අල්ලස් කොමිෂන් සභාවේ ප්‍රගතිය  2017-2018
Posted on December 9th, 2018

මාධ්‍ය ප්‍රකාශය December 9th press release of CIABOC

අ‍ල්ලස් කොමිෂන් සභාව පසු කරමින් සිටින්නේ පරිවර්තනීය යුගයකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ පැමිණිලි මෙහෙයවීම් සහ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ඉහළම වෘත්තීමයභාවයක් මේ වන විට අත්පත් කර ගෙන සිටීමයි. එසේම ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂඥ විමර්ශකයන් බඳවා ගැනීමත් නිවාරණ නිලධාරීන් බඳවා ගැනීමත් සඳහා කටයුතු ආරම්භ කර ඇත. තවද අවුරුදු 25 කට පසුව නීතියේ ස‍ංශෝධන කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමත් අන්තර්ජාතික සබඳතාවයන් වැඩිදියුණු කිරීමත් මෙම වසර තුළ දී සිදු වූ ඉතාමත් වැදගත් කාර්යයන් වේ. ඒ සියල්ලටම වඩා ස්වාධීන සහ අපක්ෂපාතීභාවය අතින් ඉහළම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට අල්ලස් කොමිෂන් සභාව සමත් වී සිටී.

මෙම වසර දෙක තුළ දී පිළිබිඹු කළ ප්‍රගතිය ඉතා සැකෙවින් මෙසේ දැක්විය හැකිය.

  1. අධිකරණයේ සාර්ථක ලෙස නඩු මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස නඩු 62 ක දී විත්තිකරුවන් වරදකරුවන් කරවීමට හැකි වී ඇත. 2017 වර්ෂයේ දී එම සංඛ්‍යාව 57 කි. මෙය සන්සන්දනය කළ යුත්තේ 2005 සිට 2010 දක්වා වූ කාල පරාසයත් සමඟ ය. බොහොමයක් අවස්ථාවල දී, එම කාලය තුළ වසරකට අධිකරණය මගින් වරදකරුවන් කළ විත්තිකරුවන් සංඛ්‍යාව 15 සිට 20 දක්වා වේ. ඒ අනුව හ‍ුදෙක් නඩු පැවරීම් නොව පවරන නඩුවල දී විත්තිකරුවන් වරදකරුවන් බවට පත් කිරීම ඉලක්ක කර ගෙන අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පැමිණිල්ල මෙහෙයවා ඇත.
  2. අල්ලස් කොමිෂන් සභාවට නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින පරිදි සුළු තානාත්තර දරණ අයට එරෙහිව ඔවුන් පමණක් ඉලක්ක කර ගනිමින් නඩු පවරන බවයි. නමුත් පසුගිය දෙවසර පරීක්ෂා කිරීමේ දී හිටපු නීතිපති, හිටපු අභියාචනාධිකරණ විනිශ්චයකාර, හිටපු ඇමතිවරු තිදෙනෙක්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ, ලක්සල සභාපති, ලක්සල කළමනාකාර අධ්‍යක්ෂ, ලක්සල අධ්‍යක්ෂ මුදල්, ලක්සල ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු දිසා විනිසුරු, විදුලි අධිකාරී, ඇවන්ගාඩ් සභාපති, යුධ හමුදාවේ හිටපු බිග්‍රේඩියර්වරයෙක්, රේගු අධිකාරී, සහකාර රේගු අධිකාරී, හිටපු නගරාධිපති, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වැනි ඉහළ තනතුරු දරණ නිලධාරීන්ට ද නඩු පැවරීම් සිදු කර ඇත. ඇවන්ගාඩ් සභාපති සහ හිටපු බිග්‍රේඩියර්වරයෙකුට විරුද්ධව අල්ලස් ලබා දීම හා අල්ලස් ලබා ගැනීම යන වැරදි දෙකටම එකම නඩුවේ චෝදනා ගොනු කරමින් සුවිශේෂි නඩුවක් ද පවරා ඇත.
  3. 03. මෙම වසර තුළ දී වැටලීම් සිදු කොට අල්ලස් ගන්නා අවස්ථාවල දී සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම රාජ්‍ය නිලධාරීන් ද ආනයන අපනයන පාලක, දැව සංස්ථාවේ සභාපති, පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු, විදුලි අධිකාරී හා පොලිස් පරීක්ෂක වැනි තනතුරු දරණ අය ද වූහ.
  4. 04. අල්ලස් කොමිෂන් සභාවේ පසුගිය වසර 05 මුළුල්ලේම විමර්ශන කටයුතු සිදු කළේ පොලිස් නිලධාරීන් විසිනි. එහෙත් ඉතිහාසයේ පළමු වතාවට විශේෂඥ නිලධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව ගණකාධිකරණය, විගණනය, මූල්‍ය විශ්ලේෂණය, ඩිජිටල් විමර්ශන, බැඳුම්කර, ආරක්ෂණ, බැංකුකරණය, ජාත්‍යන්තර සම්මුතීන්, ප්‍රසම්පාදනය, ඉදිකිරීම්, ඉංජිනේරු විද්‍යාව, කළමනාකරණය හා රාජ්‍ය පරිපාලනය යන ක්‍ෂේත්‍ර වලට අයත් විශේෂඥයින් 200ක් බඳවා ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය හරහා අනුමැතිය ලබා ගෙන ඉල්ලුම්පත්‍ර කැඳවන ලදී. ඉල්ලුම්පත්‍ර 8000 කට වැඩි සංඛ්‍යාවක් ලැබුණු අතර විභාග කොමසාරිස්තුමා ඔවුන් හට බුද්ධි පරීක්ෂණ විභාගයක් මේ වන විටත් පවත්වා ඇත.
  5. අල්ලස් කොමිෂන් සභාවේ මේ වන තෙක් අවධානය යොමු ‍කළේ විමර්ශනය සිදු කිරීම හා නඩු පැවරීමේ කාර්යයට පමණක් වුවත් අල්ලස දූෂණය තුරන් කළ ‍ලෝකයේ ‍බොහෝ රටවලින් ලත් අත්දැකීම් අනුව නිවාරණ ඒකකයක් පිහිටුවීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නිවාරණ නිලධාරීන් 50 දෙනෙක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගෙන ඔවුන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත. එම තනතුරු සම්බන්ධයෙන් ඉල්ලුම්පත්‍ර 5000 ක් ලැබී තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදු කෙරමින් පවතී.
  6. අල්ලස් කොමිෂන් සභාව ඉතිහාසයේ පසුගිය අවුරුදු 25 ටම පවතින නීතිවල කිසිදු සංශෝධනයක් කර නොමැති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. මෙතෙක් දූෂණ නඩු විභාග කිරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට සීමා වුවද මින් ඉදිරියට එම නඩු මහාධිකරණය ඉදිරියේ දී ද විභාග කල හැකි අයුරින් නීතිය සංශෝධනය කර ඇත. ඊට අමතර කාරණා සම්බන්ධයෙන් ද සංශෝධන ඉදිරිපත් කළ යුතුව ඇත. ඒ අනුව පුද්ගලික අංශයේ අල්ලස්, ලිංගික අල්ලස්, ක්‍රීඩා කටයුතු වල අල්ලස්, විදේශීය රාජ්‍ය සේවකයන් සම්බන්ධ අල්ලස් යන ක්ෂේත්‍ර අළලා අල්ලස් නීතිය සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විටත් නීති කෙටුම්පත් සම්පාදකතුමිය සිදු කරමින් සිටී.
  7. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත සකසා එය මේ අවස්ථාව වන විට පාර්ලිමේන්තුවට යොමු කර ඇත. පාර්ලිමේන්තුවේ දී මෙම විවාදය ආරම්භ වී වෙනත් දිනයකට කල් දමා ඇත. මෙම සංශෝධනයේ ප්‍රතිඵලය වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකින් හෙළිදරව් වූ සාක්ෂි අධ්‍යයනය කොට නඩු පැවරීමේ බලය අල්ලස් කොමිෂන් සභාව වෙත ලබා ගැනීමය. ඒ අනුව එම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අල්ලස් කොමිෂන් සභාව විසින් නැවත සටහන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත.
  8. වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළ සංශෝධන සිදු කිරීම සඳහා දේශීය හා විදේශීය විශේෂඥයන් සමඟ සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස නීති කෙටුම්පත් සම්පාදකතුමිය විසින් මේ වන විටත් අදාළ නීතිය කෙටුම්පත් කිරීමේ කටයුත්ත සිදු කරමින් සිටී. තව ද වර්තමානයේ පවතින අල්ලස් කොමිෂන් සභා පනතේ ද අඩුලුහුඬුකම් ගණනාවක් පවතින බැවින් ඒවා පිළි සකස් කොට එම පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කෙටුම්පත් මේ වන විට නීති කෙටුම්පත් සම්පාදකතුමිය සකස් කරමින් සිටී.
  9. අල්ලස දූෂණය මෙරටින් තුරන් කිරීම සඳහා මෙතෙක් පැවති ප්‍රබල පසුබෑමක් වූයේ ඒ සඳහා නිසි සැලැස්මක් නොතිබීමය. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියේ සාමාජික රටක් ලෙස ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය අමාත්‍ය මණ්ඩල‍යෙන් හඳුනා ගෙන එය සකස් කිරීමේ වගකීම අල්ලස් කොමිෂන් සභාව වෙත භාර දී ඇත. එ් අනුව දිවයින පුරා විද්වත් කතිකා 30 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 04 ක් පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී ය. එ් අනුව මහජන න‍ිියෝජිතයන් හට තම අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී ඇත. රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදී සෑම ක්ෂේත්‍රයකින්ම ලත් අදහස් අනුව ක්ෂේත්‍ර 04 ක් සම්බන්ධයෙන් ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සැලැස්ම මේ වන විටත් සකස් කර ඇති අතර නුදුරු දිනයක දී ම එය දියත් කිරීමට අපේක්ෂාවෙන් සිටී. එම ක්ෂේත්‍ර 04 නම් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම, විමර්ශනය හා පැහැදිලි ශක්තිමත් කිරීම සදහා වන නීති හා නව නීති සහ ප්‍රතිපත්ති හඳුන්වා දීම ය.

තවද අල්ලස දූෂණය තුරන් කිරීමේ ලා ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වන කරුණු සම්බන්ධයෙන් ද සකස් කරන ලද ග්‍රන්ථ 04 ක් ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමඟ නිකුත් කිරීමට බලාපෙ‍ාරොත්තු වේ. මෙම ග්‍රන්ථ 04 නම්,

  1. ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත
  2. බැඳියාවන් අතර ඝට්ටනයට අදාළ රීති අඩංගු කොට සාදන ලද යෝජනා කෙටුම්පත
  • රාජ්‍ය නිලධාරීන් සඳහා සුපිළිපන්නබවේ අත්පොත
  1. අල්ලස් වත්කම්, බැරකම්, කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරණ සහ හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යෝජනා

ඒ අනුව ජාතික වැඩපිළිවෙල සහ ඉහත ග්‍රන්ථ 4 දියත් කිරීමට සැලසුම් සකස් කොට ඇත. ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ මෙම ග්‍රන්ථ 4 ද්‍රවිඩ හා ඉංග්‍රීසි භාෂාවෙන් ද පරිවර්තන කටයුතු කරමින් ඇත. ඒ අනුව ග්‍රන්ථ 15 ක් එළිදැක්වීම සඳහා සූදානමින් සිටී.

  1. පසුගිය වසර තුළ අන්තර්ජාතික අවධානය සහ සහයෝගීතාවය අල්ලස් කොමිෂන් සභාව වෙත නොමදව ලැබුණි. ඒ අනුව GSP + සහනය ලබා ගැනීමේ දී අල්ලස් කොමිසමේ සක්‍රීය දායකත්වය විදේශ අමාත්‍යාංශයට ලබා දී යුරෝපා කොමිසමට ගොස් අල්ලස් කොමිෂන් සභාව විසින් සාර්ථක ලෙස කරුණු ඉදිරිපත් කිරීමට හැකි විය. අල්ලස් කොමිෂන් සභාවේ විශේෂඥතාවය වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන්ම ඉදිරිපත් වී ඇත. අල්ලස් කොමිෂන් සභාවේ ප්‍රගතිය ඇගයීමක් වශයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ රැස්වීමට මෙම වසරේ ජූලි මස කොළඹ දී විදේශ විශේෂඥයන් 35 කගේ සහභාගිත්වයෙන් පවත්වන්නට හැකි විය. එහි දී ලොව පුරා පිහිටි අල්ලස් කොමිෂන් සභාවල ස්වාධීනත්වය හා ක්‍රියාශීලිත්වය වැඩිදියුණු කිරීම සඳහා 2012 වසරේ දී ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී එළි දක්වන ලද ජාකර්තා ප්‍රකාශය තවදුරටත් විවරණය කිරීම සිදු විය. ඒ අනුව ඉතා ඉක්මනින්ම ඊට අදාළ “කොළඹ විවරණය” එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එළි දැක්වීමට නියමිතය.
  2. විමර්ශකයන් සහ නීති නිලධාරීන් පුහුණු කිරීම සඳහා මැලේසියාව, හොංකොං, භූතානය, කොරියාව, ජපානය, චීනය යන රටවලට යැවීමට කොමිෂන් සභාවට හැකි වී ඇත. ‍කොමිෂන් සභාවේ නිලධාරීන් හට ලබන වසරේ දී ඉතා ගැඹුරින් පුහුණුව ලබා දීම සඳහා හොංකොංහි කොමිෂන් සභාව විසින් දැනටමත් කැමැත්ත පළ කර ඇත. අල්ලස දූෂණය තුරන් කළ සාර්ථක රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන්ට අවස්ථාව ලබා දීමටත් එම කටයුතු සංවිධානය කිරීමටත් මෙම කොමිෂන් සභාවට හැකි විය. ඒ අනුව නීතිපතිතුමා, ජනාධිපති ලේකම්තුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමා හා නීති කෙටුම්පත් සම්පාදකතුමිය හට භූතානය හා හො‍ංකොං යන රටවල අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. මැලේසියාවේ සුපිළිපන් ආයතනයේ සභාපතිතුමා ලංකාවට කැඳවා ලංකාවේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇත.
  3. 12. දිවයින පුරා පාසල් සිසුන්, තරුණයන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය වසර තුළ වැඩසටහන් 54 ක් පවත්වා ඇත. එම කාර්යය නීති නිලධාරීන් හෝ විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියේ කොටසක් නොවූව ද ඔවුන්ගේ කැපවීම නිසා මෙම වැඩමුළු සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලැබුණි. ලබන වසර සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය අළලා දැවැන්ත දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානය කිරීමට අවශ්‍ය සාකච්ඡා පවත්වා ඇත.
  4. අල්ලස් කොමිෂන් සභා පරිශ්‍රයේ පිහිටි එක් ගොඩනැගිල්ලක් කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත් වී තිබීම නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත් වීමෙන් කැප්පෙට්ටිපොළ මා‍වතේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු‍ව පිහිටා තිබූ පැරණි ගොඩනැගිල්ලට විමර්ශන අංශයේ කොටසක් ගෙන යාමට සිදු විය. එසේම නුදුරේදී ම බඳවා ගැනීමට නියමිත නිවාරණ නිලධාරීන් ද එම ස්ථාන‍යේ ස්ථානගත කිරීමට ‍අපේක්ෂා කෙරේ. අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් සාදන තෙක් කැප්පෙට්ටිපොළ මාවතේ පිහිටි එම ගොඩනැගිල්ල භාවිතා කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
  5. 14. අල්ලස් කොමිෂන් සභාවට මුහුණ පෑමට සිදු වී ඇති ප්‍රබල අභියෝගයක් වන්නේ ඉඩ පහසුකම් නොමැති වීමයි. වර්තමාන කොමිෂන් සභා පරිශ්‍රයට යාබද භූමියේ ‍ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට දැඩි සටනක් කිරීමට සිදු විය. ඒ අනුව අවුරුදු 1 ½ ක කාලයකට පසුව නිවාස සංවර්ධන අධිකාරිය විසින් එම භූමියේ ගොඩනැලිලක් ඉදි කිරීමට අනුමැතිය මේ වන විට ලබා දී ඇත.
  6. 15. රාජ්‍ය අංශය සඳහා නිවාරණ වැඩපිළිවෙලක් යෝජනා කොට ඇති අතර එයට මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ලබන වසර සඳහා මිලියන 200 ක පමණ මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. තවද නීතිඥවරුන්, විමර්ශන නිලධාරීන් හා නිවාරණ නිලධාරීන් පුහුණු කිරීම සඳහා ලබන වසරේ සිට මිලියන 200 ක මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමේ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලබා දී ඇත. ලබන වසරේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීමටත් හරයන් හා ආකල්පයන් වෙනස් කිරීමටත් දැවැන්ත සැලසුම් සකස් කොට ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට ඇත.
  7. 16. අල්ලස් කොමිෂන් සභාව මුහුණ පා සිටින ප්‍රධාන අර්බුදයක් වන්නේ ඉතා දක්ෂ නීතිඥවරුන් ආකර්ෂණය කිරීමට තරම් වැටුපක් ලබා දීමට නොහැකි වීමය. මෑතක දී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩි වැටුපක් ලබා දීම නිසා දක්ෂ නීතිඥවරුන් එම ආයතනයට ආකර්ෂණය කිරීමට හැකි වී ඇත. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම කොමිෂන් සභාවේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන අභියෝගයක් වී ඇත.
  8. 17. වර්තමානයේ අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් සංඛ්‍යාව 200 කි. නීති නිලධාරීන්ගේ සංඛ්‍යාව 29 කි. ර‍ටේ ජන ඝනත්වයට සමානුපාතිකව මෙය ඉතාමත්ම අල්ප සංඛ්‍යාවකි. උදාහරණයක් වශයෙන් මිලියන 06 ක් පමණ ජනගහනයක් සිටින හොංකොං දේශයේ අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් 1000 ක සංඛ්‍යාවක් ඇත. එම දේශයේ ජාතික අයවැයෙන් 0.282% ප්‍රමාණයක් එම කොමිෂන් සභාව වෙනුවෙන් වෙන් කර ඇත. ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිෂන් සභාවට වෙන් කර ඇත්තේ 0.014% ක ප්‍රමාණයකි.
  9. දූෂණ විමර්ශනය කරන අංශ 05 ක් ඇති අතර එම අංශයක සිටින විමර්ශන නිලධාරීන් ගණන දළ වශයෙන් 20 ක් පමණ වේ. එක් විමර්ශන අංශයකට විමර්ශනය කිරීමට දළ වශයෙන් ගොනු 700, 800 ක පමණ ප්‍රමාණයක් ඇත. සීමිත මානව සම්පත් නිසා සමහර අවස්ථාවල දී විමර්ශනවල ප්‍රමාදයන් ඇති වේ. 2017 වර්ෂය තුළ පැමිණිලි 2768 ක් ලැබී ඇති අතර පැමිණිලි 1652 ක් විමර්ශනය කර ඇත. 2018.11.30 දින වන විට ලද පැමිණිලි 3081ක් වන අතර වැඩිදුර විමර්ශනය සඳහා තීරණය කරන ලද පැමිණිලි සංඛ්‍යාව 1863ක් වේ.

One Response to “අල්ලස් කොමිෂන් සභාවේ ප්‍රගතිය  2017-2018”

  1. Christie Says:

    Can you give us a break down on number of Sinhalese and Indians?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress