මාව අඩි 06ක් පොලව යට වලලන්න මහින්ද කුමන්ත‍්‍රණ කලේ නෑ.. ඒව දේශපාලන වේදිකාවේ කතා පමණයි.. මාව මරන්න කුමන්ත‍්‍රණය කලේ රනිල් වික‍්‍රමසිංහයි..- ජනපති මෛත‍්‍රී
Posted on December 2nd, 2018

lanka C news

සිදු වූ දේශපාලන වෙනසත් සමඟ රට අරාජික අස්ථාවරභාවයකට පත්ව තිබෙනවා කියන චෝදනාවෙන් ඔබට ගැලවිය හැකිද?

කවුද එහෙම කියන්නෙ? රට අරාජික වෙලත් නෑ. අස්ථාවර වෙලත් නෑ. රටේ මිනිස්සු දෛනිකව තමන්ගෙ රස්සාවල් කරනවා. ව්‍යාපාර කටයුතු ටික කරනවා. ගැටුම් අර්බුදයක් නෑ. සියලු සේවාවන් සාමාන්‍ය පරිදි රටේ සිදුවෙනවා. අස්ථාවරයි. අරාජිකයි කියන ඒවා දේශපාලන වචන විතරයි.

නමුත් ඔක්තෝබර් 26දා ඔබ ගත් තීරණය හා සිද්ධි දාමයට අනුව එහි මූලික වගකිවයුත්තා ඔබයි. මෙවැනි තීරණයක් ගන්න බලපෑ ආසන්නතම හේතුව මොකක්ද?

රනිල් වික්‍රමසිංහට ඕනෑ විදියට රට විනාශ කරන්න ඉඩ දෙන්නද මට කියන්නේ. වංචා, දූෂණ, හොරකම, රට පාවලා දෙන වැඩ කරන තුරු මං බලා සිටිය යුතුද?

ඒවා වළක්වපු එකද මං කළ අස්ථාවරකම? මේ අර්බුදය නිර්මාණය කරලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ.

මේක මේ දවසක දෙකක අර්බුදයක් නෙවෙයි. පසුගිය අවුරුදු 3 තුළ තිබූ අර්බුද රහස් නොවේ. කැබිනට් මණ්ඩලයේ ගැටුම්, ඉන් බාහිරව ඇති වූ දේවල්, ඝාතන කුමන්ත්‍රණ, හොරකම්, දූෂණ පාවාදීම් මේවා එක්ක ඒවයේ ප්‍රතිඵලය මේ.

මාව අඩි 06ක් පොලව යට වලලන්න මහින්ද කුමන්ත‍්‍රණ කලේ නෑ.. ඒව දේශපාලන වේදිකාවේ කතා පමණයි.. මාව මරන්න කුමන්ත‍්‍රණය කලේ රනිල් වික‍්‍රමසිංහයි..- ජනපති මෛත‍්‍රී

රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් ඉවත් කරන්න ඔබට බලපෑ ආසන්නතම කාරණය කුමක්ද?

ආසන්නතම හේතුව ඝාතන කුමන්ත්‍රණය.

මෙම ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ නාමල් කුමාර නමැත්තා කිව්වා ඔබයි ගෝඨාභය රාජපක්ෂ මහතායි එකතු වෙලා දේශපාලන සන්ධානයකට යන්න හදපු හින්දයි මේක ආවේ කියලා. එවැනි සාකච්ඡාවක් තිබුණද?

ඒක නාමල් කුමාරගෙන් තමයි අහන්න ඕනෙ.

නමුත් ඝාතන කුමන්ත්‍රණ කතාව ඇත්තක් නම් මේ ප්‍රකාශයත් ඇත්තක් විය යුතුයි නාමල් කුමාරට අනුව?

එහෙම කාරණයක් මං දන්නෙ නෑ.

මේ ඝාතන කුමන්ත්‍රණයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග වේගවත් නෑ කියලා ඔබ පිළිගන්නවාද?

ඔව්. ඔව්. ඒකට බාධාවන් රාශියක් තියෙනවා.

කවුද ඒ බාධාවන් පිටුපස සිටින්නෙ?

ඒ පාර්ශ්වවල අය තමයි. ඒ අය ඉවත් කරන්නත් මේ අලුත් තීන්දු තීරණ ගන්න වුණෙත් ඒ බාධාවන් නිසා.

ඔබ පොලිස්පතිවරයාටත් මේ ගැන ඍජු චෝදනාවක් එල්ල කරනවා?

ඔව්. පොලිස්පතිවරයාත් මේකෙ වගකිවයුත්තෙක් කියලා සාක්ෂිවලින් කියනවනේ. ප්‍රකාශ අරගෙන තිබෙනවා. එයා ඇයි ආයුධ නිකුත් කෙරුවේ. නාමල් කුමාරගේ කැසට් පටයේ හඬ සැකසහිතයි කිව්වෙ කොහොමද කියන ඒවා ඔහු කිවයුතු දේවල් නෙවෙයි.

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් එල්ල වුණාම පරීක්ෂණයක් නැතිව ඒක සැක සහිතයි කියලා කියන්න පුළුවන්ද අයි.ජී.පී. කෙනකුට?

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ මාරුව සිදුවුණේ ඔබේ අනුදැනුම මත කියලා යම් පාර්ශ්ව දෙකකින් ලිපි දෙකක් එළියට එනවා?

ඒ ගැන අයි.ජී.පී.ට විරුද්ධ පරීක්ෂණයක් කරනවා. පොලිස් කොමිසමට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න සූදානම්.

ඔබ නව අගමැතිවරයෙක් පත් කරනවා. අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. බහුතරය තිබෙන බවත් ප්‍රකාශ කළා. ඇයි එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තීරණය කළේ?

පාර්ලිමේන්තු මැතිවරණය අපි කල් තැබුවේ අය – වැය හදාගන්න ඕනෑ නිසා. ඒ අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නැතිවනේ අනෙක් පාර්ශ්ව යෝජනා සම්මත කරන්න පටන් ගත්තෙ. ආණ්ඩුවක් නැතිව පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩුවක් නැති තැන පාර්ලිමේන්තු කටයුතු කරගෙන යෑම ප්‍රශ්නයක්.

බහුතරය තිබෙනවා කිව්වට අදටත් ඔබ පාර්ශ්වයට බහුතරය නැහැ නේද?

ඇයි මං කියලා තියනවනේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකෙන් විශ්වාසභංග යෝජනාවට ඡන්ද අරන් පෙන්වන්න. එතකොට බහුතරය පේනවා. ඊළඟට මාව සම්බන්ධ කරලා තියෙනවා පළමුවැනි විශ්වාසභංග යෝජනාවේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරලා කියලා. ඒක මං පිළිගන්නෙ නැහැ. මං කියලා තියෙනවා ඒවා අයින් කරන්න කියලා. ඒවා දැන් අයින් කරලා තිබෙනවා.

ඔබ පාර්ශ්වය කථානායකවරයා ප්‍රබල විවේචනයට හසු කරන්නේ 113 බහුතරය නොමැතිකම වසා ගැනීමට නේද?

මම කථානායකතුමාව විවේචනය කරන්නේ නැහැ. ඒ මන්ත්‍රිවරු හා ඒගොල්ලො අතර තියෙන ප්‍රශ්න. කථානායකතුමාව එහෙම විවේචනය කිරීමේ අවශ්‍යතාවක් මට නැහැ.

කථානායකවරයාගේ ක්‍රියාකලාපය ගැනත් ඔබට යම් හෝ චෝදනාවක් නැද්ද?

කථානායකවරයා 14 වැනිදා විශ්වාසභංග යෝජනාවක් ක්‍රියාත්මක කළ යුතු ස්ථාවර නියෝග ඒ විදියටම අනුගමනය කළා නම් ඔය ප්‍රශ්නය එන්නෙ නැහැ. එසේ නොකිරීමනෙ දිගටම ගැටුම් ඇති කරන්න බලපෑවේ.

ර්ණීපඤඥප ර්ථීචනඥප න්‍යාය පත්‍රයට දාලා ඒ දින ගණන ඇතුළත් කරලා ගන්න තිබුණා. දැන් ඒවා හුඟක් සමනය වෙලා තිබෙනවා.

ඔබ විදෙස් මාධ්‍යවේදීන්ට කිව්වා විශ්වාසභංගය ක්‍රමානුකූලව ආවොත් බහුතරය ක්‍රමානුකූලව පෙන්නුවොත් මහින්ද රාජපක්ෂ මහතා සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කියලා ඔබ බලාපොරොත්තු වන බව.

ඔබ කුමන අදහසින්ද මේ ප්‍රකාශය කෙළේ?

මං කියන්නෙ බහුතරය තියෙන පැත්තට ආණ්ඩුව දෙන්න ඕනෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව කළ යුතු දෙයක්.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකමින් ඉල්ලා අස්වෙයි කියා ඔබ බලාපොරොත්තු වෙනවද?

නෑ. ඉතින් ඒක එතුමා ගන්න ඕනෑ තීරණයක්. පළමු දේ එතුමාගේ පැත්ත බහුතරය හදාගන්න ඕනෑ. එතුමාගේ පැත්තෙ බහුතරය හදාගන්න බැරි නම් එය අනෙක් පැත්තට යනවා. බහුතරය තියෙන්නෙ මොන පැත්තෙද ඒ පැත්තට ඒ අයිතිය දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දෙයක්.

එවිට නැවත ඔබ සමඟ කටයුතු කිරීමට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ. මෙච්චර විවේචන එල්ල කරලා කොහොමද නැවත එජාපය සමඟ මෛත්‍රි පෑහෙන්නෙ?

එහෙම අවස්ථාවක් ආවොත් ඒ අය ගෙනැල්ලා සාකච්ඡා කරනවා.

නමුත් ඔබ ඍජුවම ප්‍රකාශ කළා නැවත වරක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් නොකරන බව?

නෑ. නෑ. රනිල් නැවත අගමැති ලෙස කෙසේවත් පත් කරන්නේ නැහැ.

දැනට පෙනෙන්නට තිබෙන කරුණුත් සමඟ යම් හෙයකින් එජාපය බහුතරය පෙන්වා නැවත අගමැති විය යුත්තේ රනිල් වික්‍රමසිංහ කියලා එජාප පාර්ශ්වයම යෝජනා කළොත් ඔබේ ඔය තීරණය බල රහිත වෙනවා නේද?

බහුතරය පෙන්වා අගමැතිකම් ගන්න ව්‍යවස්ථාවේ කොහෙවත් සඳහනක් නැහැ.

ඒ කියන්නේ නැවත අගමැතිවරයෙක් පත් කිරීමේදී ඒ තීරණයත් පැහැදිලිවම ඔබ අතේද?

පැහැදිලිවම. ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයාත් කැමැති කෙනා තමයි අගමැති ධුරයට පත් කරන්නේ කියලා.

කථානායක කරු ජයසූරිය ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියාකළා නම් පාර්ලිමේන්තු ක්‍රමවේදය අනුව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකියි.

තැන තැන ‍ෙදාස් පවරනවා හැර ඔබේ පාර්ශ්වය එවැනි ක්‍රියාමාර්ගයකට නොයන්නෙම එවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් පරාජය වන බව දැනගෙනද?

කථානායකවරයා ස්ථාවර නියෝග කඩකර නැහැ. ස්ථාවර නියෝග අනුව ඡන්ද විමසන ක්‍රම 3ක් තිබෙනවා. ඒ මන්ත්‍රිවරුන්ගේ හ¾ඩින් බහුතරය බැලීම. නමුත් මම යෝජනා කළේ මේ වගේ ආණ්ඩුවක් වෙනස් වන, ආණ්ඩුවක් පත්වන බරපතළ ගැටලුකාරී අවස්ථාවක එහෙම හ¾ඩින් නෙවෙයි මන්ත්‍රිවරුන්ගේ නමින් නැති නම් ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකෙන් ඡන්ද ගැනීම.

ඔබ මේ තීරණය ගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙන පෞද්ගලික කෝන්තරයකටද කියලා කෙනෙක් චෝදනාවක් කළොත්?

එහෙම චෝදනාවක් කරනවා නම් ඒ මෝඩයෙක්.

නමුත් ඔබ සජිත්ට හා කරුට අගමැතිකම ලබා ගන්න කියලා යෝජනාවක් කළා. ඔවුන් භාරගත්තේ නැහැ.

ඉන් පැහැදිලි වෙන්නේ ඔබට ගැටලුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ මිස එජාපය සමඟ නෙවෙයි කියලා?

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික දර්ශනය සහ දේශපාලන දර්ශනය මේ රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. කාරණය තමයි ඒක. දේශීය කර්මාන්තයට සලකන්නේ නෑ. කෘෂිකර්මාන්තයට සලකන්නේ නෑ. එයා කරන ඉඩම් ගනුදෙනු, ආයෝජකයන් සමඟ කරන ගනුදෙනු දූෂිතයි. මේ වගේ කරුණු ගණනාවක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය අගමැතිකම භාරගන්නැයි කළ ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඔබ ගැන ඇති අවිශ්වාසයටද?

මං ගැන ඇති අවිශ්වාසයකට නෙවේ. රනිල් වික්‍රමසිංහට තියෙන බය නිසයි.

දැන් ඒ තත්ත්වය වෙනස් වෙලාද?

ඒක මම දන්නේ නෑ. ඒක දන්නේ ඒ ගොල්ලෝ.

අගමැති යෝජනාව එජාපයේ ප්‍රබලයන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ පසු ඔබේ තුන්වැනි තේරීම වන්නේ මහින්ද රාජපක්ෂ. කොහොමද මේක අපි ගළපන්නේ. මොකද්ද හේතුව?

ඔව්, ඉතින් වෙන කෙනෙක් නැති හින්දනේ.

ඔබට අනුව 2015 ජනවාරි 8න් පසු පොළොවෙන් අඩි 6ක් පහළට බස්සවන්න හිටපු මහින්ද රාජපක්ෂ අද ඔබට කොහොමද විශ්වාසවන්ත වුණේ? ඔබේ මේ ප්‍රකාශය ජනතාවගේ ඔළුවලට තදින්ම කාවැදුණා?

ඒවා ඉතින් දේශපාලන වේදිකාවල කියපු දේවල්නේ. මේක මේ පැහැදිලිවම අහුවෙච්ච කුමන්ත්‍රණයක්නේ.

මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත් දෙදෙනාටම ඔබව ඝාතනය කරන්න වුවමනාව තිබුණා නම් මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ ජනාධිපතිතුමා?

මාව ඝාතනය කරන්න මේ අය සැලසුම් කළේ නෑ.

එවැනි සැලසුමක් නොතිබුණා යැයි ඔබ පැවැසුවත් 2015 ජනවාරි 8න් පසු ඔබ කළ ප්‍රකාශය ඉතා බරපතළයි?

ඒවා මැතිවරණ ව්‍යාපාර තුළ වෙන දේවල්.

හරි. එහෙනම් මම ඔබෙන් මෙවැනි ප්‍රශ්නයක් අහනවා. 2015 මහින්ද රාජපක්ෂට පක්ෂව ලක්ෂ 57යි. ඔබට පක්ෂව ලක්ෂ 62යි. ඒ අනුව ඔබට ලක්ෂ 57ක් විරුද්ධ වෙද්දී ලක්ෂ 62ක් මහින්දට විරුද්ධ වුණා.

අද රාජපක්ෂ සිරිසේන එකට හිඳීම අර ජන වරමට කළ පයින් ගැසීමක්. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ඔබට දැනෙනවාද?

ඒ ජනවරම පෙබරවාරි 10දා ඉවර කළානේ. පළාත් පාලන ඡන්දෙදි රටේ ජනතාව එය පෙන්නුවා.

ඒ කියන්නේ රාජපක්ෂ-සිරිසේන දැන් පෑහෙනවාද?

ඒක තීන්දු වෙන්නෙ අනාගතයේ. වැඩ කරගෙන යෑම තුළ. කසාදයක් බැන්දත් ඕක දවසින් දෙකෙන් කියන්න බැහැනේ. කාලයක් යද්දී තමයි බබාලා හම්බ වෙලා පිළිවෙළක් වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔබට තිබූ තවත් ප්‍රබලතම විවේචනයක් තමයි ඔහු විද්‍යාත්මක පදනම මත අමාත්‍යාංශ පත් කිරීමට එකඟ නොවීම. නමුත් ඔබ ඒ මොහොතේ හෝ දැන් හිටපු අගමැතිවරයාට ‍ෙදාස් පවරනවාට වඩා ඔබේ විධායක බලතල අනුව ඊට ක්‍රියාමාර්ග ගැනීමේ බලය තිබුණා නේද?

ඒ කියන්නේ මේ ගිය ඔක්තෝබර් 21දා ගත වෙලා එය පළමු සතියේම නොකළේ ඇයි කියලා ඔබ අහන්නේ.

නෑ මම අහන්නේ ඊට පෙර පත් කළ අමාත්‍යවරු හා අමාත්‍යාංශ ගැන?

නෑ නෑ. ඔබ කියන්නේ මේක ගැන. ඔබ කියනවා මගේ විධායක බලතල පාවිච්චි කරන්න තිබුණා එවැනි දේකට කියලා. මං අවුරුදු 3ක් විධායක බලතල පාවිච්චි කළේ නැහැ. එයා කරන වැරැදි වැඩත් එක්ක, ගැටුම් එක්ක දිගටම ගියා.

ඒකට හේතුව ආණ්ඩුව පෙරළෙයි කියන බයද?

ඒකට හේතුව මගේ ඉවසීම. ඉවසීම සහ කළගුණ සැලකීම.

19 වැනි සංශෝධනය හරහා ඔබේ විධායක බලතල අඩු කරගැනීම ගැන ඔබ අද පසුතැවෙනවා වගේ?

මගේ කිසිම පසුතැවීමක් නැහැ. බලය කියන එක යන්න ඕනෑ සුදුසු මිනිස්සු අතට. මම මගේ බලය දුන්නට ඒ මගේ බලය ගිය තැනනේ මේ වැරැදි කරන්නේ. ජනාධිපති ධුරයේ තිබුණු බලය දුන්නේ ව්‍යවස්ථාදායක සභාවට හා අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවට. මගේ තිබුණු ඒ අසීමිත බලය දුන්නම ඒ බලයෙන් වැරැදි වැඩ කරලා තියෙනවා. දූෂණ වංචා, පාවාදීමේ රාශියක් සිදුවී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ දූෂණ ගැන සෙවීමට කොමිසමක් පත් කරන්න ඔබ සූදානම් කිව්වා. නමුත් මීට පෙර ඔබ පත් කළ කොමිෂන් තුනෙන් දෙකක වාර්තා පමණක් නිකුත් වෙලා. ඔය කියන කොමිසමටත් ඒ සෙතේම වෙයිද?

නෑ. අනික් ඒවයේ වැඩ කෙරෙමින් පවතිනවනේ.

නමුත් ඒවා මන්දගාමියි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මන්දගාමී කළේ ඔය රනිල් වික්‍රමසිංහ. ඒ අය අතේනෙ පොලිසිය, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව ඔක්කොම ඒ අය අතේ. ඒ නිසා ඒ අය තමයි ඒවා මන්දගාමී කරලා, කඩාකප්පල්කාරී කරලා බාධා කළේ.

ඔබ විසින්ම පත් කළ බරපතළ වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභාවේ නඩු 33ක් තිබෙනවා.

එහි බහුතරයක්ම තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩයමට අද ඒ සියල්ල ඔබ වටේ. වංචනිකයන්, දූෂිතයන් සමඟ මා නැහැ කියලා ඔබ කිව්වත් මොනවද මේ වෙන්නේ?

දැන් ඒ වර්තා භාරදීලා අවුරුද්දකට වැඩියිනෙ. කෝ රනිල් වික්‍රමසිංහ මහත්තය මොකද කළේ. අන්න ඒක තමයි මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ.

ඒ දූෂණ චෝදනා එල්ල වී සිටින පිරිස ඔබ ළඟ සිටියත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි නේද ජනාධිපතිතුමා?

ඔය හැම දෙයකටම යම් යම් තනතුරු වගකීම් තියෙනවානේ. අධිකරණයෙ ඉන්න අය අධිකරණයෙ. ජනාධිපතිවරයා ජනාධිපතිගේ වගකීම්. ඇමැතිවරු ඇමැතිවරුන්ගේ වගකීම්. එතකොට ඒ ආයතන භාරව ඉන්න අය ඒවා කරන්න ඕනෑ. මම කොමිෂන් සභා පත් කළා. පරීක්‍ෂණ කරලා වාර්තාව ගත්තා. ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීම ඒ අදාළ ආයතනවලට භාරයි. ඒ වගේ ඔක්කොම හිටියෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇමැතිවරු.

එයාගේ නායකත්වයෙන්, ඒවා නොකෙරුණාට ඒ සම්පූර්ණ වගකීම එයාගෙ. අර්බුදයෙ නිර්මාතෘ රනිල්.

ඒ වගේම ඔබව ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයට තමාත් සම්බන්ධ නම් පැය 48ක් ඇතුළත පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කරන්න කියලා ඇමැති සරත් ෆොන්සේකා අභියෝග කළා?

මොකක්ද මේ මෛත්‍රි – ෆොන්සේකා ගැටුම?

අනේ සරත් ෆොන්සේකයි මායි අහසයි පොළොවයි වගේනේ. එයා තීන්දු තීරණ ගන්න විදිය, මම හිතන විදිය බොහෝම වෙනස්නේ. එයා කරන දේවල් මං කරන්නේ නෑ.

ඇමැති ෆොන්සේකාත් මේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවද මේ කියන්නේ?

නාමල් කුමාර කියනවානේ ෆොන්සේකාත් ඊට උදවු කළා කියලා. ඒවා පරීක්‍ෂණවලින් ඉදිරියට එයි.

ඒ සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුවෙනවාද?

ඒවා පරීක්‍ෂණ නිලධාරීන්ගේ වැඩක්. ඒවා මට අයිති කාරණා නෙවේනේ.

ඔය ඝාතන කුමන්ත්‍රණයට අදාළව පසුගිය දින කිහිපය තුළ සිදුවූ පරීක්‍ෂණ ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

ඔව්. දැන් එහි ප්‍රතිඵලයක් විදියටනේ අයි.ජී.පී. එහෙම ඇවිත් ප්‍රකාශයක් දුන්නේ.

ප්‍රබලම මාතෘකාවට ලක්ව තිබූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව ඉදිරි ඉක්මන් ක්‍රියාමාර්ග ගනීවි යැයි ජනතාව බලා සිටිනවා?

ඔව් ඉතින්. යූ.එන්.පී.ය. ඒ පරීක්‍ෂණවලට හුඟක් බාධා කළා.

මා මීට පෙර ඔබ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදීත් ඔබ කිව්වා බැඳුම්කර පරීක්‍ෂණවලට ඉහළින් බාධා කියලා. අදත් ඒ බලපෑම් තිබෙනවාද?

නෑ. නෑ. දැන් මට බලපෑම් නැහැ.

ඒ කියන්නේ කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකියි කියන එකද?

ඒ පරීක්‍ෂණ දැනට කෙරෙමින් පවතිනවානේ.

ඔබේ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ම කිව්වා ඒ බැඳුම්කර වාර්තාව අනුව රනිල් වික්‍රමසිංහ ඉන්න ඕනෑ හිරේ.

නමුත් ඔබේ මැදිහත්වීමෙන් තමයි රනිල් වික්‍රමසිංහගේ නම ඒ වාර්තාවෙන් ඉවත් වුණේ කියලා?

කවුද කියන්නේ.

ඇමැති එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් ඒ බව පැවැසුවා?

මං දැක්කෙ නෑ. ඔය කඩපිල්වල, බස්වල යන ගමන් කතා කරන ඒවට මං උත්තර දෙන්නෙ මොකටද?

කඩපිල්වල නෙවෙයි ජනාධිපතිතුමා ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ මේ බව කියන්නේ?

මාධ්‍යවලත් දාන්නෙ ඒ වගේ දේවල්නේ. වටිනාකමින් අඩු ඒවනේ වැඩි හරියක්ම මාධ්‍යවල යන්නේ. මිනිසුන්ට හොඳට කියවන්න පුළුවන් ඒවා පළ වෙන්න ඕනෑ. හොඳ ශාස්ත්‍රීය ලිපි වගේ ඒවගෙන් පත්තර පුරවන්න ඕනෑ. නාන තොටුපොළවල්වල කියන ඒවා වැඩක් නෑ. ඒවා කියලා ඒ අය නාගන්නවා.

ඒ අය වාඩි වෙන්නේ ඔබව නියෝජනය කරමින් නේද?

නෑ… නෑ… මං නියෝජනය කරන්න මං කාටවත් ඉඩදීලා නෑ.

එස්.බී. දිසානායක ඇමැතිවරයාම කිව්වා නේද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන්න කියලා. එය අහෝසි කිරීමේ හැකියාවක් තියෙනවාද?

මං ඒ ගැන බැලුවේ නැ.

උසාවි නියෝග අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යෑමට සිදුවුණොත් මොකද කරන්නේ?

එහෙම වුණොත් මැතිවරණයකට යා යුතුයි. නමුත් ඒ ගැන තවම සාකච්ඡා වී නෑ. තිබූ සාකච්ඡා උසාවි ගිය නිසා නැවතුණා.

ඔබ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ තීරණය ගත්තේ රාජපක්‍ෂ හෝ කවුරුන් හෝ බහුතරය ගැන විශ්වාසය තබන්න කියලා කළ ඉල්ලීමකටද?

රාජපක්‍ෂ කියන්නෙ කණ්ඩායමක්නේ. ඒවාහි විශ්වාසය හා වගකීම ඔවුන් භාරගත්තා.

මේ සිදුවීම සමස්තයක් ලෙස ගත්තම මෙය කුමන්ත්‍රණයක් මිස ඕපපාතිකව සිදුවූ දෙයක් නෙවෙයි කියලා ප්‍රබල චෝදනාවක් තිබෙනවා?

මුල සිට කුමන්ත්‍රණයෙ හිටියෙ රනිල් වික්‍රමසිංහ. 2015 සිටම.

නමුත් මේක මෛත්‍රි – මහින්ද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවටයි චෝදනා එල්ල වෙන්නේ?

ඕවා කියන්නේ යූ.එන්.පී. කාරයෝනේ.

එතකොට මේ තීන්දුව ගන්න ඔබ කොපමණ කලක් ගත්තද?

සති දෙකයි.

සති දෙකෙන් තීරණයකට එළැඹුණා. ඔබට මහින්ද රාජපක්‍ෂ මහතා ඒ තරමට විශ්වාසද?

ඒක ඇති වෙන්නේ වැඩකිරීම තුළ.

පවුල පෝෂණය කරන රාජපක්‍ෂට මෙවර මෛත්‍රිපාල සිරිසේන රැවටුණු බවයි ඇතැමුන්ගේ මතය. මොකද ඔබට හිතෙන්නේ?

ඔය මත හරියට වලාකුළු වගේ. උදේට එකයි. හවසට එකයි.

ඒ කියන්නේ ඔබ රැවටුණේ නෑ කියලද?

අපෝ නෑ. රැවටෙන්න මං බබෙක් යෑ.

මේ යන විදියට අගමැතිවරයෙක් පත් කරගන්නෙ කොහොමද?

ඒක බැරි වෙන්නෙ නෑ. හැබැයි කොරහෙ කිඹුල්ලු දකින්න ඕන නෑ.

රටේ හැම ක්‍ෂේත්‍රයක්ම ඇස් පනා පිට බංකොලොත් වෙද්දී ඔබේ මේ පිළිතුරු අනුව මෛත්‍රිපාල සිරිසේන හරි සැහැල්ලුවට ඉන්නවා කියලා කිව්වොත්?

එකක් තමයි රට අරාජික වී හෝ බංකොලොත් වී නෑ. මං ඉන්නෙ සැහැල්ලුවෙන් තමයි. කොහෙද බංකොලොත් වෙලා තියෙන්නේ? උසාවියෙ නඩු අහනවා නම් අමාත්‍යාංශවල වැඩ කෙරෙනවා නම්, මිනිස්සු රස්සාවට යනවා නම්, දරුවෝ පාසල් යනවා නම්, ගෙවල් ‍ෙදාරවල්වල පෞද්ගලික ජීවිත හොඳට ගෙවෙනවා නම් කොතැනද අරාජිකත්වයක් තියෙන්නේ?

ඔබ පත් කළ නව ආණ්ඩුවට මාසයකට අධික කාලයක් ගත වෙලා. නමුත් තානාපතිවරුන් හෝ ජාත්‍යන්තරයෙන් මෙය පිළිගැනීමකට ලක් වී නෑ.

කලින් තිබූ ජාත්‍යන්තර පිළිගැනීම නැති බව ඔබ පිළිගත යුතුයි නේද?

එහෙම නොපිළිගැනීමක් වී නැහැ. මං තානාපතිවරු කොච්චර මුණ ගැහිලා තියෙනවද මං එකවරෙක පමණක් ලංකාවේ තානාපතිවරු 65ක් 70ක් විතර මුණගැසුණා. වෙන වෙනම හුඟක් අය හම්බ වෙලා තියෙනවා. උව් ඛ්ධභදබපර ඤඪපඥජබධප මං මුණගැසුණා.

ඔබ සමඟ තානාපතිවරු සාකච්ඡා කළත් නව ආණ්ඩුව ජාත්‍යන්තරය විසින් පිළිගන්නේ නැහැ නේද?

කවුද එහෙම චෝදනා කරන්නේ?

ඒ කියන හෝ දකින ගැටලු විසඳෙයි. පාර්ලිමේන්තුවල ගහගන්නවා. බැන ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ මේ රටේ විතරද? ඉන්දියාව, ජපානය, ඇමෙරිකාව, රුසියාව දිහා බලන්න. පාර්ලිමේන්තුවේ ගහගන්න විදිහ. එළව එළවා ගහනවා. අත පය කඩන්නේ.

ඔබ අනෙක් රටවල් සමඟ පාර්ලිමේන්තු ක්‍රියාවලියන්් සංසන්දනය කරන්න උත්සාහ කළත් පසුගිය දින කිහිපය තුළ මෙරට සිදු වූ මිරිස් කුඩු ප්‍රහාර, පිහි, පුටුවලින් පහරදීම්වලට එරෙහි ක්‍රියාමාර්ගයක් නොගන්න අදහසින් ද සිටින්නේ?

ඒවාට ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. කථානායකතුමා පොලිසියට දන්වලා ඒ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. මොන පක්‍ෂයක වුණත් පක්‍ෂ භේදයකින් තොරව ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

මහ මැතිවරණයකට යන එක තීරණය වන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව මත. නමුත් ඔබ ගත් තීරණය හරිද නැද්ද කියලා උරගා බලන්න නම් ජනතාව ඉදිරියට ගොස් ජනාධිපතිවරණයකට යා යුතුයි කියන අදහසට ඔබ එකඟද?

මොකටද එච්චර මෝඩ වැඩ කරන්නේ. තව අවුරුද්දක් තියෙනවානේ.

ඔබ ව්‍යංගයෙන් කිව්වේ කලින් ජනාධිපතිවරණයක් තියලා රාජපක්‍ෂ කරගත්තු මෝඩකමින් පාඩමක් ඉගෙන ගත්තා වගේ අදහසින් නේද?

මම දන්නේ නෑ ඉතින් ඒවා හිතන අය හිතා ගන්න ඕනෑ. (මහ හ¾ඩින් සිනා)
මේ දෝලනයත් එක්ක ලබන වසරේ ජනවාරි වෙන විට රටේ කුමනාකාරයේ ආණ්ඩුවක් තියෙයිද ඔබ දකින ආකාරයට?

අද වගේම එදාටත් රටේ මිනිස්සු කරදරයකින් තොරව වැඩ කටයුතු කර ගෙන යයි.

නමුත් ලබන වසරට අය-වැයක් ගැන කිසිදු කතා බහක්වත් නෑ. ඔබට මේ තරම් සරලව පිළිතුරු දිය හැකියිද?

ඒවා කලබලයකින් තොරව වෙයි. රටේ ජනතාව කලබල නොවී වැඩ කටයුතු කරගෙන යන්න. ඒවා ඒ මැති ඇමැතිවරු, පාර්ලිමේන්තුව, ආණ්ඩුව, ජනාධිපති, අගමැති ඒ ඒ ප්‍රශ්න විසඳනවා. අනවශ්‍ය භීතියක් හදාගන්න ඕනෑ නෑ.

ඡන්ද අද තීරණය කර හෙට තියන්න බෑ. නමුත් තව හරියටම ඉතිරිව තිබෙන්නේ දින 29යි. ජනවාරි සිට රාජ්‍ය වැටුප් වෙන් කිරීම ඇතුළු කාරණාවලට පිළිතුරක් දීම ඔබේ සෘජු වගකීමක්?

ඔව්. දෙසැම්බර් මාසේ තව එහෙම්මම තියෙනවනේ.

අද වන විට දින 2ක් ගත වෙලා. මේ ඉතිරි දින 29 තුළ ඊට කඩිනමින් ක්‍රියා මාර්ගයකට ඔබ අවතීර්ණ විය යුතුයි නේද?

ඔව්. දෙසැම්බර් මාසය වන විට ඔය ප්‍රශ්න සියල්ල විසඳෙනවා.

ඔබ දිගින් දිගටම කියපු දෙයක් තමයි ඔබේ කාලේ බෙදුම්වාදයට හෝ ත්‍රස්තවාදයට ඉඩ නොදෙන බව. විපක්‍ෂ නායක සම්පන්දන් කිව්වා ඔක්තෝබර් 26දාට පසු ඒ මර්දනය කර තිබූ දේ හිස ඔසවන්න පුළුවන් කියලා. පසුගියදා මහවිරු සැමරුම උතුරේ තිබුණටත් වඩා මහ ඉහළින් සැමරුවා. මොකක්ද මේ සිදුවෙන්නේ?

මහවිරු දිනය හැමදාම පවත්වන්නේ ඒගොල්ලෝ. රාජපක්‍ෂ මහත්තයගේ ආණ්ඩු කාලෙයේදීත් මහවිරු දිනය සැමරුම් සිදුවෙනවා. ඒවට අනවශ්‍ය ගැටුම් හදාගන්න ඕනෑ නැහැ. ඒ තුළ සාමය කඩවීමක් වෙන්නේ නැහැ.

පසුගිය 28 වැනිදා රටේ ඉහළම හමුදා නිලධාරියා අත්අඩංගුවට පත් වෙනවා. ගොඩනැඟී තිබූ මතය අනුව රණවිරු දඩයමද මේ අඛණ්ඩව සිදුවෙන්නේ?

මේක අධිකරණයේ තිබෙන කාරණයක් නිසා දැනට මං මොකුත් කියන්නේ නැහැ.

නමුත් මේ සිද්ධියත් සමඟ ඔහු තවදුරටත් තනතුරේ රැඳීම සුදුසුද?

සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැර චෝදනා පත්‍රයක් නෑ. ඔහු වැරදිකාරයෙක් වෙන්න ඕනෑ. ඒ වනතුරු තීරණයක් ගන්න බැහැ.

2020 ජනවාරි 8දා වන තුරු ජනාධිපතිවරණයට කාලය තියෙනවා. ඉන් පසු ඔබේ දේශපාලන ජීවිතය කුමක් වෙයිද?

ඒක ඉතින් එතකොට බලමු. තව අවුරුද්දක් තියෙනවා.

ඔබට තව වැඩ කොටසක් තිබෙන බවත් කිව්වා?

ඔව්. වැඩ හුඟක් තියෙනවා කරන්න. තනතුරු තිබුණත් නැතත් රට වෙනුවෙන් කරන්න වැඩ රාශියක් තියෙනවා.

ඉදිරියේදී මැතිවරණයට තරග කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඔබ මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කර දින කිහිපයක් ගත වෙන්නටත් මත්තෙන් ඔබේ කණ්ඩායමේ බහුතරයක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. මේක කිසියම් ආකාරයේ කනේ පහරක් නේද?

මගේ කවුරුවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ. ඒක ඒගොල්ලන්ගේ පක්‍ෂයේ වැඩක්නේ. පක්‍ෂවල අය තම තමන්ගේ වැඩ කරගන්නවා. වෙන ගෙවල්වල තියෙන කුණු ඇයි අපි හොයන්නේ. කාගෙවත් ඉඩමක මල් පිපෙයි. ඒ ඉඩමේ කුණු වැටෙයි. පොල් හැලෙයි. ඒ ඉඩම්වල කුරුල්ලෝ පියාඹයි. අපිට තියෙන්නේ අපේ ඉඩම, වත්ත බලා ගැනීම.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු පක්‍ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ ආණ්ඩුවෙන්. මොකද හිතන්නේ?

ඔව්. ඉතින් ඕවා පොත්වල ලියැවෙයි. ඒ හැර මොනවද ඕවා.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ට ජනපති සමාව දෙන්න කියලා බොහෝ පාර්ශ්වවල ඉල්ලීමක් තියෙනවා. ඔබ කවද්ද මේ ගැන තීරණයක් ගන්නේ?

මට ඒ ඉල්ලීම් ඇවිත් තියෙනවා. ඒවා මා නීතිපතිවරයාට යවලා තියෙනවා. ඒ හැර ඒ ගැන මට තවම මොකුත් කියන්න බෑ.

එතකොට දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිවරයාට ජනපති සමාවක් දෙන ලෙස ඉල්ලීමක් ඇවිත් තියෙනවද?

නෑ. එවැනි ඉල්ලීමක් ලැබිලා නෑ.

එවැනි ඉල්ලීමක් ආවොත් ඔබ ඒ ගැන සලකා බලනවාද?

ඉල්ලීමක් නැතිව මට ඒ ගැන මොකුත් කියන්න බැහැනේ.

නැවත මහ මැතිවරණ මාතෘකාවට යනවා. ඉදිරි මැතිවරණයේදී ඔබේ දියණිය චතුරිකා සිරිසේන පැමිණීමට නියමිත බව කිය වෙනවා?

ඒක එයාගෙන් තමයි අහන්න ඕනේ. ඔය ළමයින්ගේ ඒවා මං දන්නේ නෑ.

නමුත් ඔබේ නායකත්වය යටතේනේ ඇය එනවා නම් එන්නේ?

පාර්ලිමේන්තු මැතිවරණයක් එන්න එපැයි ඒක බලන්න.

මේ සම්පූර්ණ දේශපාලක ක්‍රියාවලිය තුළ කඩිනම් මැතිවරණයකට යා යුතු බව ඔබ පිළිගන්නවාද?

ඔව්. මේ අර්බුද විසඳෙන්න නම් කඩිනම් මැතිවරණය තමයි හොඳ.

අවසන් වතාවට ඔබට මොනවද ජනතාවට යා යුතු පණිවුඩයක් තිබෙනවාද?

ජනතාවට සුදුසු දේශපාලනඥයන් හඳුනා ගැනීමේ වගකීම තියෙනවා. දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තිය නැති, පාවාදීම්වලට නැති අය තෝරා පත් කර ගැනීම ඉතා වැදගත්. අද ලංකාවේ දේශපාලකයන් බහුතරයක් දූෂිතයි.

සංවාදය – අනුරාධා හේරත්

3 Responses to “මාව අඩි 06ක් පොලව යට වලලන්න මහින්ද කුමන්ත‍්‍රණ කලේ නෑ.. ඒව දේශපාලන වේදිකාවේ කතා පමණයි.. මාව මරන්න කුමන්ත‍්‍රණය කලේ රනිල් වික‍්‍රමසිංහයි..- ජනපති මෛත‍්‍රී”

  1. Dilrook Says:

    Sirisena changes his mind a multiple times a day.

    He will be humiliated by the Supreme Court decision. He should retract his notification dissolving parliament before that. Now he has said he will accept the defeat of Mahinda in parliament if electronic voting proves Mahinda has no majority.

  2. Cerberus Says:

    Electronic voting is the worst thing. It can be fixed very easily to suit anyone. It is better to have to vote my name and by raising of the hand where the clerk can take a roll call.

  3. Christie Says:

    What games is our Indian Empire is playing?

    We are just pawns of India and Sirisena is the main puppet.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress