අධිකරණයෙන් යුක්තිය යදින ටී.එන්.ඒ. ‘මහත්වරුන්ගේ’ යටගියාව
Posted on December 7th, 2018

ආචාර්ය චමිල ලියනගේ

මේ දින වල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුනද, මුස්ලිම් නායකයින්ද, එක්සත් ජාතික පක්ෂයද අධිකරණයට යන එන රූපරාමු නිතර දැකගැනීමට පුලුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය එකම පිහිට කරගනිමින් 2015දී බහුතරයකින් තොර රනිල් වික්‍රමසිංහ මහතා  රටේ අගමැති වූ අයුරුත්, ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායකයා වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කවර නම් සිද්ධාන්ත අනුවදැයි යන්නත් අපි තවම කල්පනා කරමු. එවෙලේ අමතක වූ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උපුටමින් අධිකරණයෙන් පිහිට පතන මේ සන්ධානය වනාහි අදිසි සමාගයක් නොවන බව අපගේ අදහසයි. එහෙත් ඒ සන්ධානයේ ඉතිහාසය පිරික්සීමට වඩා වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික වටාපිටාව සම්බන්ධයෙන් මේසා විශාල මැදිහත්වීමක් කරන්නට සුමන්තිරන් නියෝජනය කරන්නාවූ දෙමළ ජාතික සන්ධානයට ඇති යුක්තියුක්ත අයිතිය පිළිබඳ කෙටි එහෙත් අත්‍යාවශ්‍ය සිහිකැඳවීමක් කිරීම මෙම සටහනෙහි අරමුණයි.

ඈලි මෑලි සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉදිරියෙන් පොත් ලිපිගොනු කිහිලි ගන්වාගෙන ගමන් කරන සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන නඩය දකිද්දී කෙනෙකුට සිතෙන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය පිළිබඳ පරතෙරට හදාල මහා ප්‍රාඥයින් පිරිසක් ලෙසය. එහෙත් දැන් මහත්වරුන්ගේ වෙසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරණයෙන් යුක්තිය ඉල්ලන මුන්නැහේලා කලෙකට ඉහතදී ඊළාම් අධිකරණ වල නඩු ඇසූ හැටි අපට නම් අමතක නැත. එනිසාම ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නැමැති ගර්හිත අසාර්ථක දේශපාලන යාන්ත්‍රණයේ අනුසරණින්, අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුව දක්වා උස්ව උජාරුවෙන් ඒ වරප්‍රසාද ද රට බෙදන්නටම භාවිත කරන සුදු සළු හන්පළන් බෙදුම්වාදී ඒජන්තයින්ගේ සුළමුළ, විකල් මනසින් යුත් බොහෝ දෙනාගේ දැනුම්වත් වීම පිණිස සැකෙවින් ආවර්ජනය කළ යුතුව තිබේ.

පළමුව අප තේරුම් ගත යුතු කරුණ වන්නේ දෙමල ජාතික සංධානය” (ටී.එන්.ඒ) නමින් පෙනී සිටින 1949දී චෙල්වනායගම් විසින් පිහිට වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය (ඉංග්‍රිසියෙන් ෆෙඩරල් පක්ෂය) ජීවමානව පවතින තුරු මෙරට සිංහල හා දෙමළ ජනයා අතර තිරසාර සාමයක් ගොඩ නැගෙන්නේම නැති බවය. ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාව අපේම සහෝදරයින් යැයි සිතන හා කියන අප එසේ කියන්නේ ඇයි? දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජබිම” යන, අදද ටී.එන්. ඒ ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පදනම පළමුව හඳුන්වා දුන්නේ ඒ ෆෙඩරල් පක්ෂයම ය. 1949දී ෆෙඩරල් පක්ෂය බිහි වූ වකවානුවේ එහි සම්මත වූ ප්‍රධාන යෝජනාවේ අන්තර්ගතය වූයේද, වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බහු භාෂක රටකට නොගැළපෙයි. එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිලාෂයනට පටහැණි ය” යනුවෙනි. 1951 එම පක්ෂයේ පළමු ජාතික සම්මේලනයේදී ඔවුන් තහවුරු කළේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ජාතිකත්වය පිළිබඳ නිර්නායක අනුව සිංහලයන්ගෙන් වෙනස්” බවය. එතෙකින් නොනවතින ෆෙඩරල් පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය ස්වයං පාලනය සහතික කරමින් ස්වයං තීරණ ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීම උදෙසා සටන් කිරීම” යන අරමුණ පක්ෂය සිය සමාරම්භක යෝජනාවන්හි ඇතුළත් කරන්නේය.

1948දී දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලූයේ නැත. එහෙත් 1949 දෙසැම්බර් මස 18 දා චෙල්වනායගම් විසින් දෙමළ රාජ්‍ය පක්ෂය කොළඹ මරදානේදී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී වෙනම රාජ්‍යයක් පිළිබඳ  සටන ඇරඹිණි. චෙල්වනායගම් යනු මැලේසියාවේ සිට ලංකාවට පැමිණි කතෝලික කල්ලතෝනියෙකි.  1978 ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මහ මොළකරුවකු වූ ඒ.ජේ විල්සන් විවාහ වූයේ චෙල්වනායගම් ගේ දෝනියැන්දා සමගය. මේ කුමන්ත්‍රණයේ තවත් පසුකාලීන පැතිකඩ එයින් පැහැදිළි වේ. සදා නොවෙනස් එම බෙදුම්වාදී පිළිවෙත, සාවද්‍ය වුවද මනාව ගොතන ලද න්‍යායික පසුබිමක් මත  බිහිවූ දෙමළ රාජ්‍ය පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉදිරියට යමින් දෙමළ තාරුණ්‍යයේ ජවය සමග මිලිටරීකරණයට ලක් කිරීමේ තීරණාත්මක අපරාධයේ දිග පළල, 1976දී  අනුමත කෙරුණු වඩුක්කෝඩෙයි සම්මුතියෙන්”ම පැහැදිළි වේ. අදාළ සම්මුතිය 2008 වසරේ සංශෝධනය කළා යැයි කියමින් කර ඇත්තේද එම බෙදුම්වාදී සම්මුතිය තවත් වතාවත් ජාත්‍යන්තර ප්‍රජාව ඇතුළු පිරිස් වල අනුග්‍රහයද ලබාගත හැකි මට්ටමින් තහවුරු කිරීමම පමණි. 2008 වසරේ අවස්ථාවාදී සටකපට සංශෝධනය සිදු කරන්නේ එල්. ටී. ටී. ඊ සංවිධානය නැගෙනහිරින් සම්පුර්ණයෙන්ම පරදා අවසන් වූ පසුව වන අතර, උතුරේ පරාජයට පෙරය.

විග්නේශ්වරන් මහ ඇමතිවරයා නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරිම සඳහා උතුරු පළාත් සභාවේ ‘සම්මත’ කළ ‘අසම්මත’යෝජනා වලියේ අන්තර්ගතය අපි සිහිපත් කරමු. 2016 මැයි මස පළමු වනදා සන්ඩේ ඔබ්සවර් පුවත් පතෙහි පළවූ ඒ යෝජනා කියා සිටින්නේ භාෂාව පදනම් කරගත් දෙමළ රාජ්‍යයක් උතුරේ හා නැගෙනහිරද, සිංහල පදනම් කරගත් සිංහල රාජ්‍යයක් දකුනේද ඇති කිරීමටය.  එසේම උතුරු හා නැගෙනහිර පළාත් වල මුස්ලිම් ජනතාව සඳහා වෙනම ස්වාධීන පරිපාලන ඒකක ලබාදීමට යෝජනා කරයි. ඒකාබද්ධ කරනු ලබන ප්‍රාන්තයට  උතුරු නැගෙනහිර වෙනම පාර්ලිමේන්තුවක්ද දෙමළ බෙදුම්වාදය ඉල්ලා සිටී. ස්වාධීන පරිපාලන ඒකක හා ප්‍රාන්ත රාජ්‍යයට ස්වයං නිර්න අයිතිය ලබාදීමද, ප්‍රාන්ත රාජ්‍යයේ කටයුතු සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීමද ප්‍රතික්ෂේප කිරීමද, ජාතික ධජයෙන් ‘වාර්ගික නිරූපයන්’ ඉවත් කිරීමද පූර්ණ පොලිස් හා ඉඩම් බලතල ලබාදීමද, හමුදා ඉවත් කිරීමද, දේශපාලනික කරුණු සඳහා වෙනම ජනමත විචාරන පැවැත්වීමේ බලයද ඒ යෝජනා වලිය ඉල්ලා සිටී. මෑතකදී උතුරු පළාත් සභාව උතුරේ ඇතැම් විහාරස්ථාන ඉවත් කිරීමට බලපෑම කර තිබිණි. බෞද්ධ වෙහෙර විහාර උතුරේ ඉදිවීම ඔවුන් අර්ථකතනය කරන්නේ සිංහල බෞද්ධ ව්‍යාප්තවාදයක්” ලෙසය. ගොවි ජනපද ව්‍යාපාරය 1951, 1956 හා 1957 දෙමළ රාජ්‍ය පක්ෂ වාර්ෂික සමුළු වලදී හැඳින්වූයේ දෙමළ නිජබිමෙහි සිංහල ජනාවාසකරණ ප්‍රතිපත්තිය දෙමළ භාෂක ජාතියේ පැවැත්මට එරෙහිව හිතාමතා සැළසුම් කළ ප්‍රහාරයක්” ලෙසනි. ඔවුන්ගේ ස්ථාවරය වෙනස්වී ඇත්ද?

මෙය නව ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක්ද; නැතහොත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ න්‍යාය පත්‍රයද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ සංශෝධන ක්‍රියාවලියට සුජාතභාවයක් ලබාදීමට පත් කළ ලාල් විජේනායක කමිටු වාර්තාවට බෙදුම්වාදී අදහස් ඇතුලත් කරන්නට දෙමළ ජාතික සන්ධානය උතුරේත් නැගෙනහිරත් ගෙනගිය අනෙකුත් මෙහෙයුම් ද අපි දනිමු. ඉදින් මේ කල්ලිය මහ නාහිමියන් වහන්සේලා බැහැ දකින්නට එන්නේ මොන අරමුණින්ද? විප්ලවාදී නායකයින්, කැරළි නායකයින්, කරුණු අවබෝධ කරගනිමින් පවතින දේශපාලන ප්‍රවාහයන් හා එක්ව සාමකාමීව යථාර්තයට අනුගත වූ අවස්ථා සඳහා ලෝක දේශපාලන ඉතිහාසයේ කොතෙකුත් උදාහරණ ඇත. දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයේ 1949 කෙටුම්පතට දැන් වයස අවුරුදු 68කි. ඒ කාලය තුළ දශක තුණක ම්ලේච්ඡ මිලිටරි අදියරයකින් පවා ජය ගත නොහැකි වූ සිය ප්‍රාතමික ඉලක්කයන්ගෙන් හැට පැන්නත්” විස්ථාපනය නොවීම සමස්ත දෙමළ අනන්‍යතාවයේම අභාග්‍යයකි. මහ නාහිමිපාණන් වහන්සේලා බැහැදකින්නට යන්නේ රට බෙදීමේ තිරස්චීන අරමුණ උදෙසා උන් වහන්සේලා කැමති කරවා ගැනීමටද?

අනිත් කරුණ නම්, 2008 වසරේදී දෙමළ රාජ්‍ය පක්ෂය සිය ව්‍යවස්ථාව සංශෝධනය කළා පමණක් නොව, 1976 වඩුක්කෝඩෙයි සම්මුතිය මුළුමනින්ම අනුමත කෙරෙන යෝජනාවක්ද සම්මත කරගත්තේය. ඒ අනුව කියවෙන්නේ දෙමළ රාජ්‍ය පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් සදහා වන යෝජනා” පිළිගන්නා බවකි. ව්‍යවස්ථා සංශෝධන හෝ එවැනි කිසිදු කටයුත්තකදී ඒ උග්‍ර බෙදුම්වාදීන් සම්බන්ධ කර නොගත යුත්තේ එහෙයිනි. එසේම දෙමළ ජාතික සංධානය කටමැත දොඩවන ඒකීය රටක් තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය යැයි කියන නරිවාදම් මෙමගින් මුළු මනින්ම නිෂ්ප්‍රභා වී යයි. ඛේදවාචකය නම් ආර්. සම්බන්ධන් හෙවත් මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ දේශීය නායකයා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමය.

1949 දෙමළ රාජ්‍ය පක්ෂ ව්‍යවස්ථාවේ 17 (ඩී) වගන්තිය 2008 සංශෝධනය කරමින් ප්‍රකාශ කරන්නේ දෙමළ රාජ්‍ය පක්ෂයේ විධායක කමිටුව 2008.04.24 හා 2008.08.03 දින තීරණය කරන්නේ 1976.05.14 දින එක්සත් දෙමළ විමුක්ති පෙරමුණෙහි (TULF) ක්‍රියා මාර්ග හා යෝජනා අනුමත කරන බවයි. මෙහි සැබෑ අරුත වැටහෙන්නේ 1976 වඩුක්කොඩෙයි සම්මුතිය සම්පූර්ණයෙන්ම වටහා ගත් විටය. එහි කොටසක් මෙසේ දක්වමු. මේ සම්මුතිය යෝජනා කරන්නේ  නිදහස්, ස්වෛරී, අනාගමික, සමාජවාදී, දෙමළ ඊළමක්, ස්වයං නිර්ණ අයිතිය මත ප්‍රතිස්ථාපනයෙන් හා ගොඩ නැංවීමෙන් පමණක් මේ රටේ දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කළ හැකි බවයි. (1985 තිම්පු සාකච්ඡා අනුව මේ ඊනියා ඊළම තුළ රටේ වෙසෙන සියලුම දෙමළ ජනතාවට සමාන පුරවැසිභාවය පිරි නැමීමට කථිකා කෙරිණි. එමගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනමම ජාතියක් ලෙස පිළිගැනීමටද යෝජනා කෙරිණ) මේ සම්මුතියෙන් පොදුවේ සමස්ත දෙමළ ජාතියටත්, විශේෂයෙන් දෙමළ තරුණයින්ටත්, මෙම පූජනීය නිදහස් සටනට ආරාධනා කරන අතර ස්වෛරී දේශයක් දිනා ගන්නා තෙක් පසු නොබසින්නටද ආරාධනා කරයි” (වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරව උතුරු නැගෙනහිර ඉතිරිවන සිංහලයන් සුළු ජාතිය වන අතර සිංහලෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතත්, රාජ්‍ය භාෂාව වනුයේ දෙමළ බසයි)

එල්.ටී.ටී.ඊ සංවිධානය මිලිටරිමය වශයෙන් අවසන් කිරීමෙන් පසුව දෙමළ ඩයස්පෝරාව ක්ෂණිකව ජනමත විචාරන පැවැත්වීම් ආදිය කළේද මෙම වඩුක්කෝඩෙයි සම්මුතිය ප්‍රකාරවය. 2015 වසරේ දෙසැම්බරයේදී විදෙස්ගත දෙමළ ඊළාම් ආණ්ඩුව” ප්‍රකාශ කළේ 1976 වඩුක්කෝඩෙයි සම්මුතියේ පැහැදිළිව දක්වා ඇති අයුරින් හා අන්තර්වාර ස්වයං පාලන යෝජනාත්, දෙමළ ඊළාම් නිදහස් ප්‍රඥප්තිය අනුවත් ලෝකවාසී දෙමළ ජනතාවගේ අදහස් අනුවත් දෙමළ ඊළාමයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ඇරඹීමු” යනුවෙනි. මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය, ඔවුන්ගේ ඊළම යුධයෙන් දිනා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වෙත්ම, බෙදුම්වාදය සඳහා වන ජාත්‍යන්තර දේශපාලන දායකත්වය සඳහා ස්වකීය ව්‍යවස්ථාව උපක්‍රමශීලී ලෙස වෙනස් කළ බවයි.

ටී.එන්. ඒ යනු  දෙමළ රාජ්‍ය පක්ෂයේ දෘෂ්ටිවාදය එල්.ටී.ටී.ඊ මිලිටරීකරණ අදියරට සමගාමීව සිය බෙදුම්වාදී සටනේ” දේශපාලන අනුප්‍රාප්තිකයා ය. එයට දෙමළ රාජ්‍ය පක්ෂයේ බෙදුම්වාදී දෘෂ්ටිවාදයෙන්ද, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ සහාසික ගුණයෙන්ද විනිර්මුක්ත විය නොහැක. කළ හැකි එකම දෙය නම් කාලීනව විවිධ සළුපිළි වලින් සිට බෙදුම්වාදී ම්ලේච්ඡත්වය ආවරණය කර ගැනීමයි. ටී.එන් ඒ. 2001, 2004, 2010, හා 2013 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා නිර්ලජ්ජිතව එල්.ටී.ටී.ඊ ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බව ප්‍රකාශ කෙරිණ. 2014 වසරේදී ආනන්ද සංගරී මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත යැවූ ලිපියකද ඒ බව ස්ථිරව සටහන් කර තිබිණි.  2004, 2010 දෙමල ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) ප්‍රතිපත්ති ප්‍රකාශය මුළුමනින්ම වඩුක්කෝඩෙයි සම්මුතිය එහි අන්තර්ගත කරයි.

Tamil organizations got together and resolved on May 14, 1976 to establish a sovereign independent Tamil Eelam based on our inalienable right to selfdetermination.” (දෙමළ ජාතික සන්ධානයේ 2004 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)

Tamil People are entitled to the right of self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)

ITAK and the other Tamil parties came together under a banner called Tamil United Liberation Front (TULF), and in 1976 passed a resolution calling for a restoration of our lost sovereignty in the background of the continued denial of the right of the Tamil People to self determination” (දෙමළ ජාතික සන්ධානයේ 2010 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය)

‘Our expectation for a solution to the ethnic problem of the sovereignty of the Tamil people is based on a political structure OUTSIDE that of a UNITARY GOVERNMENT, in a UNITED SRI LANKA in which Tamil people have all the powers of government needed to live with self-respect and self sufficiency’ (ආර්. සම්බන්ධන් – 2014 දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනය)

ඉහතින් කියන්නේ කුමක්ද? දෙමළ ජනතාවගේ අපේක්ෂා මල්පළ ගැන්වෙන, දෙමළ ජනතාවට ආත්මාභිමානයෙන් හා ස්වයං පෝෂිතව ජිවත්වීමට අවශ්‍ය පසුබිම සකස් වන්නේ එකීය ශ්‍රී ලංකාවක් තුළ නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බවය. ආර්.සම්බන්ධන් (විපක්ෂ නායක?) එසේ කියන්නේ 2014 වසරේ පැවැත්වූ දෙමළ රාජ්‍ය පක්ෂ සම්මේලනයේදීය. මෙය අපට සිහිපත් කරවන්නේ නිරන්තරයෙන් අප සිහිපත් කරන්නා වූ වර්තමාන ආණ්ඩුවේ අනුග්‍රාහකයින් එක්ව 2013 වසරේ සිංගප්පූරුවේදී පැවැත්වූ සාකච්ඡාවේ කුප්‍රකට එකඟතාවන්ය. සිංගප්පූරු එකඟතාව අනුව, නව ව්‍යවස්ථා මගඩියේදී, බහුතර සිංහල බෞද්ධයින් රවටාලීම සඳහා උපරිම ලෙස කටයුතු කිරීමට එකඟ වී තිබේ. ඒ එකඟතා ප‍්‍රකාරව, ‘‘රජයේ ස්වභාවය  විස්තර කිරීමේදී වැදගත් වන්නේ ලේබලය නොව හරයයි’’, ‘‘නොබෙදුනු ශි‍්‍ර ලංකාවක් තුල ස්වයං පාලනයේ හා පාලන බලතල හවුලේ බෙදාගැනීමේ පදනම මත බලය බෙදා හැරීම සිදු කළ යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ  බහුවාර්ගික බහු ආගමික ස්වභාවය මෙන්ම  ශි‍්‍ර ලංකාව සැදුම්ලත් ජනතාවන්ගේ අනන්‍යතාවයන් හා අභිලාෂයන් ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත යුතුය’’, ‘‘ශි‍්‍ර ලංකා සමාජයේ  බහුවාර්ගික බහු ආගමික ස්වභාවය රජයේ ආයතනයන් තුල පිළිබිඹු විය යුතුය’’, මෙන්ම ‘‘ශි‍්‍ර ලංකා ජනරජය අනාගමික රාජ්‍යයක් විය යුතුය –  බුදු දහමට ප‍්‍රමුඛ ස්ථානයත් අනෙක් ආගම් වලට ඒ හා සමාන තත්වයත් සහතික කළ යුතුය’’ ආදී වගන්ති ඉතා සූක්ෂමව ඇතුළත් කර තිබේ. මේ කාගේ අවශ්‍යතාවන් ද? මෙවන් කල්ලියකට, මහ නාහිමිපාණන් වහන්සේලාගේ ස්ථාවරයන් යළි සළකා බලන්න”යි යැයි කියන්නට කිසිදු අයිතියක් නැත්තේමය.

2014, දෙමළ රාජ්‍ය පක්ෂ සමුළුවේදී සම්බන්ධන් තව දුරටත් කියන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා වන ඓතිහාසික තීන්දුවක්” තම පෙරමුණ ගත් බවත්, අර්ථාන්විත බලය බෙදීමක් සඳහා 1987 ව්‍යවස්ථාවට එක් කරනු ලැබූ 13 වන සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවයි.  2015දී  TNA  මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ, නොබෙදුනු, ඒකීය ශ්‍රී ලංකාවක  දෙමළ කතා කරන උතුරු නැගෙනහිර ස්වයං පාලනයක් ඇති කිරීම ස්වකීය අභිලාෂය බවයි. මේ වචන හරඹය නෑකම් කියන්නේ යථෝක්ත කුප්‍රකට සිංගප්පූරු එකඟතාවට පමණි. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වැඩි දුරටත් කියන්නේ ඉඩම්, නීතිය හා සාමය, අධිකරණය, ආදී ක්ෂේත්‍රයන්ගෙන් ස්වෛරී වූ විට දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය, එනම් සෞඛ්‍යය, අධ්‍යාපනය, උෂස් හා වෘත්තීය අධ්‍යාපනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, කර්මාන්ත, සත්ත්ව පාලනය, සංස්කෘතිය, දේශීයවත් ජාත්‍යන්තර වශයෙනුත් ගුණාත්මකව ඉහල නැංවීම හා මූළ්‍ය බලය තහවුරු කර දෙමළ ජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ වෙනත් රාජ්‍යයක් නොවේද?

වඩුක්කෝඩෙයි සම්මුතිය දෙමළ බෙදුම්වාදයේ දේශපාලන අරමුණු වඩාත් රැඩිකල්ව කෙටුම්පත් කළ අතර, දෙමළ නොවන සියල්ලන් මත ඇති වෛරය පාදක කරගනිමින් ආයුධ සන්නද්ධ වන්නට දෙමළ තාරුණ්‍යය යොමු කළේය. පසුගිය සමයේ රට බෙදාලීමේ අරමුන පෙරදැරිව ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ එක් පෙරගමන්කරුවකු වූයේ දෙමළ ජාතික සන්ධානයයි. එම සංවාදයන්හි ප්‍රභල පාර්ශවයක් වූයේද දෙමළ ජාතික සංධානයයි. ව්‍යවස්ථා සංශෝධන හෝ සම්පාදන ක්‍රියාවලියේ පූර්ණ අයිතිය පමණක් නොව, අති බහුතර සිංහලයන්ට සංවේදී කරුණු කාරනා ගැන පවා තීන්දු තීරණ ගන්නන් බවට දෙමළ ජාතික සන්ධානයේ න්‍යායාචාර්යවරුන් පත්ව සිටියහ. ඒ උද්දාමය කොතෙක් වීද යත්, විග්නේශ්වරන් මහ ඇමතිවරයා කීවේ දේවානම්පියතිස්ස රජුද දෙමළ ජාතිකයකු බවය. එහෙයින් මිලිටරිමය වශයෙන් අසාර්ථක වූ ස්වකීය ඊළාම් සිහිනය ‘දොන් ජුවන් ධර්මපාලලා’ බලයට ගෙනැවිත් වර්තමාන ‘ජාලස්ති’ හා ‘සුලෙයිමාන්’ලාගේ ආශීර්වාද ඇතිව යථාර්තයක් බවට පත් කරගන්නට දැරූ වෙහෙස අපතේ යන්නට ඉඩදිය නොහැක. පොත් පෙරළමින්, කෙස් පැලෙන තර්ක නිර්මාණය කරමින්, සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානය දියබත් වන යාත්‍රාවක කපිතාන්ලා වන්නේ එහෙයිනි. සංක්‍රමණිකයින්ට හා සරණාගතයින්ට දේශපාලනයේ තීරක බලය දක්වා ඉලිප්පෙන්නට ඉඩදුන් භූමිපුත්‍රයින්ගේ දේශපාලන නොහැකියාව ගැන අන් දවසක සාකච්ඡා කළ යුතුය.

 

One Response to “අධිකරණයෙන් යුක්තිය යදින ටී.එන්.ඒ. ‘මහත්වරුන්ගේ’ යටගියාව”

  1. Hiranthe Says:

    Thank you for a detailed article Dr. Liyanage.

    This should be read by millions of folks at home and especially the UNP and JVP blind followers to see what path their current leaders are taking.

    They are “keekaru Ballas” of TNA. They will bark on top of their voice to protect their pay master LieTTE and RAW’s interests. That is what Run-nil and the UNP clan and Anura Kumara and JVP clan are doing.

    Grass root level UNP’ers and JVP’ers should see this article.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress