යහපාලන යුගයේදී පමණක් රුපියල 30%කින් බාල්දුයි.. විදේශ ණය වැඩිවීම පමණක් රුපියල් කෝටි ලක්ෂය පනී..
Posted on December 1st, 2018

– nalaka godahewa FB

නව රඟහලේදී පැවති ඩි.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනයේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

ලංකාවේ පැරණිතම දේශපාලන පවුල් අතර රාජපක්ෂ පවුල සුවිශේෂී ස්ථානයක් දරනවා. ඩී එම් රාජපක්ෂ හා ඩී ඒ රාජපක්ෂ සොහොයුරන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ රාජ්‍ය සභා සාමාජිකත්වය දැරීමෙන් ඇරඹි ගමන තුල සියවසකට ආසන්න කාලයක් රාජ්‍ය නිලධාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති, කතානායක, අගමැති , ජනාධිපති යන විවිධ තනතුරු හරහා මේ පවුල රටට සේවය කොට තිබෙනවා. ඒ නිසා අද මේ පැවැත්වෙන ඩී ඒ රාජපක්ෂ ගුණසමරු උත්සවයේදී ඔවුන් සියලු දෙනාගෙම ඒකායන අරමුණ වූ දේශය ගොඩනැගීම පිලිබඳව යම් අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම මා භාග්‍යයක් කොට සලකනවා

ඔබ දන්නවා ශ්‍රී ලංකාව ආසියාව තුල යටත් විජිතවාදීන්ගෙන් මුලින්ම නිදහස ලැබූ රටවල් කිහිපයෙන් එකක් බව . ඉන්දියාවට 1947 දීත් ලංකාවට 1948 දී ත් නිදහස ලැබුනා. මැලේසියාවට නිදහස් ලැබුනේ 1957 වන අතර සිංගපූරුව නිදහස ලැබුවේ 1965 දීයි

නිදහසින් පසු ආන්ඩු 20 ක් හා රාජ්‍ය නායකයන් 12 දෙනෙක් අපේ රට පාලනය කොට තිබෙනවා. නමුත් නිදහස ලබා වසර 70 ක් ගතවූ මේ 2018 වසර අවසානය වන විට ලංකාව සිටින්නේ මොන වගේ තත්වයකද?

අපි තවමත් සමාජ, ආර්ථික, දේශපාලන අර්බූදයන් නිසා නිරන්තරයෙන්ම බැට කන රටක්. විශේෂයෙන්ම පසුගිය රජයේ වසර 3 කුත් මාස 9 ක පාලන කාලය තුල රට විශාල අර්බූදයකට ඇද වැටී තිබුනා

අද ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල දළ ආර්ථික වර්ධන වේගය 4.9% වනවා. නමුත් පසුගිය පාලනය යටතේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3 % ක් පමන අඩු අගයකට වැටිලා තිබුනා.

රුපියල් ට්‍රිලියන 12 ඉක්මවා ඇති ලංකාවේ රාජ්‍ය ණය බර දළ ජාතික නිශ්පාදනයෙන් 87% ක් පමන වන් තෙක් ඉහල ගොස් තිබුනා.

*පසුගිය ජූනි මාසය වන විට මූඩීස් ආයතනය කියා තිබුනා ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ලංකාව දැන් ඉන්නේ ආසියාවේ 24 වන ස්ථානයේ කියා.

*බ්ලූම්බර්ග් ආයතනය ලංකාව මේ වන විට ලෝකයේ ආයෝජනයට අනතුරුදායකම රටක් ලෙස නම් කොට තිබුනා

*නොමුරා බැංකුව කියා තිබුනා මේ වසරේ හඳුනාගෙන තිබෙන ලෝකයේ විනිමය අනුපාත අර්බූදයකට මුහුනදීමේ අවධානය වැඩිම රටවල් 7 අතරත් ලංකාව ඉන්නවා කියලා.

පසුගිය මාස 45 ක කාලය තුල රුපියලේ අගය 30% කින් අවප්‍රමාණය මේ නිසා රටේ විදේශ ණය වල දේශීය අගයේ වැඩි වීම පමනක් රුපියල් කෝටි ලක්ෂයක් පමන වෙනවා.

මේ අනුව නිදහසින් පසු මේ වන විට ආන්ඩු රැසක් විසින් රට පාලනය කර ඇතත් සෑබෑ සංවර්ධනයක් එදා මෙදා තුර සිදුවී තිබේද යන්න විවාදාත්මක කරුණක්.

ආසියාවේ අනෙකුත් දියුණු රටවල් හා සංසන්දනය කරන විට අපට පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් විටින් විට වෙනස් වීමේ ගැටලුව

එක් යුගයක සංවෘත ආර්ථිකයක් තුලින් රට ස්ව‍යං පෝෂණය කරන්නට උත්සාහ කල අපි තවත් වරෙක විවෘත ආර්ථික ක්‍රමයක් ගැන විශ්වාසය කලා. තවත් විටෙක මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කතා කලා. මොනම ආර්ථික ප්‍රතිපත්තියක් වත් නැතුව ආන්ඩු පවත්වාගෙන යන ක්‍රමවේදයකුත් පසුගිය රජයේ මාස 45 ක පාලන කාලය තුල අපි දුටුවා

ලෝකය ඉදිරියට යන විට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවෙනවා. එක්තරා යුගයකට ගැලපෙන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ තවත් යුගයකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අතීතය අපට විශේෂයින්ම වැදගත් වන්නේ පාඩම් ඉගන ගන්නට පමනයි කීවොත් නිවැරදියි. අතීතය විවේචනය කරමින් සිටීමෙන් අපේ ඉදිරි ගමනට වෙන සෙතක් නැහැ. ඒ නිසා අපි වර්ථ්මානයේ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන කරුණ මදක් සාකච්චා කරමු.

අප බොහෝදෙනෙකු විශ්වාස කරනවා අද රටට අවශ්‍යව තිබෙන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක් කියා.

කුමක්ද මින් අදහස් කෙරන්නේ ?

ජනතා කේන්ද්‍රීය සංවර්ධන ක්‍රියාවලියක ප්‍රධාන ලක්ෂණ 2 ක් තිබෙනවා.

පළමුවැන්න නම් එය ‘පොදු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන සැබෑ සංවර්ධනයක්’ විය යුතු බවයි.

දෙවැන්න එය නොනැවතී ඉදිරියට යන ‘තිරසාර සංවර්ධනයක්’ විය යුතු බවයි.

චන්ද කාලයට මැතිවරණ වේදිකාවල දෙන විවිධ පොරොන්දු මත සාමාන්‍ය ජනතාව බොහෝ විට යම් රැල්ලකට අසුවී තම චන්දය භාවිත කරනවා.

නව රජයක් බලයට ආවාට පසු ආර්ථිකය කලමණාකරනය කිරීමේ වගකීම බාරදෙන බොහෝ ආර්ථික විශේසඥයින් කරන්නේ පුලුල් ආර්ථික දර්ශනයකින් තොරව එදා වේල කලමණාකරනය කිරීමයි. ඉන් ජනතා ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ.

ආන්ඩුව බලයට පත්වී යම් කලකට පසු තම සැබෑ අපේක්ෂාවන් ආන්ඩුවෙන් ඉටු නොවන බව හැඟී ජනතාව අලුත් ආන්ඩුවගැනත් කල කිරෙනවා.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රටක බලයට පත් වන ආන්ඩුවට අභියෝගයක් තිබෙනවා ජනතාවට අවශ්‍ය කුමක්ද කියා නිසියාකාරව වටහා ගන්නට

ජනතාවට ඇත්තෙන්ම අවශ්‍ය කුමක්දැයි සොයාගැනීමට ඉතා සරල ක්‍රමයක් තිබෙනවා

පොඩ්ඩක් මතක් කරලා බලන්න සෑම වසරක් ඇරබෙන විටම අප එකිනෙකාට සුබ පතා ගන්නේ කුමක් ප්‍රාර්ථනය කරමින්ද කියලා

අපි කියනවා ඔබ සැමට සතුට,සාමය, සෞභාග්‍යය පිරි නව වසරක් වේවා ” කියලා.

වෙනත් විදියකට කියනවානම් ජීවිතයේ අපට අවශ්‍ය සියලු දෙනාටම දේවල් ඒ ප්‍රාර්ථනය තුල අඩංගු වෙලා තිබෙනවා

1. සතුට 2. සාමය 3. සෞභාග්‍යය

යම් ආර්ථික ක්‍රමවේදයකට පුලුවන්නම් ජනතාවට නිරන්තරයෙන්ම සතුට සාමය හා සෞභාග්‍යය ලබා දෙන්නට ඒ ආන්ඩුව විසින් ජනතාවගේ අපේක්ෂා ඉටුකලා වෙනවා. කල්පනා කර බලන්න රටක් පාලනය කරන විට අපි මේ සරල කරුණ ගැන අවධානය යොමුකරනවාද කියා. අපි සරලව අවශ්‍ය දේ හිතන්නේ නැති නිසා තමයි ඕනෑම විශයක් සංකීරණ කර ගන්නේ. ආර්ථික කලමණාකරනයත් එසේමයි.

අපි නිතර කතා කරන ආර්ථික දර්ශක වලින් සතුට,සාමය, සෞභාග්‍යය මනින්නට බැහැ. ඒ නිසා ආර්ථිකයක සාර්ථකත්වය මනින්නට අපිටම ආවේනික වූ දර්ශක පෙලක් අවශ්‍යයි.

දැන් අපි මෙය ප්‍රායෝගික කරගන්නේ කෙසේදැයි බලමු. සතුට සාමය හා සෞභාග්‍යය උදා කිරීමට නම් බලයට ආ ආන්ඩුවක් විසින් සම්පූර්ණ කල යුතු ජනතාවගේ අවශ්‍යතාවන් 3 ක් හඳුනාගත යුතුයි. මේ අවශ්‍යතා 3 රටේ සෑම පුරවැසියෙකුටම, පවුලකටම පොදුයි.

පලමුවැන්න ස්ථාවරත්වය ( STABILITY ) මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියෙකුටම ආර්ථිකව ස්ථාවර වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

දෙවැන්න ප්‍රගතිය ( PROGRESS ) මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියෙකුටම තව තවත් දියුණු වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

තුන්වැන්න ගෞරවය ( DIGNITY ) මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විතව, ආත්මාභිමානයෙන් ජීවත්වීමේ වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

1.ස්ථාවරත්වය

පලමුවෙන්ම ස්ථාවරත්වය (STABILITY ) ලෙස රටක පුරවැසියෙකු බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

-ජීවත් වීමට ස්ථිර ආදායමක්

-හිසට වහලක් තමුන්ගේම කියා නිවසක්

-දරුවන්ට හොඳ අධ්‍යාපනයක්

-පවුලට අවශ්‍ය සෞඛ්‍යය පහසුකම්

-සොර සතුරන්ගෙන් ආරක්ෂිත වටපිටාවක්

-නීතියේ සාධාරණත්වය හා රැකවරණය

බැලූ බැල්මට බොහෝ සරලයි වගේ හිතෙන නිසා අපි මදකට විමසා බලමු මේ කරුණු සම්බන්ධව මහපොලවේ යථාර්තය කුමක්ද කියා

රජයේ සංඛ්‍යාලේඛන වලටම අනුව මිලියන 22 කට ආසන්න ජනගහනයක් සිටින මේ රටේ 6% ක් එසේත් නැත්නම් දස ලක්ෂයකට වැඩි ජන කොටසක් තවමත් දිළිඳු ගනයට වැටෙනවා. මේ තුන්වේල හරියට කන්න නැති පවුල්

අපේ රටේ රැකියා වියුක්තිය 4.5% ක් පමන අඩු අගයක් කියා මහ බැංකු වාර්ථා කීවාට අද වයස අවුරුදු 19-30 අතර තරුණ තරුණියන්ගෙන් 16% කට රැකියා නැහැ.

ඉන් තරුණියන්ගේ තත්වය වඩාත් බරපතලයි. තරුණියන්ගෙන් 25% පමන රැකියා විරහිතබාවයෙන් පෙලෙනවා.

සාක්ෂරතාවෙන් 92 ක් කිව්වට ආර්ථික අපහසුකම් නිසා කිසි දිනෙක පාසැල් නොගිය වයස අවුරුදු 5 ට වැඩි පිරිස ලක්ෂ 7 ඉක්මවනවා. අවුරුදු 25 ට වැඩි ජනගහනයෙන් 4.7% ක් කිසිම දිනක පාසැල් ගිහිල්ල නැහැ

සෞඛ්‍ය සේවාවන් නොමිලයේ දෙනවා කීවාට අද දුෂ්කර ප්‍රදේශ රැසක විශාල වෛද්‍ය හිඟයක් හා පුහුණු සාත්තු සේවකයින්ගේ හිඟයක් තිබෙනවා. ශල්‍යකර්ම සඳහා ලෙඩ්ඩු මාස ගනන් පෝලිමේ ඉන්නවා. සමහරු ඒ අතර මියයනවා.

සෞඛ්‍ය පහසුකම් රට පුරා සමානව බෙදී ගොස් නැහැ. පෞද්ගලික ඉස්පිරිතාල තිබෙන්නේ ප්‍රධාන නගර වල පමනයි.

පසුගිය කාලේ ඩෙංගු වසංගතය අපු වෙලාවේ ඔබට මතක ඇති ඉස්පිරිතාල වල ගේට්ටු වැහුවා ඉඩ නැහැ කියලා. පෞද්ගලික රෝහලකට යන්නට වත්කමක් නැති රෝගීන්ට රජය දුන්න විකල්පය කුමක්ද

මේ රටේ මිලියන 5,2 ක් පමන වන නිවාස වලින් 63% කම ජීවත් වන්නේ කුලී නිවැසියන්. තමන්ගේම කියා නිවසක් නැති අය.

රටේ තිබෙන නිවාස වලින් 18% ක්ම තාවකාලික හෝ අර්ධතාවකාලික අමුද්‍රව්‍ය වලින් සෑදූ නිවාසයි.

පසුගිය කාලේ රට පුරා හොරකම් වැඩිවුනා, දිනපතා මිනීමැරූම්, පාතාල ක්‍රියාකාරකම් එලිපිට සිදුවුනා, පාරේ යද්දි නිකම් වෙඩි වැදිලා පහුගිය කාලේ කොපමන අය මැරුණාද. සුලු දෙයකටත් මිනී මරණ තත්වයට අද තරුණ පරපුර පත්වෙලා , අද සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව විශාල ප්‍රශ්ණයක් වෙලා

2.ප්‍රගතිය

මා කී දෙවන කරුණ වන ප්‍රගතිය එහෙමත් නැත්නම් දියුණු වීම( PROGRESS ) ලෙස රටක පුරවැසියෙකු බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

-තම ආදායමක් වැඩිකරගැනීමට අවස්ථා

-රැකියාවේ ඉහලට යාමට හෝ තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවස්ථා

-නව ව්‍යාපාර පටන් ගැනීමට අවස්ථා

-ව්‍යාපාර කිරීමේ පහසුව

-නව ආයෝජන අවස්ථා හා ආයෝජන දිරිමත් කිරීම්

-පවුලේ ජීවන මට්ටම ඉහල දමා ගැනීමට අවස්ථා

-දරුවනට වඩා හොඳ අධ්‍යාපන පහසුකම්

-වඩා හොඳ සෞඛ්‍ය පහසුකම්

-වඩා හොඳ නිවසක්

-ජීවත් වීමට වඩා හොඳ පරිසරයක්

-තමුන්ගේම කියා වාහනයක්

-විනෝදාස්වාදයට ඉඩපහසුකම්

-පිට රට සංචාරය. ලෝකය දැකීම

දැන් කුමක්ද මේ පිලිබඳ යථාර්තය ?

ලංකාව අද ආසියාවේ අඩුම සංවර්ධන වේගයක් තිබෙන රටක්. 2014 අවසන් වන විට 7% ක වර්ධන වේගයක් තිබුනත් 2017% දී එය 3.1% යි. මේ වසරේත් ඒ වගේමයි. රටක සංවර්ධන වේගය මන්දගාමී වන විට පුරවැසියන්ටත් දියුණු වීමේ අවස්ථා අඩු වෙනවා

උසස් පෙලට වාඩිවෙන සිසුන්ගෙන් 55 % ක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබුවත් 12% ක් පමනයි අවසානයේ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ. උසස් පෙල සඳහා වාඩි වෙන සිසුන්ගෙන් 6.6 % තමයි අවසානයේ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා යොමු වන ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකයි පවතින්නේ. එය මැදි ආදායම් ලබන රටවල සාමාන්‍ය වන 28% ටත්, අඩු ආදායම් ලබන රටවල සාමාන්‍ය වන 7.7 % ටත් වඩා පහලිනුයි තිබෙන්නේ. තායිලන්තය, ඉන්දියාව , වියට්නාමය හා ජැමෙයිකාවටත් පිටුපසින් සිටින ලංකාව ඒ අතින් සුඩානයට සමානයි.

වයස 25ට වැඩි ජනතාවගෙන් 3% ක් පමනයි උපාදියක් සම්පූර්ණ කර තිබෙන්නේ.

ජන හා සංඛ්‍යාලෙකන දෙපාර්තුමෙන්තුවට අනුව 2017 වන විට මේ රටේ ව්‍යාපාරිකයෝ සිටියේ 218,000 ක් පමන අඩු සංඛ්‍යාවක්.වැඩ කල හැකි ජනතාව අතුරින් 1.5% ටත් අඩුවෙන්.

පසුගිය කාලේ කල විවිධ ගාස්තු හා බදු වැඩිකිරීම් නිසා අලුතින් ව්‍යාපාරයක් ආරම්බ කරන්න ලියාපදිංචි ගාස්තු පමනක් රුපියල් ලක්ෂයකට වඩා වැයවුනා. ඒ නිසා අලුතින් ව්‍යවසායකයෝ බිහි වීම ඉතා මන්දගාමී වෙලා තිබෙනවා.

පසුගිය වසර 4 තුල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබෙනවා

සාමාන්‍ය පවුලකට නිවාස ණයක් ගන්නට බැරි තරමට පොලී අනුපාතයන් ඉහල ගිහිල්ලා

වාහනයක් ගන්නවා කියන එක සිහිනයක් පමනක් වන තරමට පසුගිය කාලයේ රජයේ බදු නිසා වාහනවල මිල වැඩිවුනා. රජය සුඛෝපබෝගී පමනක් නොවේ අර්ධ සුඛෝපබෝගී භාන්ඩ වලට පවා අධික ලෙස බදු අයකරමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහල යාමට දැන හෝ නොදැන අකුල් හෙලමින් සිටියා

ඩොලරයට සාපෙක්ෂව රුපියල මේ විදියට කඩා වැටෙද්දි පිටරට සංචාරය කරන්න පුලුවන් කාටද ? දරුවන්ව පිටරට යවා අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන් කාටද ?

3.ගෞරවාන්විතව ජීවත්වීම

මා කී තුන්වන කරුණ වන ගෞරවාන්විතව ජීවත්වීම ( DIGNITY ) ලෙස රටක පුරවැසියෙකු බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

-සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයකින් යුතුව ජීවත් වීමේ අවස්ථාව

-තමුන්ගේ ආගම ඇදහීමේ නිදහස,

-වාර්ගික අනන්‍යතාව රැක ගෙන ජීවත් වීමේ අයිතිය

-යම් සමාජ මට්ටමකට අයත් වීම නිසා බලපොරොත්තු වන ගෞරවය

-රටේ පුරවැසියෙකු වීම නිසා බලපොරොත්තු වන ගෞරවය

-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

-තම චන්දය නිදහසේ භාවිත කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය

-තම චන්දයෙන් බලයට ආ අය බලය අනිසි ලෙස භාවිත නොකලයුතුය යන අපේක්ෂාව

මිනිසුන්ට අවශ්‍යයි එකට ජීවත් වන්නට. ඒ වගේම තවත් කාරණාවලදී ඔවුන්ට තම අනන්‍යතාව රැක ගැනීමට අවශ්‍යයයි. මේ අවශ්‍යතා දෙකටම අපි ගරුකල යුතුයි. නමුත් අද මේ රටේ සැබෑ ජාතික , ආගමික නිදහසක් තිබෙනවාද ?. එසේ තිබෙනවානම් ඇයි මේ තරම් ඒ ගැන කතිකාවන් ?

මේ රටේ උපන් සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් තිබෙනවාද ? රජයට සම්බන්ධ බලවතුන්ට හා සාමාන්‍ය පුරවැසියන්නට නීතිය ක්‍රියාත්මක වෙන්නේ සමානවද? පසු ගිය කාලේ අපි ඕනෑ තරම් උදාහරණ දැක්කා රජයට පක්ෂ දේශපාලනඥයින්ට හා විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින්ට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන ආකාරය ගැන.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇත්තටම තිබෙනවාද ? අපි දුටුවා පසුගිය කාලයේ රටේ හිටපු අගමැතිවරයා මේ රටේ සුප්‍රකට මාධ්‍ය වේදීන්ට පාර්ලිමේන්තුව තුල පවා නම් කියා තර්ජනය කරනවා.

රටේ සමහර බලවතුන් ගැන යම් යම් වාර්ථා පල නොකරණ ලෙස මාධ්‍යවලට බල පෑම් වුනේ නැහැ කියා අවංකව කිව හැකිද ? රජයට විරුද්ධව අදහස් පලකල නිසා පසුගිය කාලයේ කී දෙනෙකුට විරුද්ධව පරීක්ෂණ ආරම්බ කොට බොරු චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කලාද ? සමහරක් බොරු උසාවියේ පවා හෙලිදරව් වුවා නේද ?

ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකුගේ මූලික අයිතියක් තමයි චන්දය දැමීමේ අයිතිය. මොන තරම් බරපතල ලෙස මේ අයිතිය පසුගිය කාලයේ උල්ලංගනය කරනු ලැබ තිබෙනවාද ? සාධාරණ මැතිවරණ පවත්වන්නට කියා ආරම්ඹ කල මැතිවරණ කොමිසම පින් පඩි ගන්නා ආයතනයක් බවට පත් වුනා නේද ?

අද ලංකාවේ විපක්ෂය ජනතාවගේ චන්ද අයිතිය වැලැක්වීම සඳහා මහා අරගලයක නිරතව ඉන්නවා. තමුන්ගේ චන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්තාව කඩකරමින්, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝණය කරමින් , පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් කටයුතු කරණ ආකාරය දුටුවිට චන්දය දුන්පුරවැසියන්ට ඇතිවෙන්නේ ගෞරවයක්ද ලැජ්ජාවක්ද චන්දය දුන් තමුන් ගැන.

මා මේ දත්ත හා පැහැදිලිකිරීම් හරහා පෙන්වන්නට උත්සාහ කලේ කවුරු මොන තර්කය ගෙන ආවත් අපේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාව තවමත් ඉතුරුව ඇති බවයි.

නිදහසින් පසු බලයට පත්වූ රජයන් බොහෝමයක් විසින් ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිපත්තීන් කාලයත් සමඟ මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට හේතුව ලෙස අපි දකින්නේ ඒ ඒ රජයන් යටතේ ආර්ථිකයන් හසුරවපු බොහෝ අය මහ පොලවේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් විමයි. ඔවුන් බොහෝ විට උත්සාහ කලේ බටහිර හෝ අපරදිග ආර්ථික න්‍යායන් ලංකාවට හඳුන්වාදීමටයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව කියන ආකාරයට ආර්ථිකය හසුරවන්නට ඔවුන් බොහෝදෙනෙකු උත්සාහ කලා. .

මොනවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැමවිටම දෙන සුපුරුදු උපදෙස් මාලාව ?

-රජයේ ආදායම වැඩිකරගෙන වියදම අඩු කරගෙන අයවැය පරතරය අඩු කරගන්න

-ඒ සඳහා ජනතාවට සහන දීම නවතන්න

-බදු වැඩිකරන්න,

-රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න

-පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමන්න නැත්නම් විකුණන්න

-විනිමය අනුපාතය පාවෙන්න අරින්න

-ආර්ථිකය විවෘත කරන්න.

මීට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දියුණු වෙමින් පවතින රටවලට ණය ගැනීමට පුරුදු කරනවා එම ණය වලින් කිසිදු දිර්ඝ කාලීන යහපත් ප්‍රථිපලයක් නැතුව. ඔවුන්ගේ කොන්දේසි ඉටු කරන්න අවධානය යොමු කරනවිට ණය ගත්ත හේතුවත් අමතක වෙනවා.

මොනවද මේවායේ නිසැක ප්‍රතිපල ?

දුප්පත් කම වැඩිවීම,

විරැකියාව වැඩිවීම,

දේශීය ව්‍යාපාර දුර්වල වීම,

පෞද්ගලික අංශයේ එකාධිකාර බිහිවී මහජනතාව සූරා කනු ලැබීම,

රට විශාල වශයෙන් ණය වීම,

ගත් ණය ගෙවා ගත නොහැකිව අසරණ වීම

1945 ආරම්ඹ කරපු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් පමනක් උපදෙස් ඇරගෙන දියුණු රටක් බවට පත් වූ කිසිම රටක් තිබෙනවාද . ඒත් මීට පෙර සිටි සමහරක් රජයන් හා විශේෂයෙන්ම පසුගිය රජය උපදෙස් ගත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින්. ඒ විදියට කවදාවත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් මේ රටේ හදන්න බැහැ.

ලෝකයේ එක තැනක සාර්ථක වන ආර්ථික න්‍යායක් තවත් තැනක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට බැහැ. එක රටකට තවත් රටක් සමාන කරන්න බැහැ මන්ද සෑම රටකටම ආවේනික ගැටලු තිබෙනවා. ඒවායේ ජීවත් වන ජනතාවන්ගේ සංස්කෘතීන් ,ජීවන රටාවන්, හැසිරීම් රටාවන්, විශ්වාසයන් එකිනෙකට වෙනස්. ඒ නිසා තමයි අපි දකින්නේ අනෙකුත් රටවල් සූරාකා අන් රටවල ධනයෙන් පොහොසොත් වූ යුරෝපීය රටවල් හැරුණ විට අද ලෝකයේ දියුණු යැයි සැලකිය හැකි සෑම රටක්ම සංවර්ධනය සඳහා තමුන්ටම ආවේනික ක්‍රමවේදයක් භාවිත කොට ඇති බව

මැලේසියාවෙ මහතීර් මොහොමඩ් ,කොරියාවේ ජෙනරල් පාර්ක් චුන් හී, සිංගප්පූරුවේ ලී කුවාන් යූ හා චීනයේ ඩෙන් සියා ඕ පිං යොදාගත්තේ තමුන්ටම ආවේනික විසඳුම් මිස පිටතින් ආනයන කල හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියාදුන් විසඳුම් නොවෙයි. ඒ නිසා අනාගතයේ මේ රටට ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අයත් ස්වාධීනව සිතන්නට හැකියාවක් ඇති අය විය යුතුයි.

ලංකාව මෙතනින් ඉදිරියට ගෙනයන්නට නම් ජාතික ප්‍රතිපත්ති සකස්කිරීමේදී රජය විසින් විශේෂ අවධානය යොමුකල යුතු ක්ෂෙත්‍ර 5 ක් ගැන මා සඳහන් කරන්නට කැමතියි. මේ අප විසින් අරමුණු කරගත යුතු පිරිපුන් දේශයේ මූලික ලක්ෂණ කියාද කිවහැකියි. මේ කරුණු ප්‍රතිපත්ති සම්පාදකයින්, දේශපාලනඥයින් මෙන්ම සෑම රජයේ සේවකයෙකුම වටහා ගත යුතුයි. හැම කෙනෙකුටම නිසි අවභෝදයක් හා පොදු ඉලක්කයන් තියෙනාවිට අපට මේ කාර්යය කිරීම පහසුයි.

1) තිරසාර සාමයක්

2)සැමට පොදුවූ ආර්ථික සමුර්ධිය

3)සමාජ සාධාරණත්වය හා සමාජ ප්‍රගමනය

4) නිසි පරිසර කළමණාකරනය

5) ගුණ ගරුක සමාජයක් ගොඩනැගීම

මේ පහේම සම්මිශ්‍රණයක් තුලින් පමනයි අපේ රටේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්ණ වලට විසඳුම් සෙවිය හැක්කේ.

මේ සෑම විශයක්ම දීර්ඝ වශයෙන් කතා කල හැකි ගැඹුරු මාතෘකායි. නමුත් මා අද කතා කරන්නේ මින් පලමුවැන්න වන සැමට පොදුවූ ආර්ථික සමුර්ධිය ගැන පමනයි.

කුමක්ද සැමට පොදුවූ ආර්ථික සමුර්ධියක් යනුවෙන් අදහස් කරන්නේ ? මෙහිදී වැදත්ම කරුණ වන්නේ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාබ රටේ සෑම ජනකොටසකටම බෙදී යනවාද යන්නයි. අපට අවශ්‍ය ආර්ථික දර්ශක වල ධනාත්මක බාවයට වඩා මිනිසුන් සතුටින් ජීවත් වනවාදයන්නයි.

මේ රටේ ආර්ථිකය තියෙන්නේ ජනතාව අතරයි. කම්හලේ ගොවිපොලේ කාර්යාලයේ, පාසැලේ, රෝහලේ වැඩකරන ජනතාව අමතක කරලා අපි දල ජාතික නිශ්පාදනයයි ඒක පුද්ගල ආදායමයි ගැන ගැන කතා කරල පලක් නැහැ.

චීනය වැනි විශාල රටවල් පවා අද මහජන සතුට මැනීමේ දර්ශකයන් ගැන විශේෂ අවධානයක් යොමුකරන්නේ මේ සත්‍යය වටහාගෙනයි.

අද එක්සත් ජාතීන්ගේ ‘ HAPPYNESS INDEX ‘ එහෙමත් නැත්නම් මහජන සතුට මැනීමේ දර්ශකයේ ලංකාව 2018 වසරේ සිටින්නේ 116 ව ස්ථානයේ. දකුණු ආසියාවේ බංගලාදේශයයි නේපාලය වැනි රටවල් පවා ලංකාවට ඉහලිනුයි සිටින්නේ. සෝමාලියාව කොන්ගෝව ඝානා වැනි අප්‍රිකානු රටවල් පවා සිටින්නේ ලංකාවට බොහෝ ඉදිරියෙනි. පලවන ස්ථාන 3 සිටින්නේ ෆින්ලන්තය, නෝර්වේ හා ඩෙන්මාර්කය යන ස්කැන්ඩිනේවියානු රටවලුයි. එසේ නම් අපිට ඉගන ගන්නට ඉතුරුව බොහෝ දේවල් තිබෙන බව පැහැදිලිය.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා අපට සිදුවෙනවා පැහැදිලි දැක්මක් ඇතුව නිශ්චිත ප්‍රතිපත්තීන් මත පදනම් වූ ක්‍රමාණුකූල සැලස්මකට අනුව ක්‍රියා කරන්නට.

විටින් විට අයවැයකට පෙර රැස්වීම් කිහිපයක් තබා හඳුනාගත් ප්‍රශ්ණ වලට උත්තර සෙවීමට වඩා රාජ්‍ය අයවැය සකස් කිරීමේදී දීර්ඝ කාලින සැලැස්මක් අනුවයි සියල්ල සිදුවිය යුත්තේ.

එසේ ගොඩ නැංවෙන ආර්ථිකයක විශේෂයෙන් අවධානය යොමුවිය යුතු අංශ 7 ක් ගැන මා සඳහන් කරන්නට කැමතියි.

1.ආර්ථිකයේ සර්ව සහභාගීත්වය

ආර්ථික ක්‍රියාවලියට රටේ සියලුදෙනාවම සම්බන්ධ කරගත යුතුයි. ආර්ථික විද්‍යාවේ මෙයට කියන්නේ සර්ව සහභාගීත්ව සංවර්ධනය කියායි.ජාති, ආගම්, ගැහැනු පිරිමි වෙනස්කම් නොමැතිව අධ්‍යාපනය, සෞඛ්‍ය හා නිවාස යනු ජනතාවගේ මූලික අවශ්‍යතාවන් බව වටහාගෙන ඒවා සම්පූර්ණ කිරීමට රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුල විශාල අවධානයක් යොමු කල යුතුයි.

2.නීතිමය හා රාජ්‍ය ( ආයතනික ) යාන්ත්‍රණය

නිදහස ලබන කාලයේ ආසියාවේ ඉතාමත්ම ඉහලින් තිබුණ නීති පද්ධතියක් , පරිපාලන සේවයක් තිබුන අපට අද කලාපයේ අන් රටවල් හා සසඳන විට එසේ ආඩම්බරවිය හැකි තත්වයක් තිබෙනවාද යන්න අපි ප්‍රශ්ණ කල යුතුයි. විශේෂයෙන්ම මෑත ඉතිහාසයේ දේශපාලන අවශ්‍යතාවන් ඉටුකරගැනීම සඳහා නීති වෙනස් කිරීම නව නීති සකස් කිරීම බහුලව දක්නට ලැබුනා. දේශපාලන පලිගැනීම් සඳහා අටවා ගත් FCID වැනි නීති විරෝධී ආයතන වලින් රාජ්‍ය සේවකයන්ට කල බිය වැද්දීම නිසා සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය වුනා. ඒ නිසා මේ නීති හා රෙගුලාසි තත්කාලීන කොට රාජ්‍ය සේවය වඩා පලදායි හා කාර්යක්ෂම කිරීම සඳහා ක්‍රමවේදයන් සොයාගත යුතුව තිබෙනවා

3.යටිතල පහසුකම්

රටක සංවර්ධනයට යටිතල පහසුකම් ඉතා වැදගත්, රට තුල ප්‍රවාහණය , සංනිවේදන, ගම හා නගර සංවර්ධනය පමනක් නොව ලෝකය සමඟ ගනුදෙනු කිරීම සඳහා වරාය, ගුවන්තොටුපොලවල් ආදිය සැලසුම් සහගතව ඉදි කිරීම රජයක වගකීමක්. බොහෝ විට මේ යටිතල පහසුකම් ගොඩ නැගිය යුත්තේ අනාගතය සඳහා නිසා එම පහසුකම් වලින් ක්ෂණික ප්‍රතිපල බලාපොරොත්තු වීම මෝඩ කමක් මෙන්ම කුහක කමක්.

උදාහරණයක් වශයෙන් සිංගපූරුවේ කන්ටේනර් වරායක් හදන්නට පටන් ගත්තේ 1969 . එයට පලමුවෙනි කන්ටේනර් නැව එන්නේ 1972 දී. ඊලඟ වසර පහ තුල වරාය දියුණු වුනේ ඉතාම හෙමින්. නමුත් කවුරුවත් වරායට නැව් එන්නේ නහැ කියල වරාය විකුණන්න කිව්වේ නැහැ. අද සිංගප්පුරු වරාය ලෝකයේ විශාලතම කන්ටේනර් වරාය.

නැව සමාගම් 200 ලෝකය පුරා විසිරුනු වරායවල් 600 ක් රටවල් 123ක් සිංගපූරු වරායෙන් සේවා ලබා ගන්නවා. වසරකට නැව් 130,000 කට වඩා මෙම වරායට සේන්දු වෙනවා. ලෝකයේ දියුණු රටක් වන සිංගපූරුවේ ආර්ථිකයෙන් 7% කට දායක වන්නේ මේ වරායයි. නමුත් පෙර අපරදිග යා කරන මුහුදු මාවතේ සිංගපූරුවටත් වඩා සුදුසු ස්ථානයක අප විසින් ඉදිකල වරාය සුදු අලියෙක්ය කියා චීනයට විකුණා දමන්නට පසු ගිය රජය ඉතා අදූරදර්ශී තීරණයක් ගත්තා

4.මානව සම්පත් සංවර්ධනය

අතීතයේ සිටම සාක්ෂරතාවෙන් ඉහල රටක් වූ අපට තිබෙන වැදගත්ම සම්පතක් නම් මානව සම්පතයි. එහෙත් මේ මානව සම්පත දියුණු කිරීම හරියාකාරව සැලසුම් සහගතව කලමණාකරනය වෙනවාද යන්න අප යලි සිතා බැලිය යුතුයි. මානව සම්පත් දියුණුකිරීමේ දර්ශකයේ අපි ඉන්නෙ රටවල් 188 කින් 79 වන ස්ථානයේයි. ඉන් පෙනෙනවා තව බොහෝ වැඩ කරන්නට තිබෙන බව.

තවමත් අපේ රටේ අධ්‍යාපනය සඳහා වසරකට වෙන් කෙරනා මුදල දල ජාතික නිශ්පාදනයෙන් 2%ට අඩුයි. මේ ප්‍රතිශතය 6% දක්වා ඉහල දමනවා කියා පැමිණි වත්මන් රජය යටතේත් එහි කිසිදු වර්ධනයක් වී නැහැ

කෙටි තාක්ෂණික උසස් අධ්‍යාපන වැඩසටහන් කෙරෙහි සිසුන් විශාල වශයෙන් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්

උපාධි අපේක්ෂකයින් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම, වෙළඳපොල අරමුණුකරගත් වානිජ පර්යේෂණයන් හා නව නිර්මාණ බිහිකිරීමට සිසුන් උනන්දු කිරීම රටේ සමාජ ආර්ථික සංවර්ධනයට ඔවුන් දායක කරගැනීමේදී ඉතා වැදගත්.

දැනට අපේ රටේ ජනගහනයෙන් 1.5% පමන වන ව්‍යවසායකයින් ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා අවශ්‍ය කර්ණ සහාය රජය විසින් ලබාදිය යුතුයි. රැකිය අපේක්ෂකයන් වෙනුවට රැකියා සම්පාදකයින් වීමට අපේ තරුණ පරපුරට අවශ්‍ය මාර්ගෝපදේෂකත්වය හා අනෙකුත් පහසුකම් ලබා දිය යුතුයි.

5.ස්වාභාවික සම්පත්වල අගය වැඩිකිරීම

අපේ රටේ දේශගුණය, සරුසාර පස හා පාරම්පරික උරුමය දෙස බලන විට මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්ව්‍යංපෝශිත නොවීම ගැන අපි ලැජ්ජා විය යුතුයි. 2005-2014 කාලයේ දිවි නැගුම වැනි වැඩසටහන් හරහා ගෙවතුවල පවා කෘෂිකර්මාන්තය ප්‍රචලිත කරන්නට උත්සහයක් දැරුවත් පසු ගිය මාස 45 පුරා අපේ රටේ කෘෂිකර්මාන්තයට ලබුනේ කුඩම්මාගේ සැලකිලියි. මේ තත්වය වෙනස් කොට කෘෂිකර්මාන්තයෙන් ස්ව්‍යංපෝශිත වීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණක් කරගත යුතුයි. එමෙන්ම කෘෂි අපනයන්ගෙන් විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීමේ අවස්තා අප සතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිශ්පාදනය හා අගය වැඩිකිරීම සඳහා හැකි පමනින් නව තාක්ෂණයන් හඳුන්වාදීමයි. එසේම අමුද්‍රව්‍ය ලෙස අපනයනය වෙනුවට හැකි පමන අපේ කෘෂි නිශ්පාදනයන් සඳහා වෙළඳ සන්නාම් ගොඩනැගීමට අපේ ව්‍යවසායකයින් උනන්දු කල යුතුයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය කරන කලමණාකරණ උපදේශණ සහායන් හා පුහුනුව ලබා දිය යුතුයි.

මුහුදින් වට වූ රටක් වන අපි පිටරටට අපනයන කරන මාලු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා. මේ තත්වය වෙනස් කල යුතුයි. දනටමත් මේ රටේ මිලියන 2 කට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තයේ හා ඒ ආශ්‍රිත කර්මාන්තයන්හී යෙදී සිටිනවා. ලංකාව තුල මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීමට බොහෝ ඉඩකඩ ඉතුරුව තිබෙනවා. ධීවර කර්මාන්තය සඳහාත් නව තාක්ෂණයන් හඳුන්වාදීම අත්‍යවශ්‍යයි.

ලංකාව මුතු මැණික් පමනක් නොවෙයි තවත් ඛනිජ සම්පත් රාශියක් තිබෙන රටක්. නමුත් බොහෝවිට අපනයනය කෙරෙන්නේ අගය වැඩිකිරීමකින් තොරවයි. මේ කර්මාන්ත දියුණු කොට නව තාක්ෂණය අගය වැඩි කිරීමෙන් විශාල වශයෙන් ලාබ ඉපයීමේ අවස්ථාව මෙතෙක් අපි හරියාකාරව ලබාගෙන නැහැ. අනාගතයේ නීති පනවා හෝ අගය වැඩිකිරීමෙන් තොරව මේ සම්පත් අපනයන සීමා කල යුතුයියි.

6.නව තාක්ෂණයෙන් ඉදිරි පිම්මක්

රටක් වශයෙන් අපිට ආර්ථික පිම්මක් ඉදිරියට පනින්නට නම් තාක්ෂණය අතිශයින්ම වැදගත්. විද්‍යා හා තාක්ෂණ කටයුතු වලට අදාල පර්යේෂණ හැකියාවන් අප දියුණු කල යුතුයි. ඒ සඳහා මානව සම්පත් පුහුණු කිරීමට මෙන්ම පර්යේෂණ විද්‍යාගාර පහසුකම් සඳහා රජය විශාල වශයෙන් ආයෝජනය කල යුතු අතර පෞද්ගලික අංශයද එවැනි ආයෝජනයන් සඳහා උනන්දු කල යුතුයි. අපනයනය කරණු ලබන අපේ රටේ සෑම නිෂ්පාදනයකම අගය වැඩිකිරීම පිටරටවල ඉතුරුනොකොට උපරිම මට්ටමෙන් මේ රටේම කිරීමට අධිෂඨාන කරගත යුතුයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන සෑම අංශයකම ලෝකයේ ඉහලම තාක්ෂණය භාවිත කරණ රටක් බවට පත්වීමට අපි අරමුණු කරගත යුතුයි. එය කල හැක්කේ අප භාවිත කරන තාක්ෂණයන්හී විශාල ප්‍රගමණයක් තුලින් පමනයි. විශ්ව විද්යාල තුල පර්යේෂන දිරිගැන්වීම මෙන්ම නවෝත්පාදනයන් වානිජකරණය දක්වා ගෙන යාමට අවශ්‍ය පසුතලය සකස් කිරීම ඉතා වැදගත්.ඒ සඳහා පසුබිම සකස් කිරීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණක් විය යුතුය.

7.භූගෝලීය පිහිටීම හා ගෝලීය ආර්ථිකය තුල ලංකාවේ භූමිකාව

අපේ රට භූගෝලීය වශයෙන් ඉතා වටිනා ස්ථානයක පිහිටා තිබෙන්නේ. හරියටම ලෝකයේ මැද අපි පිහිටල තිබෙන්නේ. ලංකාවට පහලින් ඇන්ටාර්ටිකාවට යනකම් වෙන කිසිම රටක් නැහැ. පෙර අපරදිග යා කරන ප්‍රධාන මුහුදු මාර්ගය පිහිටල තිබෙන්නේ ලංකාවට නාවුක සැතපුම් කිහිපයක් පහලින්. මැදපෙරදිග හා නැගෙනහිර ආසියාවේ ගුවන් කෙන්ද්‍රස්ථාන තිබුනාට දකුණු ආසියාවේ පිලිගත් ගුවන් කෙන්ද්‍රස්ථානයක් තාම නැහැ. ඒ නිසා ගුවන් හා නාවුක කෙන්ද්‍රස්තානයක් ලෙස දියුණු වීමේ අවස්ථාව අපිට තාමත් තිබෙනවා.

ශ්‍රී ලංකාවට වර්ග කිලෝමීටර 21,500 ක මුහුදු තීරයක් සහ වර්ග කිලෝමීටර් 517,000 ක විශේෂ මුහුදු ආර්ථික කලාපයක් අයිතියි. මේ මුහුදු ආර්ථික කලාපය ලංකාව මෙන් 8 ගුනයක් විශාලයි. අන්තර් ජාතික සාගර නීතිය අනුව අප මීටත් වඩා විශාල මුහුදු ආර්ථික කලාපයකට අයිතිවාසිකම් ඉල්ලා තිබෙනවා. ඒ වර්ග කිලෝමීටර මිලියන 1.4 ක් හෙවත් ලංකාව මෙන් 23 ගුනයක සාගර කලාපයක්. ඒ අනුව සාගරය ආශ්‍රිත සම්පත් රැසක් අපට අනාගතයේදී නව තාක්ෂණය භාවිතයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව තිබෙනවා.

පසුගියදා ලෝන්ලි ප්ලැනට් ( LONELY PLANET ) නම් සුප්‍රකට අන්තර්ජාතික සඟරාව ලංකාව 2019 වසරේ සංචාරය සඳහා සුදුසුම රට ලෙස නම් කොට තිබුණා. නමුත් තවමත් අපේ රටට සංචාරකයන් එන්නේ මිලියන 2 ක් පමනයි. අපට වඩා කුඩා රටක් වන සිංගප්පූරුවට වසරකට සංචාරකයින් මිලියන 14 ක් එනවා. මැලේසියාවට මිලියන 26 ක්. තායිලන්තයට මිලියන 35 ක්. 2017 ලංකාව සංචාරක ව්‍යපාරයෙන් ලද මුලු ආදායම ඇමෙරිකානු ඩොලර් 3.5 ක්. නිවැරදි සැලැස්මක් ඇතුව සංචාරය ව්‍යාපාරය දියුණු කලහොත් වසර 5 ක් තුල සංචාරක ව්‍යාපාරය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක් ඉපයිය හැකි ලංකාවේ විශාලතම ව්‍යාපාර ක්ෂේත්‍රය බවට පත් කරන්නට පුලුවන්.

ආර්ථිකය ගැඹුරු විශයක්. බොහෝ පැතිකඩවලින් විමසා බැලිය යුතු විශයක්. රටක ආර්ථික සංවර්ධනය ඉතා සංකීර්ණ ක්‍රියාවක් මන්ද මෙහිදී අපට ඍජුව පාලනය කල නොහැකි විචල්‍යයන් රාශියක් සමග කටයුතු කරන්නට සිදු වෙනවා. අප ගන්නා තීරණයක අවසාන ප්‍රථිපලය නිසැකවම කියන්නට බැහැ මන්ද අපේ තීරණ ක්‍රියාත්මක වන්නේ සංවෘත අවකාශයක නොවන නිසා. අනපේක්ෂිත බාහිර බලපෑම් නිසා ප්‍රතිපල අපි හිතනවාට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා තමයි අපිට කන්ඩායමක් ලෙස කල හැකි දක්ෂ ආර්ථික කලමණාකරුවන් පිරිසක් අවශ්‍යවන්නේ සැලසුම් සෑදීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට.

මේ දේශණය තුල මා උත්සාහ කලේ ජනතා කෙන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාව ඔබට පෙන්වා දීමට හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීමේදී අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට පමනයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 2005-2014 පාලන කාලය තුල මහින්ද චින්තන වැඩ පිලිවෙල යටතේ මින් බොහෝ කරුණු වලට අවධානය යොමු කර තිබුනා. රටේ අලුත් වෙනස්කම් සමඟ අපේ ආර්ථික සංවර්ධන ඉලක්කයන් ඉටුකරගැනීමට යම් කාලයක් අවශ්‍යයි. පලමුවෙන්ම අප කල යුත්තේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමයි. ඒ සඳහා අපට වඩාත් පුලුල්ව සිතන්නට වෙනවා. දැන්ම අදාල සැලසුම් සාකච්ඡා කලොත් අපට ඊලඟ පියවරේ වැඩ කටයුතු ආරම්ඹ කරන්නට පුලුවන්.

 

One Response to “යහපාලන යුගයේදී පමණක් රුපියල 30%කින් බාල්දුයි.. විදේශ ණය වැඩිවීම පමණක් රුපියල් කෝටි ලක්ෂය පනී..”

  1. Randeniyage Says:

    Find out yourself who and what harm done to our motherland by various liars this year.

    Check yourself how our currency has dropped this year and compare it a similar country as our per capita GDP, Indonesia

    “https://www.xe.com/currencycharts/?from=USD&to=LKR&view=1M”

    January – take this as the base (0%)
    March – LKR dropped 1.3 % IDR dropped more 1.85%
    May – LKR dropped 3.2% IDR dropped more 3.7%
    July – LKR dropped 4.5% IDR dropped more 5.2%
    September – LKR dropped 7.8% IDR dropped more by 9.2%
    October – LKR dropped 14.3 % IDR dropped similar but slightly more 14.8%

    What has happened after Sirisena + Mahinda created trouble ?

    November – LKR dropped 17% where are IDR appreciated to a 7.4% drop compared to January.

    No one made noise in Indonesia for dropping of their currency and in November they made up half the drop
    In Sri lanka huge complaints and endless demonstrations and by November they destroyed our currency !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress