රනිල් අගමැති ධුරයෙන් ඉවත්කිරීම ජාතියේ වාසනාවක්
Posted on December 5th, 2018

උපුටාගැණීම  මව්බිම

මෛත්‍රි – මහින්ද පාර්ශ්ව දෙක එකතු වීම ගෝලීය ශ්‍රී ලංකා සංසදය විදියට ඔබ දකින්නේ කොහොමද?

ඉතාමත් හොඳ දෙයක්. මේ නිසා රටට වෙන්න ගිය බලගතු අර්බුදවලින් ගොඩ එන්න පුළුවන්කම ලැබෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ජාතියේ වාසනාවක්. අපිට ඕනි මහින්ද මහත්තයා අගමැති කිරීම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් ඉවත් කිරීමයි.

රනිල්ට 2015දී ලැබුණේ පාර්ලිමේන්තුවේ ආසන 106යි. 113ක් ඕනි සරල බහුතරයකට. සරල බහුතරයකින් සාමාන්‍ය පනතක්වත් සම්මත කරන්න බලයක් නොතිබූ රනිල් 2/3ක් ඕන වෙන ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒ ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළා. අනු කමිටු පත් කළා. අනු කමිටු වාර්තා ගෙනාවා. කෙටුම්පත් ඉදිරිපත් කළා. එය කැබිනට් එකට ඇවිත් පාර්ලිමේන්තුවට එන අවසන් අවස්ථාවේ හිටියේ. එය ආවා නම් රට කෑලිවලට කැඩෙනවා. රට බෙදීමේ ක්‍රියාවලියට අලගු තැබීමේ ක්‍රියාවක් තමයි මේ සිද්ධ වුණේ.

එහෙත් දැන් රට අරාජිකයි කියලා
බොහෝ දෙනා චෝදනා නඟනවා?

ජනතාව වීදි බැහැලා සටන් කිරීමෙන් ඉවත්වන්න ඕනි. බටහිරට ඕනි අපේ රටේ ලේ වගුරුවන්න. රෝස වසන්තයක් උදාකරන්න. රට අරාජිකයි කියලා මතයක් පතුරුවන්නේ ඒ නිසයි. අද ජාත්‍යන්තර පුවත්පත් හැසිරෙන විදිය අපිට පේනවා. ඔවුන් කියන්නේ මෙය බෞද්ධ බලවේගයක් විසින් පෙරළලා දැම්මා කියලයි. ඉන් අදහස් වෙන්නේ මෙතෙක් කල් තිබී තියෙන්නේ අබෞද්ධ බලවේගයක් කියන එක නෙවෙයිද? බටහිර රටවල් පෙන්වන්න හදන්නේ මෙම පෙරළිය ජාතිවාදී, ආගම්වාදී බලවේගවලින් මෙහෙය වූ දෙයක් විදියටයි. මෙයට පිළිතුරු දිය යුත්තේ ජනතාවමයි. අනවශ්‍ය විරෝධතාවලට සහභාගි නොවී බුද්ධිමත්ව තීරණ ගෙන කටයුතු කළ යුතුයි.

2015දී බිහි වූ යහපාලන ආණ්ඩුව නීති විරෝධී බව ඇතැම් පිරිස් චෝදනා කරනවා. එහි පදනමක් තිබෙනවාද?

ඔව්. අපිත් මුල ඉඳලම ඒ ගැන කිව්වා. ගෙවුණු ඔක්තෝබර් වෙනකම් තිබුණේ ඒ ආණ්ඩුව. එය ඊනියා ජාතික ආණ්ඩුවක්.

ඒ ඊනියා ජාතික ආණ්ඩුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝගයෙන් ඉල්ලා අස්කර ගැනීම නිසා විසුරුවා හැරියා. ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රිවරු හා ඇමැතිවරු 30 කට වඩා මෙහි ඉන්න බැහැ. ඇමැති මණ්ඩලය විසුරුවා හරිනවා කියන්නේ අගමැති තනතුර පුරප්පාඩුයි. එවැනි විටෙක අගමැති පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. ඒ ක්‍රමය නීති විරෝධියි නම් ඒ අවස්ථාවේ එජාපය, ජවිපෙ හා එන්.ජී. ඕ. කණ්ඩායම් උසාවි නොගියේ ඇයි? එහෙම නොගියේ අගමැති පත්වීම් නීත්‍යනුකූල නිසයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා නම් උසාවි ගියා. එයට උසාවි යන්නයි අනෙකට නොයන්නයි අතර වෙනස මොකක්ද? අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ රනිල් ඉවත් කිරීම හෝ මහින්ද පත් කිරීම අභියෝගයට ලක් නොකිරීම තුළ ව්‍යාංගාකාරයෙන් එම ක්‍රියාවලිය නීත්‍යනුකූලයි කියලා පිළි අරන් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ නීත්‍යනුකූලව පත් කළ අගමැති කෙනෙක්.

අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව මන්ත්‍රිවරුන් 122ක් සිටින බව පාර්ලිමේන්තුවේදී ඔප්පු වුණා නේද?

බහුතරය තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ජනාධිපතිවරයාගේ විශ්වාසය අනුව බහුතරය තියෙනවා කියන එකයි. මහින්ද මහත්තයාට විශ්වාසය නෑ කියලා, 122ක් අස්සන් කළාට ජනාධිපතිගේ අභිමතයට මඟපෙන්වීම සඳහා රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් අයකුට විශ්වාසය පළ කරලා කිසිම මන්ත්‍රිවරයෙක් අස්සන් කරලා දීලා නෑ. හරි නම් දිවුරුම් පෙත්සම්වලින් කියන්න ඕනි අපේ විශ්වාසය තියෙන්නේ අහවල් මන්ත්‍රිවරයාට කියලා. ජවිපෙ අස්සන් කරලා දිවුරුම් පෙත්සමක් දෙයිද රනිල් අගමැති කරන්න කියලා. දෙමළ ජාතික සන්ධානය ඒ විදියට දෙයිද? එහෙම දෙනවා නම් හොඳයි. එතකොට අපිට බලාගන්න පුළුවන් ඒ අය හරියටම ඉන්න තැන කොතැනද කියලා.

මෛත්‍රි – මහින්ද පාර්ශ්ව දෙක එකතු වීමෙන් 56%ක ඡන්ද බලයක් ලැබිලා තියෙනවා. ජාතිවාදී බලවේග, කප්පම් ඉල්ලන කල්ලි එතැන නෑ. කප්පම් නොදී තමයි 56%ක ඡන්ද බලයක් ගත්තේ. බහුතරයක් නෑ. සුළු ජාතික ඡන්ද නෑ කියලා එදා කිව්වාට ඒක වැරැදියි. ඒ 56% තුළ සුළු ජාතික ඡන්දත් තිබුණා. සහජීවනය බලාපොරොත්තු වන අයගේ ඡන්ද එතැන තිබුණා. ඒවා අපි තේරුම් ගත යුතුයි.

ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් ඔබ ජිනීවාවල ගෙනයන කාර්යභාරය මේ වෙද්දී කොහොමද?

2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වෙද්දී අපිට තේරුණා ඉදිරියේදී රණවිරුවන්ට කටුක අත්දැකීම් රාශියකට මුහුණ දෙන්න වෙන බව. රණවිරු සැමරුම් ආණ්ඩුවෙන් නැවැත්වුවත් අපි දිගටම ඒ දේවල් කළා. මේ කාලෙදීම අපිට මාධ්‍ය හිතවතෙක්ගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා, රණවිරුවන් වෙනුවෙන් ආණ්ඩුවක් විසින් හරියාකාරව ඉටුකරන්නේ නැති කාරණා පිළිබඳව. ඒ නිසා තමයි තවදුරටත් ජිනීවාවලින් අපට ප්‍රශ්න ඇතිවෙන්නේ කියලා ඔහු පැවැසුවා. ‍ෙදාස්තර වසන්ත බණ්ඩාරයනුත් ඒ දේම කිව්වා. ඒ අනුව අපි විද්වත් මණ්ඩලයක් ස්ථාපනය කළා.

ඒ අපේ රටට විරුද්ධව ගෙනා ර්ණීධ්ඉඹ් වාර්තාවේ තියෙන චෝදනා නිෂ්ප්‍රභ කිරීමට. ජේ‍යෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම, ජේ‍යෂ්ඨ නීතිඥ රාජා ගුණරත්න, ‍ෙදාස්තර වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර, විද්වත් මණ්ඩලයට ඇතුළත් වුණා. ඒ අනුව තමයි විරුවන්ගේ විත්ති වාචකය සකස් කළේ. අපිට එරෙහිව නඟලා තියෙන චෝදනා ප්‍රතික්ෂේප කිරීමටයි එය සකස් කළේ. අද වුණත් අපේ ජනාධිපතිවරයා පිළිගන්නේ නෑ අපිට විරුද්ධව යුද අපරාධ චෝදනා තියෙනවා කියලා. ර්ණීධ්ඉඹ් වාර්තාවේ අපේ රටට විරුද්ධව තැන් 37ක චෝදනා තියෙනවා. යුද අපරාධ කියන වචනයම ඊට යොදා තියෙනවා.

මීට දින කිහිපයකට පෙර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක කමිටුව ජනාධිපතිවරයා මුණ ගැසුණා. එහිදී සාකච්ඡා කළේ මොනවාද?

අපි ජනාධිපතිතුමාට තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කළා. එහි ඇතුළත් චෝදනා 11න් 7ක් තියෙනවා අපේ රටට විරුද්ධව. ඉතිරි චෝදනා 4 එල්ටීටීඊයට විරුද්ධව. අපිට විරුද්ධව තියෙන චෝදනා 7 නිෂ්ප්‍රභ කරන විදියටයි අපි විරුවන්ගේ විත්ති වාචකය සකස් කළේ. ඉන් සියලු චෝදනා නිශේධනය කළා.

කැනඩා පාර්ලිමේන්තුවෙත් විශාල විවාදයක් ගිහින් තියෙනවා, ලංකාවේ දෙමළ අය සමූල ඝාතනය කළා කියලා. ඒකට පිළිතුරු දුන්නේ අපි නෙවෙයි. කැනේඩියානු පාර්ලිමේන්තුවේ අයෙක්ම ඊට පිළිතුරු දුන්නා. ඔහු කියනවා කැනේඩියාවේ සිටින දෙමළ ජාතිකයන් 8,000ක් ඉල්ලුම්පත් යොමු කරලා තියෙනවා කියලා, නිවාඩුවට ලංකාවට එන්න. සමූල ඝාතනය කරන රටකට එතරම් පිරිසක් යයිද කියලා ඔහු අහනවා. මේ වාර්තාවට අපි ඒ සියල්ල ඇතුළත් කළා. එහි පිටපතක් ජනාධිපතිතුමාට අපි දුන්නා. අපේ රටට එල්ල වන තර්ජනවලට මුහුණ දෙන්න ඒවාට විසඳුම් සොයන්න ඉදිරියේදීත් අපි සූදානම්.

විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගේන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා නේද?

ඔහු රණවිරුවන් ආරක්ෂා කරනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ ඊට ප්‍රතිවිරුද්ධව ගිහින් මේකට සම අනුග්‍රහය දැක්වූවා. අත් දෙකම උස්සලා කිව්වා අපේ එකා මිනීමැරුවා කියලා. ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ තියෙනවා, ඒ සංස්කෘතිකමය බෙදීම. රනිල් එකක් කියනවා, ජනාධිපතිවරයා තව දෙයක් කියනවා. දෙන්නා කැත්තට පොල්ල වගේ. මෙහෙම වුණාම රටේ ප්‍රගමනයක් නෑ.

ජනාධිපතිවරයාට හිතවත්ව වැඩ කළ හැකි අගමැතිවරයකු පත් කරගන්න වුණේ ඒ නිසයි. කවුරු අගමැති කළත් විදේශ කටයුතු අමාත්‍යංශය ජනාධිපතිතුමාට තියාගන්න කියලත් අපි කිව්වා. මානව හිමිකම් කමිටුව වැඩක් නෑ කියලා ඇමෙරිකාවත් ඉන් ඉවත් වුණා. අපිත් ඒ සම අනුග්‍රහය ඉල්ලා අස්කරගත යුතුයි. අපේ රටේ ජනතාව කැමැති ආණ්ඩුවට විදේශීයයන් කැමැති නෑ. එහෙව් ආණ්ඩුව ඔවුන් පිළිගන්නේ ජාතිවාදී ආණ්ඩුවක් විදියටයි. මානව හිමිකම් කමිටුව අපි තවදුරටත් එල්ලා ගෙන ඉන්නවා කියන්නේ ඒක අපිට අවාසියක්. හරියට නිහඬ බෝම්බයක් වගේ.

රනිල් වගේ නිවට කෙනෙක් නම් මෙය සාක්කුවේ දාගෙන තියාගනියි. ඒ නිසා මේ බෝම්බය අපි ඉවත් කළ යුතුයි.

සංලාපය - චාමිණී ගම්මන්පිල 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress