අපි අනාවැකි කිව්වට පිළිගත්තේ නෑ
Posted on December 12th, 2018

දේශනයක් ඇසුරෙන් ලීවේ හර්ෂනී අර්සකුලරත්න

“අද අගමැති ප්‍රමුඛ ආණ්ඩුවක් තිබුණත් රාජකාරි කටයුතු කළ නොහැකියි. මේ තත්ත්වය යටතේ තවදුරටත් රට අගාධයකට වැටීමට ඉඩනොදී ගලවගන්න අවශ්‍ය නම් ස්ථාවර ආණ්ඩුවක් අත්‍යවශ්‍ය වෙනවා. නව ආරම්භයක් අත්‍යවශ්‍ය වෙනවා. රට තුළ තිබෙන වාතාවරණය වෙනස් කළ යුතු වෙනවා.

ඒ වගේම පත්වන ආණ්ඩුවට ශක්තියක් වගකීමක් හා නායකත්වයක් මෙන්ම පුළුල් ආර්ථික දැක්මක් තිබිය යුතුයි. පසුගිය ආණ්ඩුව රට වට්ටවා ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට ඒ නිසා මූලිකවම කළ යුතු වන්නේ රට තුළ ස්ථාවරයක් ඇතිකොට නව දැක්මක් හරහා ආර්ථිකයට සම්බන්ධ අයට නව බලාපොරොත්තු ලබා දීමයි.

මේ ගැන සිතා බලා ජනාධිපතිවරයා ගත් උත්සාහයට මා අවංකවම ස්තුතිවන්ත වෙනවා. නව අගමැතිවරයා පත් කිරීම හරහා බිහිවුණු කෙටිකාලීන රජයකින් මේවා සාර්ථකව ඉටු කරගැනීමට නොහැකි නිසයි ජනාධිපතිවරයා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවට බලය දීමට සූදානම් වුණේ. එය එසේ වූවා නම් ජනතාවට අවශ්‍ය ලෙස නව ආණ්ඩුවක් පත්කරගෙන පවතින අඳුරු කාලය ජනවාරි 05දා වනවිට අවසන් කරගන්න හැකියාව තිබුණා.

රටේ අස්ථාවර භාවය කෙටි කාලයක් පමණයි එවිට පැවැතීමට නියමිතව තිබුණේ. එහෙම වුණා නම් ඒ කෙටි කාලයෙන් පසුව රටේ ආර්ථිකය හරි දිශානතියකට ගෙන යා හැකි වුණා. අවාසනාවන්ත ලෙස නීතිමය අභියෝග එල්ල වීමත් සමඟ රට කෙටි කලකින් ස්ථාවර කරගැනීමේ අවස්ථාවත් ගිලිහුණා.

මෙහෙම දිගින් දිගටම සිදුවුණොත් රට දැවැන්ත අර්බුදයක් කරා ගමන් කරයි. මේ අර්බුදය තව තවත් දීර්ඝ වුණොත් රටේ ආර්ථිකයට දැවැන්ත පරිහානියක් සිදුවෙන්නේ.

රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවන බවට පෙර පැවැති ආණ්ඩුවට අපිම විටින් විට අනතුරු ඇඟෙව්වා. ඔවුන් ඒවා කනකටවත් ගත්තෙ නෑ. පසුගිය වසරේ ජූලි මාසයේදී අපි අනාවැකි කිහිපයක්ම පළ කළා. මේ වනවිට ඒවා සත්‍ය වෙලා. අපි එදා කිව්වා මෙරට විදෙස් සංචිත අඩුවෙමින් පවතින්නේ, මේක භයානක තත්ත්වයක් කියලා. එවිට විවිධ අය ඒක බොරු කිව්වා. 2014 වර්ෂයේ අගවෙද්දි ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් රටේ තිබ්බා. ඒක 2017දී ඇමෙරිකානු ඩොලර් 7 දක්වා අඩු වුණා. හරිනම් මේ වෙද්දි විදෙස් සංචිත ඩොලර් බිලියන 12ක් රටේ පැවැතිය යුතු වුණා. විවිධ ආකාරවලට ඒවා එවකට ආණ්ඩු විසින් කාබාසිනියා කරලා දාද්දි අපි පැවැසුවා හැකි ඉක්මනින් වැඩි කරගන්න කියලා. කියන දේවල් ඔවුන් ඇහුවෙ නෑ. මේ තත්ත්වය තුළ රුපියල මස්තබාල්දු වෙයි කියලා අපි කිව්වා.

ණය ශේ්‍රණිගත කරන ෆිච්, මුඩීස් වැනි ආයතන ඔවුන්ගේ වාර්තාවලින් මෙරට ශේ්‍රණීන් පහත හෙළයි කියලා. ඊට මුකුත්ම නොකර දේශපාලනික හේතූන් මත එහෙම කරනවා කියලා චෝදනා කළා.

ඒ වගේම අය වැය පරතරය ඉහළ යන බව පෙන්වා දුන්නා. රට තුළ ව්‍යාපාර කඩා වැටීම නිසා ඔවුන් ගෙවන බදු ප්‍රමාණයන් අඩුවෙනවා, රටේ බහුතර ව්‍යාපාර කඩාවැටෙන බව අපි කිව්වා. 2018 වසරේ දෙවැනි හා තෙවැනි කාර්තුවලදී ලැයිස්තුගත සමාගම් සෑම එකකම ලාභ 10%කින් අඩුවෙලා තිබ්බා. මේක අපි දැක්කා, ඒ වගේම කිව්වා. මේකට කිසිම පිළියමක් යෙදුවෙත් නෑ.

රජයේ ආදායම් අඩු වුණාට රජයේ ගෙවීම් අඩු වුණේ නෑ. කළයුතු ගෙවීම් කරද්දි පරතරය වැඩි වෙනවා. එවිට ගන්න ණය ප්‍රමාණය වැඩිවෙනවා. ගෙවිය යුතු පොලී අනුපාත වැඩිවෙනවා.
ඒ වගේම රටේ අනෙකුත් ශේ්‍රණිගත කිරීම්වලින් පහළට යන බවත් පැවැති ආණ්ඩුවට අපි පෙන්නලා දුන්නා. නීතියේ ආධිපත්‍ය සම්බන්ධව දකුණු ආසියාවේ 1 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 3 වැනි තැනට වැටුණා. ලෝකේ 48 වැනි තැනෙන් 68 වැනි තැනට වැටුණා.

ආර්ථික නිදහස සම්බන්ධව දකුණු ආසියාවෙන් 1 වැනි ස්ථානයේ සිට 2 වැනි ස්ථානයටත් ලෝකයෙන් 90 සිට 102 වැනි ස්ථානයටත් වැටුණා.

ජාත්‍යන්තර තරගකාරීත්වය සම්බන්ධව දකුණු ආසියාවේ 1 වැනි ස්ථානය හිමි කරගත් අපි 2 වැනි තැනට වැටුණා. ලෝකයෙන්ම 68 වැනි තැනින් 85 වැනි ස්ථානයට වැටුණා.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ එළි දක්වන දූෂණ ප්‍රත්‍යක්ෂය සම්බන්ධව දකුණු ආසියාවේ අපි හිටියේ 2 වැනි තැන. අපි 2018 දී 3 වැනි තැනට වැටුණා. ලෝකෙන්ම 85 වැනි තැනේ හිටිය අපි 95 වැනි ස්ථානයට වැටුණා.

මේ විදියට හැම පැත්තකින්ම රටේ ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් තිබුණා. අපි වසරින් වසර මේ කඩා වැටීම සිදුවූ ආකාරය පෙන්වා දුන්නා. මෙහෙම වෙලා අද අපි අමාරු තත්ත්වයකටයි ඇද වැටිලා තියෙන්නේ.
මෙතැනදි තවත් එක් ලොකු ගැටලුවක් තිබුණා මීට බලපාපු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව අපට අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ. අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තත් අපි ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ වුණේ නැතිවයි වැඩ කළේ. මෙවර වුණේ එහි ප්‍රතිපත්ති අනුව වැඩ කරලා දරුණු ප්‍රපාතයකට ඇද වැටුණා.

ඒ වගේම 2014 අගවෙද්දි රුපියල් ටි්‍රලියන 7ක් වුණු ණය බර 2018 සැප්තැම්බර් අගවෙද්දී රුපියල් ටි්‍රලියන 12ක් දක්වා වැඩි වුණා.

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2014දී තිබුණු ණය බර 71% සිට 90% දක්වා වැඩි වුණා. බැඳුම්කරවල තිබූ පොලී අනුපාත සියල්ල අපට ඉසිලිය හැකි ස්ථානවලයි තිබුණෙ. සියලු පොලී අනුපාත තිබුණෙ තනි ඉලක්කමෙන්. මාස තුනේ භාණ්ඩාගාර බිල්පත්වලට ගෙවූ පොලී අනුපාතය 5.6%යි.

අවුරුදු 30 භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවපු පොලී අනුපාතය 9.3%යි. එහෙම තිබුණු පොලී අනුපාත සියල්ලම බැඳුම්කර වංචාවෙන් පස්සෙ ඉතා ඉක්මනින් ඉතා දරුණු ලෙස ඉහළ ගියා.

ඒ වැඩිවීම හරහා අපේ රටේ අය-වැයට දරුණු පීඩනයක් එල්ල වුණා. එයින් පසුව අපිට පෙනුණේ ඒ තත්ත්වය මඟ හරවාගන්න බැරි තත්ත්වයක් බව. ඉන් අනතුරුව දිගටම පොලී අනුපාතය ඉහළ ගියා.

පොලී අනුපාතය ඉහළ ගියාම අපට හිතාගන්න පුළුවන් කෙතරම් පීඩනයක් රටේ අය වැයට දැනෙනවද? අපේ රටේ ජනතාවට දැනෙනවද කියලා. 2014 අග වනවිට නිවෙසක් හදන්නට අයෙක් යම් පොලී අනුපාතයකට ණයක් ගත්ත නම් ඒක 10%යි. නැත්තම් 11%යි වුණේ. අද ඒක 17%යි. මෝටර් සයිකලයක් ලීස් කළා නම් ඒ කාලෙ ගෙවිය යුතු පොලී අනුපාත වුණේ 12%යි. 13%යි. අද 22%, 23%, 24%යි.

එසේ පොලී අනුපාතය ඉහළ ගියාම තිබෙන පීඩනය, අවදානම වැඩියි. ව්‍යාපාරවලට පාඩුයි. ඒවා කරගෙන යන්න බැරි තත්ත්වයක් එනවා.
ඒ විතරක් නෙවෙයි බොල් ණය වැඩි වුණා. සියලු බැංකු පෙන්වා දුන්නා ඒ අයගේ ආයෝජන කලඹවල බොල් ණය වැඩිවෙමින් පවතින බව. ඒ කාලෙ රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකුණන්න පටන් ගත්තා. මොකද? වෙන විකල්පයක් නැහැ.

2014 වර්ෂයේදී සියලු බදු එකතු කළ විට රුපියල් ටි්‍රලියන 1යි තිබ්බේ. රුපියල් ටි්‍රලියන 1ට තිබ්බ බදු බර 2018 වනවිට ටි්‍රලියන 2 දක්වා අවුරුදු 4කින් ඩබල් කරලා තියෙනවා.
දේශීය සහ විදේශීය නව ආයෝජන නතර වුණා. අලුතින් ආයෝජන ආවෙ නෑ. මේ බව කොළඹ වටේ ගිහින් බැලුවොත් පේනවා.

බැඳුම්කර මගඩිය නිසා දැවැන්ත මූල්‍ය දූෂණ පවතින බව ලෝකයටම හෙළි වුණා. එයත් විශාල බලපෑමක් මෙරට ආර්ථිකයට එල්ල කළා.

අපි ඒ අනාවැකි සමඟම ඊට පසුව සිදුවන දේවල් ටිකත් කිව්වා. ව්‍යාපාර තවදුරටත් කඩා වැටෙන බව අපි පෙන්වා දුන්නා. ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායම ලැබෙන්නේ නැහැ කියලත් අපි කිව්වා. විදෙස් ආයෝජකයන් ඉක්මනින්ම තමන්ගේ ආයෝජන පාඩුවට හෝ විකුණා මුදල් රැගෙන පිටරටවලට යන බව අපි පෙන්වා දුන්නා. ශේ්‍රණිගත කරන ආයතන ශ්‍රී ලංකාවේ ශේ්‍රණීන් පහළ හෙළන බව අපි කිව්වා.

ණය බරතාව තවදුරටත් ඉහළ යන බව අපි පෙන්වා දුන්නා. රුපියල තවදුරටත් කඩා වැටෙන බව අපි සඳහන් කළා. පොලී අනුපාතය ශීඝ්‍රයෙන් වැඩිවන බව කිව්වා. කොටස් වෙළෙඳපොළ කඩා වැටෙන බව, රැකියා ජීවනෝපායන් දස දහස් ගණනින් අහිමි වන බව අපි කිව්වා.

මේ සියලු දේ අපි සිදුවීමට පෙර කිව්වා. අවසානයේ එයම වුණා.

මේ තත්ත්වය තුළ ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වැනිදා ඒ ආණ්ඩුව වෙනස් කළහම අපට කළ යුතුව පැවැති දේවල් තිබුණා.

ණය උගුලෙන් ගැලවෙන්නට නම් ආර්ථිකයට නව පණක් දිය යුතුව තිබුණා. ඒ කියන්නේ ආර්ථිකය හසුරුවන අය පමණක් නෙවෙයි ආ
ර්ථිකයේ කොටස්කරුවන්ව යළි පුබුදුවාලීම අවශ්‍යයි.

මේ ආර්ථිකමය කටයුතු එක රැයකින්, ක්‍ෂණයකින් සිදුවන දේවල් නෙවෙයි. ඒ සඳහා හරි විදියට යොමු වූ විට ඒවා කෙරෙන්න පටන් ගන්නවා.

එහෙම කරගෙන යද්දී යම් සාධක තිබෙනවා. ඒවා ගැනත් සිතීමට අවශ්‍යයි.

මෙහෙම කරන්න නම් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් තිබීම අවශ්‍යයි. අපට මැතිවරණයක් අවශ්‍යයි. ඒ ඔස්සේ ස්ථාවර ආණ්ඩුවක් බිහිකර ගැනීමයි කාලීන අවශ්‍යතාව. කවුරු වුණත් කමක් නෑ. ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා නම් මේ ආර්ථිකමය ප්‍රතිපත්ති රටට ඔබින විදියට ගොනු කරලා ඒවා හරහා වාසි ලබා ගන්න අපිට හැකි වේවි.

ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරිය යුතු බව අපි යෝජනා කළා. මෙවැනි විසඳුම් හරහා රුපියල ස්ථාවර වේවි. පොලී අනුපාතය අඩු වේවි. ව්‍යාපාර වැඩිවේවි. ආයතනවලින් සේවකයන්ට රැකියාදීම ඉහළ යාවි කියලා අපි සැලසුම් සහිතව ක්‍රියාවට නැංවිය යුතු දේ ගොනු කරලයි තිබුණේ.

රටට මෙහෙම වෙද්දී ජනාධිපති නව අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් කළා. එවැනි කෙටි කාලීන ආණ්ඩුවකින් සැලසුම් සාර්ථක කරගන්න බැරි බව තේරුම් ගත් ජනාධිපතිවරයා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවලා නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනතාවට බලය දීමට යොමු වුණේ. පාර්ලිමේන්තුව විසුරුවන්න නොවැම්බර් 09දා ජනාධිපතිතුමා ගැසට්ටුවක් නිකුත් කරලා 2019 ජනවාරි 05දා මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටුවන්නට එතුමා කටයුතු කළා.

ඒ ඔස්සේ සිදුවෙන්න තිබුණේ මොකක්ද? ජනතාවට ඕන විදියට නව ආණ්ඩුවක් බිහිවී ඒ ආණ්ඩුවට මේ තීරණ අරගෙන ඉදිරි කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. කෙටි කාලයක් තුළ ප්‍රශ්නවලට මුහුණදීලා ජනතාවට දෙන්න පුළුවන් වුණා නව හැඟීමක්. අවිනිශ්චිත තත්ත්වය ඉවරයි, ඉන් පසුව අපට ඉදිරියට යන්න පුළුවන් කියලා.

මට තියෙන අත්දැකීම් හරහා මම මේ කියන්නේ. වසර 9ක් මේ රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කරන්න මට පුළුවන් වුණා. ඒ කාලෙදි අපේ රටේ ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක්ව තිබූ දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 79 දක්වා වැඩි කර ගැනීමට හැකි වුණා. අපේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 සිට බිලියන 8.2 දක්වා වැඩි කරගන්න අපට පුළුවන් වුණා. අපේ රුපියලේ අව ප්‍රමාණය සිදුවුණේ වසරකට 2.8ක් පමණයි. දැන් දවස් දෙක තුනකට සැරයක් 2.8ක් රුපියල අව ප්‍රමාණය වෙනවා.

2006 වර්ෂයේ සිට 2014 වසර දක්වා අපි දැවැන්ත අභියෝගවලට මුහුණ දුන්නා. ඒවා අපි බොහොම හොඳට කළමනාකරණය කර ගත්තා.

එවැනි වාතාවරණයක් අපට ඇති කරගන්න පුළුවන් වුණේ අපි බොහොම කල්පනාකාරීව රටේ ආර්ථිකය කළමනාකරණය කරපු නිසයි. අද එහෙම තත්ත්වයක් නෑ. අපට දැන් අවශ්‍ය නැවත වරක් මේ රට ස්ථාවරත්වය කරා ගෙන යන්න.

දේශනයක් ඇසුරෙන් ලීවේ
හර්ෂනී අර්සකුලරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress