කංසා සමාන්‍යකරණය කිරීමේ අයවැය යෝජනාවට පසුවදනක්
Posted on December 16th, 2018

තුසිත බාලසූරිය ප්‍රධාන ලේකම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය          

කංසා ශාකය නීතිගත කරන ලෙසට අප විසින් රාජ්‍යයෙන් ඉතා පැහැදිලි ඉල්ලීමක් කර ඇත. මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අයවැය යෝජනාවක් ලෙස අප එම යෝජනාවලිය ඉදිරිපත් කරන ලදී. එහි අරමුණ කංසා ජාතික ධනය උපයන ශාකයක් බවට පත්කිරීමයි. රටේ ණය ගෙවා දැමීමට ජනාධිපති අපේක්ෂකයෙක් යෝජනා කිරීම වෙනුවට රටට ධන උපායන මාර්ගයක් අප විසින් ගෙන එයි. එය රටට විශාල විදෙස් විනිමයක් උපයන මිල අධික යෝජනාවකි.

දකුණු ආසියාවේ කංසා නීතිගත කරන පළමු රට බවට පත්වීමට එමගින් ලංකාවට අවස්ථාව උදාවෙයි. මත්පැන් වෙළෙන්දන්, බටහිර ඖෂධ නිෂ්පාදකයින්, වික්ටෝරියානු සදාචාරවාදී වෘත්තිකයන් සමඟ එක්ව මාධ්‍ය මාෆියාව විසින් කංසාවලට විශාල සමාජ අපකීර්තියක් පටබැඳ ඇති නිසා කංසා පිළිබඳ ජනතා මතය ප්‍ර‍සිද්ධියේ ප්‍රකාශ නොවුනත් බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව සිටින්නේ කංසා නීතිගත කිරීම අනුමත කරන ස්ථාවරයක බව නොඅනුමානය.

කංසාවලට අදාළ නීතිරීති වෙනස් කිරීමට පැවති රජයන් කිහිපයක් උත්සාහ ගත්තේ ය. නීතිය හා සාමය සුරකින පොලිසියද දැනටමත් ඊට යම් අනුමැතියක් ලබා දී තිබේ. නැත්නම් කංසා භාවිතය නිසා අත්අඩංගුවට පත්වන පිරිස මීට වඩා බොහෝ වැඩි වෙති. අධිකරණය වුවද කංසා ස්වල්පයක් ලග තබා ගැනීමේ වරදට නියම කරන්නෙ සුලු දඩ මුදලකි. ව්‍යවස්ථාපිත නීතිය අනුගමනය කිරීමට වඩා භාවිත නීතියේ තරමක සහනයක් ලබා දීමට පොලිසියේ සහ අධිකරණයේ නැඹුරුවක් ඇති බව එමගින් තහවුරු වෙයි.

කංසා නීති විරෝධී වුවත් මත් ජාවාරම්කරුවන් කංසා වෙළදාමේ නිරත වන බව නොරහසකි. ඉන්දියානු ධීවරයින් හරහා ලැබෙන කේරල ගංජා ලංකාවේ බහුතර ජනයා අතර ප්‍ර‍සිද්ධ ය. කංසා බීජ අභිජනනය අතින්ද ඉන්දියාව ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ කංසා වගාව අනීතිකව පැවතීමෙන් වාසි අත්වන්නේ ඉන්දියාවට ය. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කංසා වෙළදාම සිදුකරන්නේ යුරෝපයේ සිට එන සංචාරකයින් ය. පසුගිය පස් වසරක් තිස්සේ අප රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ කංසාවලින් රටට ලැබෙන ආර්ථික වාසි අත්හැර නොදමන ලෙසයි.

වගා බලපත්‍ර නිකුත් කිරීම මගින් පුද්ගලික අංශයද ඊට දායක කරගත හැකිය. නමුත් ඔවුන් සියල්ල රජයේ නියාමනයට හෝ හවුල්කාරිත්වයට යටත් විය යුතුය. ඊට අමතරව  රජයට අයත් කංසා බීජ පර්යේෂණ ආයතන, වගා බිම් හා කංසා ආශ්‍රිත කර්මාන්ත ආයතන පිහිටුවීමෙහි සිට රාජ්‍ය ඔසුසැල්වල කංසා අලෙවි කිරීම දක්වා රාජ්‍ය අංශයට ඊට සෘජුව දායක වියහැකි අවස්ථා අපගේ අයවැය යෝජනාවලියේ පැහැදිලිව අන්තර්ගත කර ඇත. ඉදිරියේ කංසා පිළිබඳ පුලුල් සංවාදයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි.

        

One Response to “කංසා සමාන්‍යකරණය කිරීමේ අයවැය යෝජනාවට පසුවදනක්”

  1. Geeth Says:

    “රටේ ණය ගෙවා දැමීමට ජනාධිපති අපේක්ෂකයෙක් යෝජනා කිරීම වෙනුවට රටට ධන උපායන මාර්ගයක් අප විසින් ගෙන එයි. එය රටට විශාල විදෙස් විනිමයක් උපයන මිල අධික යෝජනාවකි.” ඔබේ රත්තරන් මොලේට සම්මානයක් දිය යුතුය.
    රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දියුණු කිරීම වෙනුවට මෙවන් ධන උපයන මාර්ග වලින් රට දියුණු කිරීමට සිතන්නේ නම්, තවත් එවන් ක්ෂේත්‍ර තිබේ. වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම එවන් තවත් ක්ෂේත්‍රයකි. එමෙන්ම කුඩා ළමුන්ටද එම ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් තිබේ. එයත් නීතිගත කිරීම සාධාරණය. ලෝකයේ කංසා නීතිගත කර ඇති රටවල සිතියම පහත දැක්වේ.

    https://en.wikipedia.org/wiki/Legality_of_cannabis
    එයින් කියවෙන්නේ කුමක්ද?

    ඔබ මෙසේ කියයි. “දකුණු ආසියාවේ කංසා නීතිගත කරන පළමු රට බවට පත්වීමට එමගින් ලංකාවට අවස්ථාව උදාවෙයි.”

    ඔබ ලංකාවට කීර්තියක් ගෙන ඒමට හදන්නේ ඉතාමත්ම විශිෂ්ට ක්ෂේත්රයකිනි. ඔබගේ පක්ෂයට පෙනෙන ලංකාවේ දැවෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාව මෙයද? ඔබේ පක්ෂයට (ක්‍රිස්තියානි) දෙවියන්ගේ පිහිටයි.

    බටහිර රට වල විශ්ව විද්‍යාල වල උගන්වා ඇති අය දන්නා එක කරුණක් තිබේ. එනම් ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තියට එන්නේ කන්සා දුම් පානයෙන් පසුව බවය. මත්වී සිටින ඔවුනට බුධිමය වශයෙන් යමක් විග්‍රහ කර ගැනීමට නොහැක. අවිඥානික ලෙස බලාගත් අත බලා ගෙන සිටිති. ඇතැම් විට අස්වාභාවික ලෙස සිනාසෙති. සමාජයක් තම යතාර්තයන්ගෙන් බැහැරකොට තැබීමට අවශ්‍යනම් කල යුතු වන්නේ එම සමාජය මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි කිරීමයි. ශ්‍රී ලංකාව බෙදා විනාශකිරීමේ ව්‍යාපාරයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙන මේ වෙලාවේ, ඇතැම් මුස්ලිම් හා සිංහල ජාවාරම් කරුවන් ලංකාවේ තරුණ පරපුරට කුඩු පොවා විනාශ කර ඇතුවා මදිවට ඔබ යෝජනා කරන මෙම ගංජා පොවා නිද්‍රා ගත කිරීම රට විනාශ කිරීමේම කොටසක්ද? ඔබලාගේ අරමුණ එයද? චීන විපවයට පෙර චීන්නුන්ට අබිං යුද්ධයක් කිරීමට සිදුවිය. මන්ද මුළු චීනයම සිටියේ කිසිම නිනව්වක් නැතිව මත වෙලාය. සුද්ද අපිට බොන්න පුරුදු කළේය. රොබට් නොක්ස් සඳහන් කර තිබුනේ ලංකාවේ මිනිසුන් බොන්නේ නැති බවත්, ඔවුන්ගේ ප්‍රධාන පානය වතුර බවය.

    ගංජා නීතිගත කිරීමෙන් සිදුවන්නේ ගංජා දුමක් ලෙස පානය කිරීම බහුල වීමයි. ගංජා ඖෂධයක් ලෙස භාවිතය අතීතයේ සිට පැවතිනි. එසේ ඖෂධයක් ලෙස භාවිතය සඳහා අපනයනය පිණිස ගංජා වගා කිරීම අවශ්‍ය නම්, කිසියම් නීතිමය රාමුවක් යටතේ කිසියම් ආයතනයක අධීක්ෂණය යටතේ එය කල හැක. මේ සඳහා ගංජා භාවිතය නීති ගත කිරීමට අවශ්‍ය නැත. ප්‍රධාන අරමුණ විය යුත්තේ ගංජා දුමක් ලෙස පානය සඳහා සමාජ ගතවීම වැළැක්වීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress