහාරාධීශ්වර සාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාර, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී, ස්ථිවිර වංශාලංකාර සාසන කීර්ති ශ්‍රී අග්ගමහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන සිරි පේමසිරි අභිධාන නායක ස්වාමීන් වහන්සේගේ 96 වෙනි ඡන්ම දිනය නිමිත්තෙන් සුභාශිංසන පණsවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන මහානායක පදවියට පත් අප නාහිමිපාණන් වහන්සේ ස්ව නිකාය එකම මහා නායක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.

උන්වහන්සේ සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීනත්වයක් දරණ අතර විදෙස් රටවල් ගණනාවකම වැඩම කරමින් ථේරවාදී බුදු දහමේ අගය ලොවට පෙන්වා දුන් මහා යතිවරයාණන් වහන්සේ නමකි.

මෙරටේ ජාතික ප්‍රශ්ණ වලදී නොබියව අදහස් ප්‍රකාශ කරන අප නාහිමිපාණන් වහන්සේ සෙසු නිකායන්හි මහා නායක ස්වාමීන් වහන්සේලා අතර මෙන්ම මහා සංඝරත්නයේ මෙන්ම ගිහි ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ නාහිමිපාණන් වහන්සේ නමකි.

1923-11-30 වන දින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ පුරා වසර 96 ක කාල පරිච්ඡේදය තුළ ජාතික ආගමික, සාසනික වශයෙන් කළ සේවාව අපමණය. උන්වහන්සේ බැහැදකින සෑම අවස්ථාවකදීම මාහට ලබාදුන් අවවාදය වන්නේ මේ රට කෑලි කෑලි වලට කැඩීම වලක්වා රටේ ජීවත්වන සියලු ජන කොටස් වලට සමඟියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙසයි. ඒ සඳහා ඊට බාධාවන විදෙස් බලවේග වලට නතු නොවී මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් මල් ඵල ගැන්වීම උදෙසා දේශියත්වයට මුල් තැන දී කටයුතු කරන ලෙසයි.

උන්වහන්සේ අප රටේ දියුණුව නිබඳව අපේක්‍ෂා කරන අතර ඒ සඳහා උන්වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය මා සැමදා අගය කරමි.

පුරා වසර 96 ක් ගත කළත් තවමත් නීරෝගීව තම මහනායක පදවියේ ගෞරවය හා ආදර්ශමත් පැවිදි දිවිය සැමට ආදර්ශ සම්පන්න වන්නේය.

උන්වහන්සේගේ 96 වෙනි ඡන්ම දිනය සිහිපත් කරන මේ මොහොතේ ඉදිරියටත් තම ජාතික හා ආගමික, සමාජ මෙහෙවර අනලස්ව ඉටුකරගෙන යාමට උතුම් දන්ත දාතුන් වහන්සේගේත්, උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, ත්‍රිවිධ රත්නයේ,  ආශිර්වාදයත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. 

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ

අග්‍රාමාත්‍ය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress