ජනතාවට අප දෙන ප්‍රතිඥාව
Posted on December 15th, 2018

2018 දෙසැම්බර් 15 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විජේරාම මාවතේ නිල නිවසේ සිට කළ කතාවේ පිටපත

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, මැති ඇමතිවරුණි, මිත්‍රවරුනි, හිතවතුනි,

අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක්  නිසා එය හදාරා බලා, ඒකෙන් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී කතා කරන්නෙ කැඳවපු මහ මැතිවරණය පවත්වන්න බැරි නිසා ඇතිවෙන දේශපාලාන තත්වය ගැනයි. අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නෙ, දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්‍ෂ එකතුවක් එක්ක.  පසුගිය ආණ්ඩුව පලාත් පාලන ඡන්දය අවුරුදු තුනක් ප්‍රමාද කරලා දින නියමයක් නැතුවම ඒ ඡන්දය කල්දාගන්න උසාවි යන්න හදනකොට, නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්දයක් පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු නිසා තමයි ජනතාවට ඒ ඡන්දයවත් ලැබුණෙ. නැත්නම් ඒකත් නෑ.

අද වන විට පලාත් සභා ඡන්ද අවුරුද්දයි මාස තුනක් විතර ප්‍රමාදයි, නමුත් ඒ ඡන්දය පවත්වන දවසක් ගැන හෝඩුවාවක්වත් නෑ. ඒ ඡන්ද  දින නියමයක් නැතුව කල් යන විදියට නීතියෙන් ගැටගහලා තියෙන්නෙ. 2017 සැප්තැම්බර් මාසයේදී පලාත් සභා ඡන්දය කල් දාගන්න ගෙනාපු පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕන කියලා නීතිපතිවරයා කිවුවාම රෑ වෙනකම් පාර්ලිමේන්තුව ඇදගෙන ගිහිල්ලා කොහොම හරි මන්ත්‍රීවරුන් එකතුකරගෙන, සමානුපාතික නියෝජන ප්‍රතිශතය 40% ඉඳලා 50% දක්වා වැඩි කලේ නැතිනම් ඒකට ඡන්දය නොදෙන බව සමහර පොඩි දේශපාලන පක්‍ෂ කිවුවාම ඒකට පාර්ලිමේන්තුවේ කොරිඩෝරියේ හිටගෙනම එකඟ වෙලා, ගහන්න තියෙන කරනම් සේරම ගහලා  තමයි ඒගොල්ලෝ පලාත් සභා ඡන්ද කල්දාගත්තෙ.

කැදවපු මහ මැතිවරණයත් දැන් ජනතාවට අහිමි වෙලා තියෙන්නෙ.  ජනාධිපතිවරයා නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසිරෙවුවට පස්සෙ, මැතිවරණ පවත්වනවට විරුද්ධ හවුල උසාවි ගිහිල්ලා තාවකාලික වාරණ නියෝගයක් අරගෙන යූ.එන්.පී කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවල තිබුණු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලන්ට තියෙනවයි කියලා පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුනා. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොනවද කියලා ජනතාවට හරියටම පෙනුණෙ දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හැටියට පත් කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් ටී.එන්.ඒ ඡන්ද. ටී.එන්.ඒ එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, ටී.එන්.ඒ එක රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත්. ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න යූ.එන්.පී සුළුතරය ටී.එන්.ඒ එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි. ටී.එන්.ඒ එක කියන විදියට රට පාලනය කලේ නැතිනම් ඕනම මොහොතක යූ.එන්.පී සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. ටී.එන්.ඒ එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ.

නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කලා. මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා මාධ්‍යයේ පලවෙලත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කඩන්නයි සූදානම් කරලා තියෙන්නෙ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර්  9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවා. එතකොට පලාත් සභා ඡන්ද කල්දාල තියෙන විදියටම සීමා නීර්ණ ප්‍රශ්න මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිරවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ.

ආණ්ඩුවෙ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වුණු නිසා, ‘ජාතික ආණ්ඩුවක්’ හැටියට ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) වගන්ති වල විශේෂ විධිවිධාන යටතේ පිහිටුවලා තිබ්බ ඒ ආණ්ඩුව ඉබේම බිඳ වැටුණා. ඊට පස්සෙ, එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් එකතුවීම නිසා මා නායකත්වය දෙන කණ්ඩායම පර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම බවට පත්වුණා.  1994, 2000, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණ වලින් පස්සෙ ආණ්ඩු පිහිටුවන්න ආරාධනා ලැබුණෙ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා, පස්සෙ තමයි ඒ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තෙ.

අපි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සෙ ජනාධිපතිතුමා මහ මැතිවරණයක් කැදෙවුවා. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිද අගමැති හැටියට දිවුරුම් දුන්නෙ වැඩිම වුනොත් ජනවාරි 5 වෙනිදට නියම කරලා තිබුණු මහ මැතිවරණය ඉවර වෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙනයන්න විතරයි. බලා සිටියදී රට විනාශ මුඛයට යනතෙක් ජනාධිපතිවරයෙකුට නිකම් ඉන්න බෑ. මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන  ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනය කරන කොට, ඒ ආරාධනය විකල්ප ආණ්ඩුව හැටියට ස්ථානගතවෙලා ඉන්න බලවේගයට ප්‍රතික්‍ෂේප කරන්නත් බෑ. ඒ වගේම, මහ මැතිරණයක් අවසන් වෙනකන් මාස දෙකක් වගේ කාලයකට රට ගෙනයන්න සුලුතර ආණ්ඩුවක් හොදටම ප්‍රමාණවත්. ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත ඒ එඩිතර තීන්දුව අපි විශේෂයෙන්ම අගය කරන බව කියන්න ඕන.  

නමුත් ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ මෙහෙ වුණේ වෙනත් දෙයක්. කොහොමහරි මොනම මැතිවරණයක්වත් නැතුව ඉදිරියට යන වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. දැන් මහ මැතිවරණයක් පවත්වන්න බැරි නිසා, මේ රට ආර්ථික පරිහානිය තුළින් තවත් ග්‍රීසියක් වීම වලක්වන්න අපි ගන්න හිටිය පියවර මොනවත් දැන් ක්‍රියාත්මක කරන්න බෑ. අවරුදු තුන හමාරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක් විදෙස් විනිමය ණය විතරක් ගත්ත යූ.එන්.පී එක, ඉදිරි කාලයේදී තව කොයිතරම් ණය ගනීවිදැයි අපි දන්නෙ නෑ. ඒගොල්ලො ණය ගත්තෙ පරිභෝජනයට. අපි ණය ගත්තෙ රට සංවර්ධනය කරන්න. පාරේ යනකොට පේනන තියෙනවා ඒ සංවර්ධනය. නමුත් මේ අය ණය ගත්තෙ පරිභෝජනයට විතරයි. ඔය ණය ගැනිල්ලෙන් තමයි ඒගොල්ලො අපේ ආර්ථිකය විනාශ මුඛයට ගෙනාවෙ.  දැන් ජනාධිපතිවරයා මේ අලුත් යූ.එන්.පී – ටී.එන්.ඒ හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.

2002 දී එක්සත් ජාතික පක්‍ෂය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කළෙත් එකල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දැණුවත් නොකර බවත් අප මතක තබාගන්න ඕන. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ අපිට පුලුවන් වුණා පීඩනයට පත්වෙලා ඉන්න ජනතාවට ඉන්ධන මිල අඩුකරලා, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරලා, පොහොර සහනාධාරය හා පාසල් නිල ඇඳුම් යලිත් ස්ථාපිත කරලා, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ආදායම්, බදු වලින් නිදහස් කරලා ජනතාවට  යම් සහනයක් ලබලා දෙන අතරම විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගන්වන්න. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තික ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබ්බ පසුගිය ආණ්ඩුවේ ශ්‍රී  ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවර ගන්නත් පුලුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දඩයමත් අපි නැවැත්තුවා. වැසී යෑමට නියමිතව තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේර ගත්තා. බලාපොරොත්තු වූ මහ මැතිවරණය නොලැබුනත්, ඔක්තෝබර් 26 වෙනිදා පටන්ගත්ත ඒ ක්‍රියාදාමයෙන් ඒ වගේ වෙනත් ප්‍රයෝජන කිහිපයක් ජනතාවට ලැබිලා තියෙන බවත් කියන්න ඕන.

මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් අනුව හැසිරවීමට හැකි වුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය නැති වීම. 19 වන සංශෝධනය ගෙනල්ලා මුලු රටම අවුල් ජාලාවක් බවට පත්කරපු පිරිස විසින්ම කෙටුම්පත් කරපු නව  ව්‍යවස්ථාව සම්මත කරන එක එයින් වලක්වාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේම පිරිසක් විපක්‍ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්‍ෂනායක කමත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කමත් තමන් සතු කරගෙන අවුරුදු 4 කට ආසන්න කාලයක් මුලුල්ලේ ගෙනගිය ඒ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ අධිපතිවාදය අවසන් කිරීමට දැන් මඟ පෑදිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තිබුණු ඒ විකෘතිය නිසා රටේ සියලුම ඉහල පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. මේ නිසා රටේ සියලුම වැදගත් තනතුරු වලට පසුගිය අවුරුදු හතර මුලුල්ලේ පත් වුණේ 2015 දී ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිපල අද මුලු රටම අත් විදිමින් ඉන්නවා.

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපේ අරමුණ වුණේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීමයි. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා.  ඔක්තෝබර් 26 වනදා මා අගමැති වනවාත් සමඟම මුලු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිඳීමක් ඇති වුණා. 2015 න් පස්සෙ කඩාවැටිල තිබ්බ කොටස් වෙළඳපොල නැවතත් පිබිදුනා. 2015 න් පස්සෙ, එල්.එම්.ඩී. – නීල්සන් ව්‍යාපාර විශ්වාසනීයත්ව දර්ශකයේ” වැඩිම ඉහල යෑම ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සෙ අපි දුටුවා. රටේ ආණ්ඩුවක් නැති තත්වයක් නිර්මාණය වුණාම විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත්, 2017 නොවැම්බර් මාසයට වඩා, 2018 නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 16% කින් වැඩි වෙලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ, දේශපාලන අස්ථාවර භාවයත් නොතකා ඇති වුණ ඒ ප්‍රවනතා නිසා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව කුමක්දැයි අපි කාටත් පැහැදිලි වුණා.

මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්‍යයෙන්ම ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඒකාබද්ධ විපක්‍ෂයත් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ෂවයත් එකට ගත්තාම දැනටම රටේ ඡන්ද වලින් 54% ක් පමණ නියෝජනය වන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක්ක දැනටමත් ඉන්න, ඡන්ද පදනමක් තියෙන, උතුරු නැගෙනහිර හා කදුරට පක්‍ෂ ගණනාවකුත් එකතු වෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නෙ, කිසිවෙකුටත් නවත්තන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ,  දැනටමත් අවුරුද්දකුත් මාස තුනක් පමණ ප්‍රමාද වෙලා තියෙන පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි. දැන් නැවතත් රටේ සුක්කානම අතට ගැනීමට මාන බලමින් ඉන්න මේ විනාශකාරී බලවේගය ඉදිරියේදී කරන හානිය හැකිතාක් දුරට අවම කිරීම අලුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහිවෙන තුරු මේ සන්ක්‍රාන්ති කාලය තුළ අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි. 2015 ඉඳලම අපි සමඟ නොසැලී සිටි ජනතාව ඉදිරියේදීත් අපි සමඟ රට බේරාගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නෑ. අපි ජනතාව සංවිධානය කරලා රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරනවා.  

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

One Response to “ජනතාවට අප දෙන ප්‍රතිඥාව”

  1. ranjit Says:

    You are the only leader people love, trust and can save my homeland from all the enemies within and from abroad. Relax for the time being and regroup all the patriots who truly loves this country and make plans for the future. We are with you always and ready to fight with full force to stop breaking our blessed land. Theruwan Saranai.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress